2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

ලෙයට ලෙයක් ඉල්ලා වටේටම ගේම දුන් රොහා

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 539

පාතාලය වූ කලී ගිනි කන්දකි. වරෙක ගිනි පුපුරු දමමින් ලෝදිය ගලන අතර තවත් විටෙක නිසොල්මන්ව අභ්‍යන්තරයේ ගිනි දලු දමමින් ලෝදිය මෙන් නටයි. කොහොම පෙනුමකින් සිටියත් ගිනි කන්ද ගිනි කන්ද විනා සූකිරි කන්දක් හෝ හිම කන්දක් වන්නේ නැත. පාතාලය ද ඒ හා සමානය. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ කලක් ගිනි දලු දමමින් ලෝදිය හැලූ, තවත් කලෙක නිසොල්මන්ව අභ්‍යන්තරයේ ලෝදිය නැටූ තවත් පාතාල සටනක අවසානයක් ගැනය. ඒ මොරටු පාතාලය ගැනය.

මොරටුව බයිලාවලටත්, වඩු වැඩවලටත් ප්‍රසිද්ධය. එහෙත් කලක් හදිසියේ කොළඹ පාතාලය සමඟ හැප්පුණු මොරටු සමන්ලාගෙන් පසුව මොරටුව පාතාලයටත් ප්‍රසිද්ධ විය. එකී මොරටු පාතාලයේ විශාල අතීත කතාවක් ඇති එහෙත් වර්තමානය තෙක් හයිකාරකම් පෙන්වූ තවත් පාතාල නායකයෙක් පසුගියදා මීගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් අවසන් හුස්ම හෙළීය. ඒ පසුගිය කාලයේ රටම කතාවුණු, කතා මවපු පාතාල නායක ගෝනාකෝවිලේ රොහාය. මෙතැන් සිට දිග හැරෙන්නේ එකී රොහාගේ කතාවය.

දෙව්මිණි රෝහණ හැරල්ඩ් ද සිල්වා නොහොත් ගෝනාකෝවිල රොහා හෙවත් කුඩු රොහා 1979 පෙබරවාරි 19 උපන් අයෙකි. රොහා අපරාධ ලෝකයට අත් පොත් තබන්නේ මොරටු සමන්ගේ සහයෙනි. රොහා සමන්ගේ හොඳම ගෝලයන් අතර සිටි අයකු වූ අතර සමන්ගේ කප්පම් ගැනීම් ඇතුළු සියල්ල සිදුකළේ රොහා විසින්ය. රොහා සැබවින්ම කරළියෙන් පිටුපස වැඩ කළ අයෙක් විය. එසේ කරළියෙන් පිට සිටි රොහා එකව වරම කරළියට පැමිණෙන්නේ 2002  වසරේදීය.

එනම් රොහා පළවෙනි මිනී මැරිම සිදුකරන්නේ  2002 වසරේදීය. ඒ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් පාකිර්ය. මොරටු සමන්ගේ නියෝගයක් අනුව එම ඝාතනය සිදුකළ රොහා අපරාධ ලෝකයට අත්පොත් තිබ්බේ එලෙසය. මේ සිද්ධියත් සමඟ රොහා තරමක් මොරටු සමන්ගේ කල්ලියෙන් ඉහළට ආවේය. එහෙත් ඒ වනවිට මොරටු සමනුත් පාතාලයේ ගෝඩ්ෆාදර්ව සිටි නාවල නිහාලුත් අතර ගැටුම ඇවිලෙමින් තිබිණි. එහි ප්‍රබලයන් වශයෙන් 2003 වසරේ වෙසක් පොහෝදා රාත්‍රියේ නිහාල්ගේ ගෝලයන් දෙදෙනකු වූ ඉන්දික සහ තොප්පි චමින්ද විසින් සිදුකළ වෙඩි තැබීමකින් මොරටු සමන් එලොව ගියේය. එම ඝාතනයෙන් පසුව සමන්ගේ කල්ලියේ නායකයා වූයේ රෝහණය. ඔහු ගෝනාකෝවිලේ රොහා විය.

