2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

උතුමාණෙනි දැන් ඉතින් සමුගන්න...

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 268

හැඩිදැඩි පට්ට පිරිමි පාටක් තිබිච්ච කළු සිංහලයා. Fake පපුවක් නෙවෙයි ඇත්ත පපුවක් තිබිච්ච ඇත්තම ඇත්ත මනුස්සයා. ගේම් ගහන, අංචි අදින, අමුතු අමුතු රංගන රඟන ඇඳගත්ත මිනිස්සු අතරෙ කවදාවත් රඟපාන්න ඉගෙන නොගත් රංගනයේ කොම්බුවක්වත් නොදැන සිටි ඇත්තම මිනිහා. පපුව පතුලෙන් ඉපදී පපුව පලාගෙන ආ මනුස්සකමෙන් ආදරෙන් ඇත්තටම මිනිස්සුන්ට ආදරෙයි කියපු, ආදරේ කරපු මානවවාදී මනුස්සයා. කොන්දේසි විරහිතව අව්වක, වැස්සක, ගංවතුරක, වසංගතයක, ඕනෑ මලඉලව්වකදි කොන්ද කෙළින් තියාගෙන, ඕනෑ කට්ටක් කාගෙන දුක් විඳින මිනිස්සුන්ගෙ හදගැස්ම ළඟ තෙවරක් නෙවෙයි සිය දහස් වාරයක් සංවේදී වූ, සහකම්පනය වූ තෙවරප්පෙරුම අද නෑ කොහෙදෝ ගිහින්. 

මම දන්නෑ දෙවියන් දල්වාලිය යුතු පහන් නිවාලන්න මේ තරම් ඉක්මන් වෙන්නෙ ඇයි කියලා. සොබාදහම සොබාදහමට ආදරය කරපු, හීනෙකින්වත් සොබාදහමට වින නොකරපු මිනිස්සුන්ව පොළොව යට හංගන්න මේ තරම් ඉක්මන් වෙන්නෙ ඇයි කියලා. ඇඳගත්ත, මවාගත්ත, බුරුතු පිටින් බොරු වපුරන, රඟන, දඟලන අතිශය බහුතරයක් ඇසට අප්‍රිය දේශපාලන චරිත අතරේ තමන් තමන්ම වූ, මිනිස්සුන්ගේ සුවහසක් පපු ගැඹුරේ ආදරණීය පදිංචිකාරයෙක් වූ තෙවරප්පෙරුම යන්න ගිහින්. දන්න ඉතිහාසයේ දේශපාලනඥයකුගේ මරණය අභිමුව අයියෝ! අනේ! ඇයි දෙයියනේ! කියලා මිනිස්සුන්ගෙ මුවින් කියැවුණා නම් ඇයි රත්තරනේ ගියේ කියලා පපුව පැලෙන වේදනාවෙන් මිනිස්සු ඇඬුවා නම් ඒ ඇඬුවෙ පාලිත තෙවරප්පෙරුම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් විතරයි කිව්වොත් ඔබ එකඟ ඇති.

හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙච්ච මිනිහෙක්.
පොළොවෙ රහ අඳුරගත්ත මිනිහෙක්.

සහකම්පනය ගැන, මනුෂ්‍යත්වය ගැන පාරම්බෑවට ඒ වචනවල තේරුමවත් නොදන්න හිස් උන් අතරෙ ඒ ගුණ සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද පුරවාගෙන පෙරාගෙන කොන්දේසි විරහිතව වත් කරපු මිනිහෙක්. මිනිසුන් නිවා සැනසූ මිනිහෙක්. දඩබ්බරයෙක්. හිතුවක්කාරයෙක්. චණ්ඩියෙක්. සරම කැහැපට ගහගෙන මිනිස්සුන්ගෙ දුක, බඩගින්න, ඇවිලෙන අනේක ගින්දර වෙනුවෙන් ඕනෑ ගේමකට ඔට්ටු වෙච්ච මිනිහෙක්. හිතට දුක එහෙව් මිනිස්සු විරල යථාර්ථයකදී පොළොවක පැළවෙච්ච ඒ මහ රූස්ස ගහ පොළොවටම ඇද වැටිච්ච එක. ආවොත් යන්න වෙන එක නොදන්නවා නෙවෙයි. එහෙත් එහෙව් මිනිස්සු රටකට, රටක දුක් විඳින වැඩිමනක් මිනිස්සුන්ට ඕනෑම යුගයකදි හිටිවනම යන්න යද්දි සැර අකුණක් පපුවට වැදුණු තරම් පපුව ගින්දරයි. ඔබට මට අපි හුඟ දෙනකුට. මොකෝ නෑ කියනවද? සහසුද්දෙන්ම තෙවරක් පෙරාපු මනුස්සකමක් පපුව ඇතුළෙ වාන් දමන්න තරම් තිබිච්ච තෙවරප්පෙරුම... ගල් වැලි රළු බොරළු නැති හරි පිරිසිදු නිර්ව්‍යාජ ඇත්ත මනුෂ්‍යත්වයක් ඒ. රඟන පිරිමි අවුල් කරපු මනුෂ්‍යත්වයක් ඒ. පිරිමිකමක් ඒ. මාර විදිහට මිනිස්සුන්ගෙ හිත් අස්සෙ නවතින්න තෙවරප්පෙරුමට පුළුවන් වුණේ ඒකයි. 

