2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

යකඩ අතකට යට වූ මහ රෝහලේ බත් වේල! පුස් බැඳිලා : කුණු මාළු - එළවළු

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 193

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉතා මෑතක් දක්වා මහ ඉහළින් වර්ණනා කළ සෞඛ්‍ය සේවාවක් අප සතු විය. නමුත් දැන් බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ජාවාරම්ද පරිපාලන මගඩි ටෙන්ඩර් මගඩි අත යට ගනුදෙනු හේතුවෙන්ද අපේ සෞඛ්‍ය තත්ත්වය අන්තයටම පිරිහී මඩ ගොහොරුවක් වී හමාරය. දැන් මේ මඩ ගොහොරුව තුළින් මෙතෙක් සැඟව තිබූ තවත් මගඩියක් ගැන තතු එළියට විත් තිබේ. ඒ අසරණ රෝගීන්ගේ ආහාර වේලෙනුත් ගසාකන ආකාරය පිළිබඳ මගඩියකි.

කාලාන්තරයක සිට අමාත්‍යංශ‌යේ බලධාරීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සේ හෝ  සිදුවන රෝගීන්ගේ සහ සේවක මණ්ඩලයේ බත් පතට වැලි දැමීමක් බඳු ගසාකෑමක් ගැන කතාබහක් දැන් කරළියට පැමිණ තිබේ. මේ පිළිබඳ හෙළිදරව් කර ඇත්තේ මෙවන් ආන්දෝලනාත්මක ගනුදෙනු පිළිබඳ මෙයට පෙරත් රටට එළි කළ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනය. ඔහු අප කළ විමසුමකට අනුව අහිංසක රෝගීන්ගේ කෑම පිඟානටත් කණ කොකා අඬා ඇති ආකාරය ගැන ‘දේශය’ වෙත කරුණු පැහැදිලි කළේය.

ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ට සහ එහි බහුතරයක් සේවක පිරිස සඳහා ලබාදෙන කෑම පිඟානේ තත්ත්වය බොහෝ විට මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු මට්ටමක නොපවතින ආහාර ද්‍රව්‍ය යොදා සකසා ඇති බවට කරුණු වාර්තා වී ඇති බව ඔහු අප හා කීය. මේ ඇතැම් වියළි ආහාර නරක් වී, පූස් හා දිලීර බැඳී ඇති පරිභෝජනයට කිසිසේත් නුසුදුසු මට්ටමක පවතින බාල ප්‍රමිතියක ආහාර බව ඔහු පෙන්වා දෙයි. ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබා දෙන ආහාරයට නුසුදුසු මාළු මෙන්ම එළවළුද කුණු වීමට ආසන්න ඒවා බවටත්, රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන තේ වේල් සඳහා භාවිත කරන පිටි සහ සීනිද කල් ඉකුත් වීමට ආසන්න ඒවා බවටත් සේවකයන් ගණනාවක් පැමිණිලි කර තිබෙන අතර මේ පිළිබඳ කිහිප වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිපි මගින් දැනුවත් කර තිබෙන නමුත් තවමත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති යැයි වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව කාලාන්තරයක් තිස්සේ මේ ආහාර මගඩිය සිදුවන බව පෙන්වා දෙන ඔහු ‌චෝදනා කරන්නේ මේ සම්බන්ධයෙන් බලධාරීන් නෑසූ කන්ව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවටය.

සිය සමීපතමයන්ගෙන් වෙන්ව රෝහලේ අසරණව සිටින රෝගීන්ගේ ආහාර වේලත් ගසා කන මේ අයථා ගනුදෙනුව දැන් කාලාන්තරයක් තිස්සේ සිදුවන බව ඔහු පෙන්වා දෙයි. ඉකුත්  වසර 20කට පමණ ආසන්න කාලය තුළ රෝහලට වියළි ආහාර සැපයීමේ ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුව එකම පුද්ගලයකුට ලබා දීමත් මේ ආහාරවල නුසුදුසු බව පිළිබඳව ඉදිරිපත් වන පැමිණිලි ඉහළ පුටුවල ඇස නොගැටී අතුරුදන් වීමත් විශේෂ විමර්ශනයකට ලක් කළ යුතුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ ටෙන්ඩර් හිමිකරුම බන්ධනාගාර, හමුදා කඳවුරු සහ තවත් රාජ්‍ය ආයතනවලටද ආහාර සපයන බවට තොරතුරු වාර්තා වී තිබේ. අපත්‍ය ආහාර ද්‍රව්‍ය පරිභෝජනයට ලබා දීම පිළිබඳව ලැබෙන පැමිණිලි අඩංගු ලිපි ගොනු ඉහළ බලධාරීන් වෙත ළඟා වීමේදී ඒ තුළ ඇති පැමිණිලි කිසියම් අදෘශ්‍යමාන බලපෑමකට යටත්ව බොහෝ විට අතුරුදන්ව යන බවත්, මේ හේතුව නිසා තමන්ට පැමිණිලි ලැබී නැතැයි අත පිස දමා ගන්නට වගකිව යුත්තන්ට අවස්ථාවක් පාදා දී ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියයි.

