2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

මත් හොරු පරදන මෙක්සිකෝ තෙල් හොරු!

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 157

තෙල් හොරෙන් පැන්නීම අපේ රටේ නම් තවමත් මාධ්‍ය කළඹන උණු උණු පුවතකි. ඒත් මෙක්සිකෝව තුළදී එය දැන් සාමාන්‍ය ක්‍රියාවකි. පත්තරවල පළවන්නෙ එය එසේ නොවුනා නම්ය. ලෝකේ විශාලතම ඉන්ධන වෙළඳපොළක් සහිත රටවල් අතරින් හයවන ස්ථානය ලබාගෙන සිටින රට මෙක්සිකෝවයි. රටේ දෛනික ඉන්ධන ඉල්ලුම පමණක් තෙල් බැරල් මිලියන 1.18කට ආසන්නය.

මෙක්සිකෝ රජය කාලයක් තිස්සේ මුහුණ පානා එක් අර්බුදයක් වන්නෙ සංවිධානාත්මක කල්ලි විසින් එරට ඉන්ධන ප්‍රවාහන නළ සිදුරු කර ඉන්ධන සොරකම් කිරීමයි. මේ හේතුවෙන් පසුගිය වසර දෙකේ පමණක් රජයට අහිමි වූ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන හත ඉක්මවා තිබේ. මේ වනවිට ඉන්ධන සොරකම කොතරම් උග්‍ර අතට පත් වී ඇතිද යන්න පවසනවා නම්, රටේ දෛනික තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක්ම සපයන්නේ මේ ඉන්ධන ජාවාරම්කරුවන්ය. එනම් දිනකට ඉන්ධන බැරල් 150,000ක පමණ ප්‍රමාණයක් ජාවාරම්කරුවන් විසින් විකුණනු ලැබේ. 2018 වසරේ මුල් මාස දහයේදී පමණක් ජාවාරම්කරුවන් විසින් ඉන්ධන නළ ස්ථාන 12,500 කින් සිදුරු කර ඉන්ධන ලබාගෙන ඇති බව රජයේ වාර්තාවල සඳහන්ය. එය, 2017 වර්ෂයට වඩා වැඩි අගයක් බවත් එහි දැක්වෙයි. 

සංවිධානාත්මක මංකොල්ලකාරී කණ්ඩායම් විසින් සැලසුම් සහගතව ඉන්ධන ප්‍රවාහන නළ සිදුරු කර තෙල් ලබාගැනීම වැළැක්වීම සඳහා එරට නව ජනාධිපති වන අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස්, දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පසුගිය දිනෙක ජනමාධ්‍ය වෙත පවසා තිබුණි. එවැනි එක් කණ්ඩායමක් පසුගිය දිනෙක මධ්‍යම මෙක්සිකෝවේ ඉන්ධන නළයක් සිදුරු කිරීම හේතුවෙන් ඒ ස්ථානයේ හටගත් පිපිරීයාමක් හා ගිනි ගැනීමක් හේතුවෙන් අසල සිටි පුද්ගලයන් 70 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මරණයට ගොදුරු වූහ. 

මහා පරිමාණ ඉන්ධන සොරකමට මූලිකම හේතුව ලෙස සඳහන් වී ඇත්තේ මෙක්සිකානු රජයේ තෙල් පිරිපහදු කිරීමේ හා බෙදාහැරීමේ නියෝජිතයා වන Pemex ආයතනයේ ඇති දුර්වලත්වයයි. රටපුරා ඉන්ධන බෙදා හැරීමේදී සැලසුම් සහගතව තෙල් නළ නොඑළීම සහ ඒ මාර්ගයන් හා නළ පද්ධතිය වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් වෙන් නොකිරීම වැනි කරුණු මේ සඳහා බලපා තිබේ. ඒ බැවින් මෙම සමාගමේ නළ කඩා දමා සොරකම් කරන ඉන්ධන බොහෝදුරට නගරයේ සිල්ලර වෙළඳසල්වල විකිණීමට තබා ඇති බැවින් ඉන්ධන සමාගම, වසර ගණනාවක් තිස්සේ අධික පාඩුවක් ලබයි.

මෙක්සිකෝව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමද ඉතා ජයට කෙරීගෙන යයි. ආණ්ඩුව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට දැඩි පියවර අනුගමනය කිරීම නිසා එම ජාවාරම්කරුවන්ම දැන් ඉන්ධන සොරකම සඳහා යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ සඳහා රට වටා පැතිරී ඇති ඉන්ධන නළ පද්ධතිය ඔවුන්ට මහත් ආශීර්වාදයක් වී තිබේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00