රොහාගේ නැගිටීම තවත් පිරිසකට එතරම් සුවදායක වුණේ නැත. ඒ ගෝනාකෝවිලේ පොඩි මහත්තයා ඇතුළු කණ්ඩායමටය. ඒ දෙපිරිස අතර ඇතිවූ ජාවාරම් සම්බන්ධයෙන් වූ ගැටුම නිසාය. මේ අතර රෝහණව දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රොහා සැකකළේ පොඩි මහත්තයාවය. ඔහු නාගරික මන්ත්‍රීවරයෙක් විය. ඒ නිසා රොහා බන්ධනාගාරයේ සිට පැම්ණි සැණින් පොඩි මහත්තයට ප්‍රහාරයක් එල්ල කර ඔහු මරා දැමීය. එම ඝාතනය සිදු කළේ 2007 පෙබරවාරි 13 වැනිදාය. සිංහාරගේ ආරියරත්න නොහොත් පොඩි මහත්තයා එසේ මරු වැළඳගත් පසුව ඒ වෙනුවෙන් පාතාලයට අත්පොත් තැබුවේ තවත් සිංහාරගේ කෙනෙකි. ඒ පොඩිමහත්තයාගේ පුතකු වූ සිංහාරගේ සුරේෂ් අංසක ද සිල්වා නොහොත් ලන්සියාය. ලන්සියා ද පසුව රත්මලාන, මොරටුව ආදී ප්‍රදේශවල කුඩු විකුණන්නට විය. කෙසේ වෙතත් පාසල් වයසේ මිතුරන් වූ ලන්සියා සහ රොහා අතර විරසකය ඇති වුණේ මේ අතරතුරේදීය. මේ වෛරය රොහා නැවතත් පිට කළේ පොඩි මහත්තයගේ ඥාති පුතකු මෙන්ම ලන්සියාගේ ඥාති සහෝදරයකු වූ තරැණයකුට ගල්කිස්ස ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියෙන් වෙඩිතබා මරා දැමීමෙනි.

මේ ඝාතනයට පසුව රොහා පොලීසියට කොටු වූ අතර පසුව බන්ධනාගාර ගතවිය. එහෙත් රොහා බන්ධනාගාරයේ සිට සිය කුඩු ව්‍යාපාරය සිදුකරගෙන ගියේය. ඒ තම සගයකු වූ දිනේෂ් හරහාය. කෙසේ වෙතත් තමන්ගේ ප්‍රදේශයේ වෙනත් අයකු කුඩු විකිණීම රොහා විසින් තහනම් කර තිබුණු අතර ඊට විරැද්ධ වෙමින් කුඩු බන්දු කුඩු විකුණන්නට විය. බන්දු යනු කලක් රොහා සමඟ කුඩු ව්‍යාපාරයේ නිරත වූ අයෙකි. එහෙත් පසුව ඉන් ගැලවී තනියම කුඩු ව්‍යාපාර කිරීමට බන්දු පෙළඹී සිටියේය. මේ නිසා ඒ ගැන කෝපයට පත් රෝහණ ඇතුළු කල්ලිය බන්දුගේ නිවසට පැන දිගට හරහට වෙඩි තබා බන්දු ඝාතනය කිරීමට උත්සාහ ගත්හ. එහෙත් බන්දු අනූනවයෙන් ජීවිතේ බේරාගත්තේය. මේ සිදුවීම 2007 මැයි 25 සිදුවුණි. ඉන්පසුව ද රොහා බන්දු පසුපස පැන්නීම අත් හැරියේ නැත. ඒ නිසාම කාලයක් මොරටු සමන් සමඟ වැඩ කළ තමන්ගේ හොඳම මිත්‍රයකු වූ එයාෆෝස් සම්පත් යොදවා බන්දුට ගේමක් දීමට රොහා තීන්දු කළේය. ඒ අනුව 2007 අඅගෝස්තු 12 රත්මලාන ප්‍රදේශයේදී බන්දු වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

රොහාට තිබූ එක් කරදරයක් එසේ ඉවත් කරන විට රොහාට තවත් කරදරයක් සමීපයෙන්ම ඇති වෙමින් තිබිණි. ඒ රොහාගේ හොඳම ගෝලයා වූ දිනේෂ් හරහාය. බන්දුගේ ඝාතනය රොහාට පොලීසියට කොටුවී බන්ධනාගාරයට රොහා ඇප ලබා පැමිණියත් අධිකරණය දිනෙන් දින මඟ හරින්නට විය. මේ නිසා දිනේෂ් නිතරම කීවේ එය මග නොහැර අධිකරණයට ඉදිරිපත් වන ලෙස කියාය. එහෙත් රොහා එය පිළිගත්තේ නැත. මේ සංවාදය වචන හුවමාරැවක් තෙක් ගොස් ගැටුමක් බවට පත්විය. අවසානයේ රොහාගේ සීමාව පැන රොහා මේ සම්බන්ධයෙන් එයාෆෝස් සම්පත්ට පැවසුවේ දිනේෂ් සීමාව ඉක්මවා ගොස් වැඩකටයුතු කරන නිසා ඉක්මනින් ඔහුට ගේමක් දියයුතු බවය. ඒ අනුව සම්පත් මේ සඳහා තම සොහොයුරාද එකතු කරගෙන 2014 වසරේදී  අගෝස්තු 17 සැලුන් එකකදී දිනේෂ් ඝාතනයට සුදානම් විය. කහපාට ටී ෂර්ට් එකක් ඇඳ සිටින කෙනාට වෙඩි තබන ලෙසට අණ ලැබුණු සම්පත්ගේ ගෝලයන් දිනේෂ් කියා වෙඩි තබා තිබුණේ වෙනත් අහිංසක තරැණයකුටය. අවසානයේ දිනේෂ් ඝාතන සැලසුම වැරදී ගියේය. ඒ වෙනුවට තවත් අහිංසක තරුණයෙක් ඝාතනය විය.

මේ නිසා රොහාත්, එයාර්ෆෝස් සම්පතුත් රත්මලානෙන් පැනගොස් ගාල්ල ප්‍රදේශයේ සැඟවී සිටියහ. කෙසේ වෙතත් මේ අතරතුර තවත් ඝාතනයක් රොහාගේ සහ සම්පත්ගේ නියෝග මත ගෝලයන් විසින් සිදුකර තිබිණි. ඒ 2014 සැප්තැම්බර් 20 වැනිදාය. අවසානයේ සම්පත් සහ රොහා පොලීසියට කොටුවූයේ ආයුධ ද සමඟය.

කාලයක් සැඟව සිටි රොහා නැවතත් 2015 දී කරළියට පැමිණ සුපුරුදු ලෙස කුඩු විකුණන්නට පටන් ගත්තේය. එහෙත් ඒ වනවිට රොහාට විරුද්ධව තවත් කල්ලියක් කුඩු ව්‍යාපාරයේ උඩට ඇවිත් සිටියෝය. ඒ රත්මලානේ ලන්සියාගේ පිරිසය. මේ නිසා ලන්සියත් රොහාත් අතර ගැටුම උග්‍ර විය. ලන්සියා සහ රොහාහේ පිරිස් නිතර ගැටෙන්නට වූහ.

දිනක් රොහාගේ නිවෙසට කතෝලික පුජකවරයකු පැමිණ දේව මෙහෙයක් පවත්වා ආපසු යාමට තමන් පැමිණි මෝටර් රථය හරවමින් සිටියේය. ඒ අතරතුර ලන්සියාගේ ඥාති සහෝදරයකු වූ විශේෂ කාර්ය බලකායේ සෙබලෙක් නිවාඩු ලැබූ ගෙදරට යමින් සිටියේය. ඔහු යන මාර්ගය අවහිර වීම නිසා රොහා සහ එම සෙබළා අතර ගැටුමක් ඇති විය. රොහා එම සෙබළාගේ කනට පහර දුන්නේය. මේ ප්‍රහාරය නිසා එම සෙබළා වහාම ගොස් මේ පිළිබඳව ලන්සියාට කීවේය. ලන්සියා පිරිස සමඟ පැමිණ රොහා සමඟ බහින් බස් වීමක් ඇති කරගත් අතර ලන්සියා රොහාට අභියෝග කළේය. මෙය රොහාට දරාගැනීමට නොහැකි විය. ඒ නිසා නියත වශයෙන්ම ලන්සියා ඝාතනය කළයුතු බවට රොහා තීන්දු කළේය.

2016 ජුනි 23 වැනිදා මහර අධිකරණයේදී ලන්සියාට කුඩුවලට අදාළව නඩුවක් තිබුණි. ලන්සියා තම බිරිඳත් දරැවනුත් සමඟ නඩුවට පැමිණ නඩුව නිමවී සිය මෝටර් රථයට නැගීමට පැමිණෙමින් සිටියේය. ඒ සමඟම මෝටර් රථයකින් රොහා ඇතුළු තිදෙනකු පැමිණ ටී 56 ගිනි අවියකින් රටේම යුක්තිය පසිඳලන ස්ථානයේදීම රොහාගේ ක්‍රමයට දඬුවම ක්‍රියාත්මක කළේය. මේ ඝාතනයත් සමඟ මොරටු පාතාලය ගැස්සී ගියේය.

එහෙත් ලෙයට ලෙයක් ගැනීම පාතාලයේ ක්‍රමය නිසා ලන්සියාගේ පිරිස රොහා වෙනුවට රොහාගේ මස්සිනා කෙනකු වන ප්‍රභාත් වෙඩි තබා ඝාතනය කළහ. එම ඝාතනය රොහාට රිදෙන පාඩමක් විය. එහෙත් රොහා කරළියට ආවේ නැත.

