2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මුඩු බිමක් එකළු කළ හෝළුවාගොඩ උයන

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 242

ගිං ගඟ පහළ නිම්නයට අයත් හෝළුවාගොඩ කුඹුරු යාය නිරන්තරයෙන් ජල රකුසාට ගොදුරු වන වගා බිමකි. ජලය බැස යාම සඳහා ක්‍රමවත් වාරිමාර්ග පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් හෝළුවාගොඩ යායේ ගොවීහු වගා කටයුතු අත්හැර දැමූහ. මේ නිසා වසර ගණනාවක සිට අක්කර සිය ගණනකින් යුතු හෝළුවාගොඩ කුඹුරු යාය මුඩු බිමක් බවට පත්ව තිබුණි. අනූව දශකයේ මැද භාගයේ දී පමණ දිවංගත හිටපු අමාත්‍ය ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් මෙකී කඹුරු යායේ වාරිමාර්ග ගැටලු සඳහා විසඳුමක් ලබාදීමට කෝටි දෙකහමාරක මුදලක් වැය කොට වාරිමාර්ග ව්‍යාපෘතියක්ද ආරම්භ කරනු ලැබීය. එහෙත් එම ව්‍යාපෘතිය මගින්ද වාරිමාර්ග ගැටලුවලට විසඳුම් නොලැබුණි.

මුඩුබිමක් බවට පත්ව ඇති මෙකී කුඹුරු යාය පාරිසරික සංචාරක උද්‍යානයක් බවට පත්කළ යුතු බවට අදහසක් වත්මන් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සිත තුළ පැළපදියම් වී තිබුණි. ඔහු දිවංගත හිටපු අමාත්‍ය ආචාර්ය රිචඩ් පතිරණගේ පුත්‍රයාය. රමේෂ් පතිරණ ඇමැතිවරයා තම අරමුණ ඉටුකර ගැනීමට ගත යුතු පියවර විමසා බැලීම සඳහා  දහ දොළොස් වරකටත් වඩා ගිං ගඟේ අතු ගංඟාවක් වන හෝළුවාගොඩ ඇළේ බෝට්ටුවක නැගී ඒ මේ අත ගමන් කරමින් නිරීක්ෂණයකද නිරත විය. හේ තම අදහස  නාගරික  සංවර්ධන  අධිකාරිය වෙත ඉදිරිපත් කළේය. පාරිසරික උද්‍යානය සඳහා අවශ්‍ය සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් සකස් කෙරිණි. මෙකී ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ ඕපාත, හෝළුවාගොඩ යන ප්‍රදේශවල ගොවීන්ගේ විරෝධයක්ද පළ වී තිබුණි. එහෙත් එකී විරෝධතා නොතකා ව්‍යාපෘතියේ කටයුතු සිදු කරගෙන යනු ලැබීය.

මුඩුබිමක් බවට පත්ව තිබූ හෝළුවාගොඩ කුඹුරු යාය තුළ මේ වනවිට පාරිසරික උද්‍යානයක්  නිර්මාණය වී ඇත. මේ වනවිට මෙකී පාරිසරික උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගේ තොතැන්නක් බවට පත්ව තිබේ. ගාල්ල නගරයේ සිට ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගය ඔස්සේ කිලෝමීටර් හය හතක් පැමිණෙන විට මෙකී පාරිසරික උද්‍යානයට ළඟා විය හැක. හෝළුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” නමින් මෙකී පාරිසරික උද්‍යානයට නම් පට බැඳී ඇත.

2021 වර්ෂයේදී මෙකී පාරිසරික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. අක්කර 14ක වපසරියකින් යුතු මෙකී පාරිසරික උද්‍යානය ඉදිකිරීම සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 440 කි. “සෙරින් රිවර් පාර්ක්” උද්‍යානය, ළමුන් සඳහා ක්‍රීඩා කිරීමේ අංගන, ශරීර සුවතා මංතීරු, ජල ක්‍රීඩා සමඟ බෝට්ටු සවාරි ආදී පහසුකම්වලින් සමන්විතය. උද්‍යාන භූමියේ කුඩා ප්‍රමාණයේ වැවක්ද ඉදිකොට තිබේ. එපමණක් නොව, දෙස් විදෙස් සන්නාමයන්ගෙන් යුතු ආහාර වර්ග, කුළුබඩු සහ වැවිලි නිෂ්පාදන වර්ග ඇතුළු දේශීය නිෂ්පාදන මෙම ස්ථානයෙන් මිලදී ගත හැක. මෙකී උද්‍යානය ATM බැංකු පහසුකම්වලින්ද යුක්ත වන අතර රාත්‍රී කාලයට උද්‍යානය ජනතාවගෙන් පිරී ඉතිරී යයි. මෙම උද්‍යානය සඳහා විදුලිය ලබාගන්නේ ‍සූර්යාලෝකයෙනි. ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික බෝග හා අනෙකුත් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ඔවුන්ට මෙකී උද්‍යානය තුළ පහසුකම් සපයා තිබේ.

ඉදිරියේදී දෙස් විදෙස් සංචාරකයන් සඳහා මෙම උද්‍යානයේ සිට වක්වැල්ල, වටරුක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කොට ඇත. එමෙන්ම  දශක ගණනාවක සිට හෝළුවාගොඩ, ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීමටද මෙකී ව්‍යාපෘතිය තුළින් සැලසුම් කොට ඇත. මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රදේශයේ ජනතාවට මානසික සුවතාවය, ශාරීරික සුවතාවය, ගංවතුර පාලනය මෙන්ම සමාජීය ජීවිතයේ භෞතික අවශ්‍යතා, ව්‍යාපාර සහ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනයද ඇතිවනු ඇති බැව් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියයි.

 I යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද