2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

මට හුසේන් බෝල්ට් කියනනම දැම්මෙ පොලිසියේ මහත්තුරු

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 334

ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් මනුෂ්‍ය සංහතිය වෙතින් අපේක්ෂා කළ හැකි ඉසව් අතිශය විරලය. එහෙයින් පෙනෙන දෙය විනිවිද  සත්‍ය දකින්නට තරම් මිනිස් වග විචාරවත් විය යුතුය. සබුද්ධිමත් විය යුතුය. ලෝකය යායෙන් යායට මනුෂ්‍යත්වයෙන් අස්වද්දනු පිණිස අවැසි වන්නේද ආත්මාර්ථයෙන් තොර පරාර්ථකාමී මනුෂ්‍යයන්මය. එවන් සත්තාවක් තුළ ඔහුගේ භූමිකාවේ වර්ණය තීරණය කළ යුත්තේද මෙතෙක් ඔහු ගැන දන්නා පරිවාර සමාජය යැයි පළමු කොටම කියමි.

දන්නා කියන බොහෝ පොලීසියේ මහත්වරුන්ට ඔහු හුසේන් බෝල්ට්ය. හුසේන්, හුසේන් බෝල්ට් බවට පත්වූයේ ''උදව්වක් ඕනෑ... කොරෝනා රෝගියෙක් ඉන්නවා... මිනී පෙට්ටියක් මේ දැන් ඕනෑ...'' මේ කවර අවශ්‍යතාවක් උදෙසා හුසේන්ට ඇමතුමක් දුන්නත් හැකි සැණින් එසැණින් හුසේන් එතැනය. එහෙයින්ම හුසේන් නිතැතින්ම හුසේන් බෝල්ට් බවට පත්විය. එම්.ආර්.එම්. හුසේන් Janaza පදනමේ නිර්මාතෘ බවට පත්වීම දක්වා ආ ගමන් මගේ පියසටහන් බොහෝ වෙත්.

මම පුංචි කාලේ අපේ ගෙදර තිබුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හිටපු ප්‍රදේශයේ. එතුමාගේ පුත් රවී ජයවර්ධන මහතා ඒ කාලේ මගේ මිත්‍රයෙක්. මගේ මතකයේ හැටියට මට වයස අවුරුදු 12ක් විතර ඇති. අපි දෙන්නා පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගත්තා. ඒ පුංචි වයසට ඒ උදව් කිරීමෙන් දැනුණේ විශාල මානසික තෘප්තියක්. පුංචි වයසේදීම පටන් ගත්තු ඒ දේ මට දිගටම කරගෙන එන්න ආසාවක් ඇතිවුණා. වාසනාවකට මගේ පවුලේම අය නෑදෑයන් මම කරන දේවල්වලට මට උදව් කරන්න පටන් ගත්තා. අදටත් ඒ අය මට ලොකු ශක්තියක් වෙලා ඉන්නවා. කාලයක් තිස්සේ මම මේ දේවල් කරගෙන ආවේ කිසිම පදනමක් පිහිටුවා ගන්නේ නැතුව. ඒත් ටික ටික වයසට යද්දි මට හිතුණා මගෙන් පසුව මගේ පවුලේ කෙනෙකුට හෝ මේ සමාජ සේවාව දිගින් දිගටම කරගෙන යන්න නම් යම් පදනමක් පිහිටුවා ගැනීම වැදගත් කියලා. ඒ අනුව තමයි JANAZA පදනම පිහිටුවා ගත්තේ.

කොරෝනා කාලයේ මිනිස්සු කොරෝනා රෝගියෙක් ළඟටවත් යන්න බය වුණා. මම ඒ කාලයේ එක දවසක්වත් ගෙදරට වෙලා ආරක්ෂා වෙලා හිටියේ නෑ. මම හිටියෙම මගෙන් උදව්වක් අවශ්‍ය මිනිසුන් වෙනුවෙන් ගෙදරින් පිට. මම කොරෝනා රෝගීන්ගේ මෘත ශරීර මගේ අත් දෙකින් උත්සපු අවස්ථා තිබුණා. ඇත්තටම මට කවදාවත් බය හිතුණේ නෑ මට කොරෝනා රෝගය වැළඳෙයි කියලා. දවසක් මම කොරෝනා රෝගියෙක්ගේ දේහය රැගෙන ගිය වීඩියෝ එකක් හුවමාරු වී තිබුණා. ඒක මගේ බිරිඳ දැකලා තිබුණා. ඇත්තටම එදා මගේ බිරිඳ හුඟාක් බයවෙලා තිබුණා. කොච්චර බය වුණාද කීවොත් මට නිවසේ වෙනම තනියම ඉන්න සිද්ධ වුණා. ඒ කාලෙ කොරෝනා රෝගයෙන් මියගිය අයට මිනීපෙට්ටි සපයා ගැනීම විශාල ප්‍රශ්නයක් වුණා. සමහර අයට මිනීපෙට්ටියක් ගන්න තරම්වත් ආර්ථික ශක්තියක් නැතිවුණා. එවැනි කොරෝනා රෝගයෙන් මියගිය අය වෙනුවෙන් විතරක් නෙවෙයි හුඟාක් අවස්ථාවල මියගිය කෙනෙක් වෙනුවෙන් මිනීපෙට්ටියක් ගන්න වත්කමක් නැතිවෙච්චි අයට මම මිනීපෙට්ටි අරන් දීලා තියෙනවා. මේ වෙද්දි මම එහෙම නැති බැරි අයට මිනීපෙට්ටි 2000ක් විතර අරගෙන දීලා තියෙනවා. ඇත්තටම කොරෝනා දවස්වල මිනීපෙට්ටි සාප්පුත් වහලා. මුස්ලිම් චාරිත්‍ර අනුව ඒ අය මියගියාම එක දවසින් අවමංගල්‍ය කටයුතු අවසන් කරන්න ඕනෑ. ඒ පසුබිම තුළ මමම කිහිප දෙනෙක් එකතු කරගෙන මිනීපෙට්ටි හදන්න පටන් ගත්තා. අද මගේම මිනීපෙට්ටි සාප්පුවක් තියෙනවා. ඒ වගේම මගේම ගිලන් රථ සේවාවක් තියෙනවා. ලංකාවේ කොහේ වුණත් රෝගියෙක් වෙනුවෙන් මියගිය කෙනෙක් වෙනුවෙන් මගෙන් උදව්වක් ඉල්ලුවොත් ඕනෑ වෙලාවක මම මට හැකි උපරිමයෙන් ඒ දේ කරන්න සූදානම්. ඒ නිසාම තමයි මම හරි වේගවත් කියන හිතුවිල්ල උඩ හුසේන් වෙච්ච මට මාව දන්න හැමෝම හුසේන් බෝල්ට් කියන්න පටන් ගත්තෙත්.

''මම ව්‍යාපාරිකයෙක්. මම විවාහකයෙක් වුණත් මට දරුවන් නෑ. මම කුඩා දරුවන්ට හරි ආදරෙයි. ඉගෙන ගන්න තරම් ආර්ථික පසුබිමක් නැති දරුවන් වෙනුවෙන් උදව් කරන කාර්යයත් මම කරගෙන යනවා. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් මට නෑ. දරිද්‍රතාවයෙන් පෙළෙන හුඟාක් දරුවන් වෙනුවෙන් මම පොත්පත් ලබා දෙනවා. කොළඹ දරුවන්ට කොළඹ මිනිසුන්ට විතරක් නොවෙයි ලංකාව පුරා විසිරී සිටින කොයි කාට වුණත් කොයි දරුවන්ට වුණත් මම ඒ දේ කරනවා. ව්‍යාපාරිකයෙක් විදිහට මම හරිහම්බ කරන මුදල් වගේම මට මගේ පවුලේ අයගෙන් මේ කර්තව්‍යයන් උදෙසා ලැබෙන මුදලුත් මම මේ වෙනුවෙන් යොදවනවා.''

ඒ හුසේන් අප හා කී කතාවයි.

ඔහුගේ සමාජ සේවා වෙනුවෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන් මෙන්ම තවත් ආයතන ගණනාවක් වෙතින් ඔහු සම්මානනීය ඇගයුම්වලට පාත්‍ර වී ඇත.

අපි කවුරුත් ජීවිතය අවසන් කරන දවසක් එනවා. ඒ දවස එනතුරු මම හැමදාමත් මගෙන් උදව්වක් අවශ්‍ය මිනිසුන් වෙනුවෙන් කළ යුතු දේ කරයි... 

සමුගැනීම අවසනෙහි හුසේන් මා අභියස තැබූ වචන සමුච්චය එයයි....

I සංජීවිකා
සේයාරූ : සුමුදු හේවාපතිරණ