මෙලෙස රොහා සැඟව සිටින විට එක් දිනක් කුරුණෑගල පොලීසියට අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක දසනායකට තොරතුරක්  ලැබුණේය. එනම් කුරුණෑගල පැරඩයිස් හෝටලයේ එක්තරා ස්ථානයක රොහා සොරාගත් වාහනයක් ඇති බවය. ඒ අනුව පොලිස් නිලධාරීහු එම වාහනය සොයා පැමිණියහ. එහෙත් රොහා එම ස්ථානයේ සිටිනා බව කිසිවකු දැන සිටියේ නැත. රොහා පොලීසිය දැක බියට පත්ව පොලිස් නිලධාරීන්ට වෙඩි තැබුවේය. ඉන් දසනායක මහතා මිය ගියේය. තිදෙනෙක් වෙඩි කා තුවාල ලැබූහ. රොහා එහිදී පොලීසියට කොටුවිය. කොටු වූ රොහා බන්ධනාගාර ගතවිය. බන්ධනාගාරය ගතවුවත් රොහා තම ව්‍යාපාර නැවතුවේ නැත. එපණක් නොව ලන්සියාගේ අය රොහා ඝාතන සැලසුම් නතර කළේද නැත.

දිනක් ගල්කිස්ස උසාවියේ රොහාට නඩු දවසක් තිබිණි. එදා රොහා අධිකරණයට ගෙන ඒම සඳහා සූදානම් වී සිටියේය. එකවර අධිකරණ ශාලාවේ සිටි අයකුගේ අත තිබූ බෑගයක් බිමට වැටුණේය. ඒ අසල සිටි පුද්ගලයා එය පෙන්වීය. එය පෙන්වනවාත් සමඟ එම පුද්ගලයා පැන දිව්වේය. කෙසේ වෙතත් සැකයක් ඇතිවූ නිසා එම පාර්සලය පොලිස් නිලධාරියකුට පෙන්වනු ලැබීය. එම බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබුණේ පිස්තෝලයක් සහ රිවෝල්වරයකි.

පසුව අධිකරණය භූමිය වසා දමා මුළු පරිශ්‍රයම පරීක්ෂා කරනු ලැබීය. එහිදී ලන්සියාගේ ගෝලයකු වූ මයියාගේ ගෝලයන් 16 දෙනකුත් රොහාගේ ගෝලයන් හතර දෙනෙකුත් සොයා ගැනීමට හැකිවිය. පසුව සොයා බැලීමේදී මයියා පිරිස ගෙනවිත් ඇත්තේ ක්‍රිකට් ගසමින් සිටි තරුණයන් පිරිසකට රැපියල් 2000 ගාණේ ලබාදෙමිනි. එහිදී හෙළිවුණේ රොහා අධිකරණ භූමියේදී වෙඩිතබා ඝාතනය කිරීමට මයියා සැලසුම් කර ඇති බවය. එය ඩුබායි රාජ්‍යයේ සිටින ලන්සියාගේ සහෝදරයකු විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් බවද හෙළිවිය.

කෙසේ වෙතත් පසුව මයියා අත්අඩංගුවට ගත් අතර ඩුබායි රාජ්‍යයේ සිටින ලන්සියාගේ සහෝදරයා කවුදැයි සොයා බැලිණි. ඔහු වෙනින් කවුරැත් නොව සිංහාරගේ අංජු නොහොත් ගෝනාකෝවිල අංජු බව පොලීසියට තහවුරු විය.

මේ අතර අංජු ඩුබායි සිට අයියා කළ කුඩු ජාවාරම ජයටම කරගෙන ගියේය. ඒ අතර රොහා පසුපසත් රොහාගේ ගෝලයන් පසුපසත් පැන්නීය. එකී ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා රන්ජන් ද සිල්වා අංජුගේ කොන්ත්‍රාත්තුවකට ඝාතනය කරනු ලැබීය. රන්ජන් සහ රන්ජන්ගේ වැඩිමල් පුත්‍රයා රොහා සමීපව ඇසුරැ කළ නිසා අංජුලා රන්ජන් ඝාතනය කරන්නට ඇතැයි සඳහන් විය. මේ ඝාතනය නිසා අංජුලා තව තවත් රොහාට එරෙහිව සන්නද්ධ වූහ.
එසේම තවත් වතාවක් රොහා වැලිකඩ බන්ධනාගාරයේ සිටියදී සයිනයිඩ් එන්නත් කොට මරා දැමීමට සැලසුමක් සූදානම් කෙරිණි. ඒ සඳහා සයිනයිඩ් බෝතලයක් බන්ධනාගාර නිලධාරියකු අතේ ඇතුළට යවා තිබුණත් අවසානයේ එය අත්අඩංගුවට පත්විය.

