2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

තුර්කියේ විස්මිත දේශපාලන පෙරැළිය!

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 145

තුර්කියේ විස්මිත දේශපාලන වෙනසකට මුල පුරමින් එරට විපක්ෂය ප්‍රාදේශීය මැතිවරණය මහ ඉහළින් ජයග්‍රහණය කර ඇත.

තුර්කි විපක්ෂය ඉස්තාන්බුල්, ඉෂ්කීර් සහ අන්කාරා වැනි ප්‍රධාන නගරවල පාලනය නැවත ලබා ගනිමින් ජය සනිටුහන් කරද්දී ජනාධිපති එර්ඩෝගන්ගේ පක්ෂය සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබේ. ඉස්තාන්බුල් මෙගාසිටියේ නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලුගේ මධ්‍ය-වාම රිපබ්ලිකන් මහජන පක්ෂය හෙවත් CHP, ඡන්ද මිලියන 1 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉස්තාන්බුල් නුවර ජයග්‍රහණය කර ඇත. ඉස්තාන්බුල් හි ඉමාමොග්ලුගේ මෙම ජයග්‍රහණය ඔහු 2028 දී තුර්කි ජනාධිපති ධූරය සඳහා ප්‍රබලතම ඉදිරි අපේක්ෂකයකු බවට පත්කර හමාරය.

තුන්වැනි වරටත් ජනාධිපති ලෙස බලයට පත්වීමෙන් වසරකටත් අඩු කාලයකදී රටේ නගරවල පාලනය නැවත ලබා ගැනීමට බලාපොරොත්තු වූ තුර්කි ජනපතිවරයාට ලද මෙම ප්‍රතිඵලය සැලකිය යුතු පහරක් බව විචාරකයෝ පෙන්වා දෙති. 70 හැවිරිදි එර්ඩෝගන් 2003 සිට තුර්කිය පාලනය කරයි. ඒ අනුව වසර 21 කට පෙර එර්ඩෝගන් බලයට පත්වීමෙන් පසු ඔහුගේ පක්ෂය රට පුරා පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව තුර්කියේ නව යුගයක් උදා කිරීමට එර්ඩෝගන් ප්‍රතිඥා දී තිබුණද, එර්ඩෝගන්ගේ යකඩ ග්‍රහණයේ බලය දැන් අභියෝගයට  ලක්ව ඇති අතර විපක්ෂ වාම නායකයෝ ඔවුන්ගේ සාර්ථකත්වයෙන් උද්දාමයට පත්ව සිටිති. මෙම ජයග්‍රහණය එරට දේශපාලන ගතිකයේ තද වෙනසක් ගැන සංඥා කරයි. තමන් මත පැටවුණු ආර්ථික දුෂ්කරතා සහ අධිකාරීවාදය පිළිබඳ ඡන්දදායකයන්ගේ අතෘප්තිය මෙම ප්‍රතිඵලය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබේ.

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00