කයිවාරු දේශපාලනය වෙනුවට ඇඟට පපුවට දැනෙන්න ප්‍රායෝගික දේශපාලනයක් කරපු තෙවරප්පෙරුම. ලොකු සීන් නැති ලොක්කා. ඒ තෙවරප්පෙරුම.

''පොළොවේ බිම අහසේ ඉම
බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්තිරු තුළ
නිදන යාමයේ''

විසි හතර පැයේම මිනිස්සු වෙනුවෙන් හුස්මක් ගත්ත, වේලක් කන්න නැති, දුක් පිරිපත දෙවුර දරාගත් උන්ගෙ හදගැස්මට හදගැස්මක් වූ තෙවරප්පෙරුම.

''කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ''

ඒකයි හිතට දුක. මගේ මතකය නිවැරදි නම් පහුගිය කොරෝනා කාලේ දෙවියොත් මිනිස්සු තනි කළාද කියලා හිතෙද්දි මට මතකයි මේ කළු යෝධයා පාන් රාත්තල් තුන්දාහයි කොස් ලොරි දෙකයි පොල් ගෙඩි එක්දාස් පන්සීයයි අරගෙන කොළඹට ආවා. කොස් කඩන්න ගස් නැගලා තිබුණෙත් එතුමාමයි. ඒ නන්නත්තාර වෙලා ආතක් පාතක් නැතුව හිටපු කොළඹ මිනිස්සු වෙනුවෙන්. ජාතිය, ආගම, දේශපාලන පාට, සමාජ පන්තිය බලලා මිනිස්සුන්ට සලකන, කතා කරන ගෝත්‍රික වැඩවසම්වාදී නරුම ගති සොබා ඒ හදවතේ අංශුමාත්‍රයක්වත් තිබුණෙ නෑ. තෙවරප්පෙරුමගේ දේශපාලන ගමනේ සමාරම්භය, පවුලෙ තොරතුරු කිසි දෙයක් ලියන්න මට ඕනෑ නෑ. මොන පොළොවක පැළ වුණත් සියක් දහසක් මිනිසුන්ට සෙවණ දුන් මහ රූස්ස ගසක් ඒ. අංශුමාත්‍රයක්වත් ආ පිට නොඉල්ලමින් බොහෝ දේ දන් දුන්න ගසක් සදිසි මිනිහෙක් ඒ. මහා වනස්පතියක් වන් මිනිහෙක් වෙන්න මිනිහෙකුට ලේසි නෑ. ඕනෑ ට්‍රුක්ටරයක, ලොරියක, පඩංගුවක එල්ලිලා ගිහින් කන්න බොන්න නැති උන්ට හාල් ඇටයේ ඉඳන්  දෙන්න පුළුවන් සකල මනාවම බෙදපු තෙවරප්පෙරුම පොඩි උන්ට කේක් කෑල්ලෙ, කිරි වීදුරුවෙ ඉඳන් බෙදපු තෙවරප්පෙරුම කියන්නෙම අමුතු යකෙක් කියලා මට දැනුණෙ මීට අවුරුදු ගාණකට ඉස්සර. ගම් නියම් ගම් පිටින් යට කළ ගංවතුරකදි මේ මනුස්සයා මිනිස්සු වෙනුවෙන් කරපු මෙහෙවර බලන් ඉඳලා මම හිතන්න ගත්තා මේ මිනිහෙක්ද යකෙක්ද නැත්නම් දෙවියෙක්ද කියලා. ඒ මනුස්සයා දරන වෙර විරිය දිහා නිහඬවම බලාගෙන ඉන්න බැරි තැන දේශයේ කර්තෘ මණ්ඩලයේ දිශානි, එයාගේ අක්කා අයියා ඇතුළු අපි කට්ටියක් කළුතරට ගිහින් මහ පාන්දර ඉඳන් බත් උයලා බත් පැකට් එකසිය ගණනක් හදාගෙන ඒත් එක්ක වතුර බෝතල්, ඇඳුම්, ගැහැනු ළමයින්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා තොගයක් අරගෙන ගෙදර යද්දි ආ මේ ගෙනත් තියෙන්නෙ ඕනෑම දේවල් කියලා ඒ දේවල් වාහනයට දාගත්තෙ හරි අව්‍යාජ හැඟීමකින්. ඒ මුහුණ මේ මොහොතේ මට මතක් වෙනවා. පපුව පැලෙන්න තරම් දරු කැක්කුමක් හිතේ හංගගෙන හිටපු ඒ තාත්තා තමන්ගෙ ලොකු පුතා මැරුණට පස්සෙ හදපු සොහොන උඩ හුඟක් දවස්වල රූ ගිහින් පැදුරක් එලාගෙන නිදාගන්න පුරුදු වෙලා හිටියා. යකෙක් වගේ මිනිහෙක් ඇතුළෙ කොයි තරම් ළතෙත් සංවේදී හදවතක් තිබුණද කියන්න ඒ එක සංනිදර්ශනයක් විතරයි. කොරෝනාවලට බයේ මිනිස්සු එළියකට නෑවිත් ගෙවල් ඇතුළෙ ගාල් වෙද්දි කොරෝනා හැදිච්ච ලෙඩ්ඩු අත් දෙකෙන් උස්සපු මනුස්සයෙක් ඒ. තමන්‍ගේ ඉඩමක් විකුණලා දරුවෙක්ගේ සැත්කමක් කරන්න සල්ලි දීපු මනුස්සයෙක් ඒ. ඇඳන් ඉන්න සරමෙන් කෑල්ලක් හරි ඉරලා දෙන්න වුණොත් දීපු මිනිහෙක් ඒ. කවදාවත් දුකකදී මිනිස්සු අත්නොහැරපු තනි නොකරපු මිනිහෙක්  ඒ.  කතා කරන්න අවශ්‍ය තැනකදි කොන්ද කෙළින් තියාගෙන ඕනෑ ජගතෙක් එක්ක මුහුණට මුහුණ කතා කරන්න බය නොවෙච්ච මනුස්සයෙක් ඒ මේ මනුස්සයා කාට හරි කම්මුල් පාරක් අත දිග ඇරලා ගැහුවනම් ගැහුවේ අයුක්තියට අසාධාරණයට එරෙහිව. එච්චරයි. ඇමැති සයිස් පට්ටම් තුනක් දැරුවත් ධනයෙන් බලයෙන් හිස උදුම්මවා නොගත්ත දේශපාලනයෙන් රුපියල් හම්බ නොකරපු මනුස්සයෙක් ඒ. නියත දහමට අවසඟව යා නොහැකි සත්තාව හොඳින් දැන මියගිය දිනක සුව සේ නිදියන්න සොහොනක් සදා නිමකර තැබූ මනුස්සයෙක් ඒ. 

මිනිසුන් මිනිසුන් වෙසින් ලෝකයට එද්දි දැනෙන හැඟීමට වඩා මිනිසුන් දෙවියන් වෙසින් ලෝකයට එද්දි දැනෙන හැඟීම සිය දහස් වරක් අප්‍රමාණ සුන්දරයි. 

තෙවරප්පෙරුම කියන්නෙ මහ වැස්සක්! 
තුරන් වුවත් ඒ මහ වැස්සට මම ආදරෙයි. 
එච්චරයි! 

උතුමාණෙනි දැන් ඉතින් සමුගන්න.

I සංජීවිකා සමරතුංග