මේ අතර පසුගිය කාලයේ මොරටුවේ රාත්‍රී හෝටලයකට වෙඩි තබා කප්පම් ගැනීමට ඩුබායි සිටින අංජු සහ ධර්මසිරි උත්සාහ ගැනීමේ සිද්ධියත් රොහා සමඟ සබඳතා පැවැත්වීම බව පසුව හෙළිවිය. මේ සියල්ල සිදුවන විට රොහා තැනින් තැන පනිමින් සිටි අතර ඒ පසුපස අංජුලාද එලවමින් සිටියහ. අවසානයේ අංජුට රොහා සොයාගත නොහැකි නිසා අංජු, රොහාගේ ඝාතනයට ලන්සු තැබීය. ඒ රුපියල් කෝටි 4 කි. රොහා ඝාතනය කරන අයකුට කෝටි හතරක් දෙන්නට අංජු පොරොන්දු විය. එහෙත් රොහා ඉන්න තැනක් අංජුට දැනගන්න ලැබුණේ නැත.

මේ අතර නව රජය පත්වීමත් සමඟ පාතාල මර්දන කටයුතු ආරම්භ විය. එසේ ආරම්භ කරන්නට ප්‍රධානම සිද්ධිය වුණේද අංජුලා මොරටුව හෝටලයට වෙඩි තබා කප්පම් ඉල්ලීමේ සිද්ධියයි. එය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ රජය පාතාල මර්දනය ආරම්භ කළේය. එහිදී රොහාගේ ගෝලයන් සේම අංජුගේ ගෝලයන් ද රුසක් පොලීසියට කොටුවූහ. මේ අතර පොලීසිය රොහා පසුපස පන්නන්නට විය.

එසේ පන්නනවිට බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමට රොහා මීගමුවේ එක්තරා ස්ථානයක සැඟව සිටින බවත් එතැනින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැන යන්නට හදන බවත් හෙළිකරමින් තොරතුරක් ආවේය. ඒ අනුව එම නිලධාරීන් විසින් එම ස්ථානය වටලනු ලැබීය. පාළු ලෑලි මඩුවක සැඟව සිටි රොහා පොලීසියට වෙඩි තැබුවේය. පොලීසියත් වෙඩි තැබුවේය. එම ප්‍රහාරය රොහාගේ අවසානය විය. ඒ එතැනමදීය. පසුව පරීක්ෂා කිරීමේදී රොහා සතුව තිබූ පිස්තෝලයකුත් ටී 56 ගිනි අවියකුත් පොලීසිය සොයාගත්තේය. එපමණක් නොව ඉන්දියානු රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ ලංකාවේ මුදල් තොගයක්ද සොයා ගනු ලැබීය.

කෙසේ වෙතත් මෙම ඝාතනයෙන් රත්මලාන හෙල්ලී ගියේය. ඩුබායි සිටි අංජු තම ෆේස්බුක් පිටුවේ දිගට හරහට පෝස්ට් දමන්නට විය. "ගේම් ඕවර්", මිනිහා රත්මලානට ගේන්න එපා ඉස්පිරිතාලෙන්ම වළලපන්", “නිදි මරන්න ලෑස්ති වෙන්න එපා මළ ගෙදර යන උන් මරනවා" වශයෙන් තර්ජන කළ පෝස්ට් පළ කෙරිණි. එසේම රාත්‍රියේ රත්මලානේ තම සගයන්ට අරක්කුද ලබාදී පාටි දැමීමට අංජු කටයුතු කළේය. එපමණක් නොව අංජුගේ වියදමින් මල්වෙඩි සංදර්ශනයක් වෙරළේ තබනු ලැබීය. මේ සියල්ල සිදුකළේ රොහාගේ මරණය සමරමිනි.

ඒ අනුව මොරටු සමන්ගේ සිට පාතාලයේ දරැණුම යුග පසුකළ තවත් පාතාලයකුගේ කතාවක් එසේ නිමවිය. එහෙත් මොරටු පාතාලය මෙතැනින් නිමව දකිනු ඇතිදැයි කිව නොහැක. ඒ රොහා වෙනුවට රත්මලානේ අංජුත්, ධර්මසිරිත් සුපුරැදු පාතාල නැටුම නටමින් සිටීම හේතුවෙනි.

 ගයාන් ගාල්ලගේ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00