මේ ආහාර ලබාදීමේ ටෙන්ඩරය සඳහා අදාළ කොන්ත්‍රාත් සමාගමට වියළි ආහාර සලාක සඳහා මසකට මිලියන 76ක පමණ මුදලක්ද මාළු සඳහා මසකට මිලියන 15ක පමණ  මුදලක්ද ලෙස මිලියන ගණනක ප්‍රතිපාදන ගෙඩි පිටින්ම ලබා දෙන බව පෙන්වා දෙන වෛද්‍ය බෙල්ලන ඒ නිසාම මේ නිධානයක් බඳු ටෙන්ඩරය දිගටම ලැබීමේ ඒකාධිකාරියක්ද ක්‍රියාත්මක වීම අහඹු සිදුවීමක් වීමට නොහැකි බවටද සැක පහළ කර සිටියි. රෝහලේ නේවාසික රෝගීන් බහුතරයකට පමණක් නොව රෝහල් සේවකයන් 1500කට වැඩි පිරිසකටද ආහාර සැපයෙන්නේ මේ වියළි ආහාර ටෙන්ඩරය ඔස්සේ ළඟා වන නුසුදුසු ආහාර යොදා ගැනීමෙනි. බොහෝවිට මෙම නරක් වූ පුස් බැඳුණු බාල ප්‍රමිතියෙන් යුතු භාවිතයට නුසුදුසු මස්, මාළු, එළවළු උයා පිළියෙළ කිරීම සඳහා  ලැබෙන්නේ ආහාර තැනීමට ඔන්න මෙන්න කියා වෙනත් විකල්පයක් යොදාගත නොහැකි වන සේ බව දැනගන්නට ඇති බව වෛද්‍ය බෙල්ලන පෙන්වා දෙයි. මේ නිසා  එම ආහාර ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කිරීමේ හෝ විකල්පයක් යොදා ගැනීමේ අවස්ථාව මඟහැරී යයි.

වෛද්‍ය බෙල්ලන පෙන්වා දෙන්නේ මිලියන ගණනක ආහාර ටෙන්ඩරය සඳහා එකම ආයතනයක් පමණක් කාලාන්තරයක් තිස්සේ ඉදිරිපත් වීමත්, ඔවුන්ම සුදුසුකම් ලත් ලෙස සැමවිටම පත්වීමත්, මේ තුළ සිදුවන ප්‍රමිතිගත නොවන ආහාර ලබාදීම ගැන බලධාරීන් නිහඬව සිටීමත් යන කරුණු හුදු අහඹුවක් මත සිදුවන්නක් විය නොහැකි බවටය.

තවදුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය බෙල්ලන කීවේ මේ ටෙන්ඩර් ආහාර ගනුදෙනුව තුළ වඩාත් වාසිදායක ආකාරයට හිතුමතයේ තීන්දු තීරණ ගැනීමට පවා ආහාර ලබා දෙන්නාට ඒකාධිකාරිත්වයක් හිමිව ඇති බව සනාථ වන බවය. ඒ බොහෝ විට නිර්දේශ කර ඇති මෙනුවට පිටින් ගොස් එහි අඩංගු එළවළු වෙනුවට කැකිරි, පිපිඤ්ඤා වැනි ඒ මොහොතේ වෙළෙඳපොළ තුළින් ලාබෙට ලබාගත හැකි ආදේශක හිතුමතයේ ලබාදීමක්ද සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බවය. මෙසේ ලබා දෙන මස්, මාළු පවා නරක් වී ඇති බවත් එළවළු පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියකින් තොර ඒවා බවත් දිගින් දිගටම දැනුම් දී ඇතත් මේ වනතුරු ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදුව නැති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දෙයි. අහිංසක රෝගීන් දඩමීමා කර ගනිමින් ක්‍රියාත්මක වන මේ අනීතික ඒකාධිපති ගනුදෙනුව ගැන වහාම සොයා බැලීමක් කළ යුතු බවට ඔහු බලධාරීන් වෙතින් දැන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියි.

රෝහල තුළ මේ අපත්‍ය ආහාර ලබා දීම සිදුවන්නේ අමාත්‍යාංශය තුළ රටටම බත් පතේ යහගුණ කියා දෙන පෝෂණ අංශයක් තිබියදීම වීම ‌මෙහි ඇති සද්‍ය උපහාසයයි.

නිර්දේශ සකස් කිරීම සඳහා රෝහල්වලින් රෝගීන්ට ලබා දෙන ආහාර පිළිබඳ පර් යේෂණ පැවැත්වීම, බෝනොවන රෝග ඒකකය හා අත්වැල් බැඳ ගනිමින් රෝග පදනම් කරගත් පෝෂණ මාර්ගෝපදේශ හා ප්‍රමිතින් සකස් කිරීම, සුලබ රෝග සම්බන්ධයෙන් පෝෂණ කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම, හදිසි තත්ත්වයන්වලදී ආහාර හා පෝෂණය සම්බන්ධ මාර්ගෝපදේශ සකස් කිරීම හා මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුම සහ හැකියාව වැඩිදියුණු කිරීම, අනෙකුත් පාර්ශ්වකරුවන් හා සහයෝගය ඇතිව පෝෂණයට අදාළ විද්‍යාත්මක තොරතුරු සම්බන්ධයෙන් දැනට පවත්නා උපාය මාර්ග, මාර්ගෝපදේශ හා චක්‍රලේඛ යාවත්කාලීන කිරීම හා අවශ්‍ය සංශෝධන සිදු කිරීම, එලෙස වැඩිදියුණු කළ මාර්ගෝපදේශ බෙදාහැරීම වැනි බරසාර වගකීමක් තමන් සතු බව කියන පෝෂණ අංශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබියදීත් ඔවුන්ගේ වහළ යට සිටින රෝගීන්ට මතු නොව තමන්ගේම සේවක ප්‍රජාවට නිසි පෝෂණයක් ලබා නොදී කුණු ආහාර ගිල්ලවීමේ අයථා ක්‍රියාව නිදැල්ලේම සිදුවීම කනගාටුවට කරුණකි. 

I සුගත්