2020 මැයි 30 වන සෙනසුරාදා

දින 68කට පසු නිදහස්වූ ජනතාවගේ හැසිරීම

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

පසුගිය අඟහරුවාදා සිට දිවයිනටම බලපැවැත් වූ ඇඳිරිනීතිය තවත් පියවරකින් ලිහිල් කෙරිණි. එ දින 68කට පසුවය. එය සිදුවූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පිළිගනිමින් හා ඇතැම් රටවල කොරෝනා මර්දනයේ සාර්ථක අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින්ය. නීතිරීති ලිහිල් කරන්නේ ප්‍රධාන සාධක දෙකක් ජයගැනීම සඳහාය. පළමු සාධකය වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාර්ථක ආරම්භයක් ගැනීමය. දෙවැනි සාධකය වන්නේ ලොප් වී ඇති ආර්ථිකය නැවත පණගැන්වීම හෙවත් ආර්ථිකය සක්‍රීය කිරීම යත මේ සාධක දෙක නැතිව රටක් ඉදිරියට ගෙන යෑම අසීරැය.

කොරෝනා අර්බුදය හමුවේ ප්‍රධාන මතවාද දෙකක් කරළියට පැමිණියේය. පළමු මතයට අනුව මුළුරටම වසා දමා වසංගතය මර්දනය කළ පසු ආර්ථිකය යළි පණ ගැන්වීම හා ජන ජීවිතය යථාවත් කිරීම සිදු කළ යුතුය. රට ලොක් ඩවුන් කළ පමණට රෝගයේ ව්‍යාප්තිය අඩු කරගත හැකි බව ඔවුන්ගේ තර්කය විය. දෙවැනි මතයට අනුව ආර්ථිකය ලොප් කිරීමෙන් වසංගතයට වැඩි හානියක් රටට සිදුවිය හැකිය. එහි ප්‍රතිඵලය වඩාත් භයානක විය හැකිය. කොරෝනා මර්දනය‍ට අදාළ කාර්ය සාධන බලකාය තුළ මේ තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇත. අවසන් තීන්දුව වී ඇත්තේ රෝග මර්දනයේ සාර්ථකත්වය මත රට කෙමෙන් විවෘත කළ යුතු බවය. දැන් එය පියවරෙන් පියවරට සිදුවෙයි.

මෙහිදී සලකා බැලිය යුතු ඉතා වැදගත් කාරණය වන්නේ ජනතාවගේ හැසිරීමයි. මීට පෙර අවස්ථාවක පළාත් කිහිපයක ඇඳිරි නීතිය ඉවත් කළ අතර, පිරිසකගේ හැසිරීම සතුටුදායක නොවීය. රජය හඳුන්වා දී තිබූ උපමාන එකිනෙක බිඳී ගියේය. අවසන් ප්‍රතිඵලය වූයේ නැවතත් නීති රීති තද කිරීමට සිදු වීමය. ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස හැටපන්දහස ඉක්මවා ගොස් ඇත. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයේ ඇති වාහන සංඛ්‍යාව දහනව දහසකට ආසන්න බව කියති. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම යනු රටේ පොදු නීතිය කැඩීමකි. ඒ අයට දඬුවමක්ද තිබිය යුතුය.

මෙවර ඇඳිරි නීතිය ලිහිල් කර ඇත්තේ ජනතාව කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබමින්ය. සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීම, මුඛ ආවරණ පැළදීම, ජන රාශිගත වීම්වලින් ඉවත් වීම, සංචාරය නැවැත්වීම, විෂබිජහරණය ක්‍රියාකාරකම්වල නිරතවීම අකුරටම අනුගමනය කරනු ඇතැයි රජය විශ්වාස කරයි. මීට අනුගත නොවන ඕනෑම කෙනකු අපරාධයක් සිදුකරන තැනැත්තකු ලෙස හැඳින්විය හැකිය. වයිරසය ගන්නටත් එපා, කාටවත් දෙන්නටත් එපා යැයි වසංගත රෝග විශේෂඥයෙක් කියා සිටියේය. ඒ දෙකම තීන්දු වන්නේ තම තමන්ගේ චර්යාවට අනුව හෙවත් හැසිරීමට අනුවය. ලිහිල්කරණය උපරිම නිදහස වෙනුවෙන් භාවිත කරන්නට ගියහොත්, සියල්ල අවුල් වීමට ඉඩ තිබේ.

රටක් ගොඩගැනීම සඳහා උපයෝගි වන ප්‍රධාන සාධක දෙකක් ඇතැයි කියති. පළමුවන්න ජනතාවගේ විනයගරුක හැසිරීමය. දෙවැන්න වැඩකිරීමේ හැකියාවය. රටවල් ධනවත් වන්නේද ඒ කරුණු දෙක මතය. ‍ විනයගරැක පුරවැසියා රටේ නීතියට අවනත වෙයි. එලෙසම තමන්ගේ මව්බිම හා ජාතිය ගැන හැඟුම්බර වෙයි. වැඩ කිරීමට නම්, පුරවැසියා නිරෝගි විය යුතුය. දැනුමෙන් හා කුසලතාවෙන් පරිපූර්ණ විය යුතුය. ඒ සියල්ල තීන්දු වන්නේද තම තමන්ගේ චර්යා රටාවට හෙවත් හැසිරීමට අනුවය.

ඇඳිරිනීතිය ලිහිල් කළ කාලසීමාව තුළ හැසිරිය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව දේශයේ අපි මහජනතාවගෙන් විමසීමක් කළෙමු.

බොහෝ දෙනෙක් උපදෙස් පිළිපදින්නේ නෑ

ප්‍රභාත් බණ්ඩාර - කහව

රටේ ඇඳිරිනීතිය පසුගිය අඟහරුවාදා ඉඳන් යම්තාක් දුරකට ලිහිල් කරලා තිබෙනවා. ඇත්තටම ඒ ඇඳිරිනීතිය ඉවත් කළ අවස්ථාවේදී බොහෝ ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදන උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදින ආකාරයක් දැකගන්න ලැබුණේ නැහැ. මුලින් කොරෝනා වසංගතය ආරම්භයේදී තිබුණ බය දැන් ජනතාවගෙන් ගිලිහී ගිය ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. මාධ්‍ය මගින් අපි දැක්කා ඇඳිරිනීතිය ඉවත් කළාට පස්සේ බොහෝ ජනතාව එක පොදියට හැසිරෙන ආකාරය. ඒ වගේම තමයි රාජකාරී කටයුතුවලට යන්න කියලා දැනුම් දුන්නත් දුම්රිය ස්ථානවලත් බස්රථවලත් යන්න බොහෝ ජනතාව ඇවිත් හිටියා. මෙහෙම වුණාම රෝගය තුරන් කරන්න අමාරැයි. ඒ නිසා මේ ඇඳිරිනීතිය ඉවත් කළත් තාම රෝගය මේ රටින් අයින්වෙලා නැහැ. ඒ නිසා ජනතාව විදියට සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අපි හරියට පිළිපැදිය යුතුයි.

රජය කියන විදියට හැසිරීමයි හොඳ

නිමලසිරි - දොඩන්දූව

අපේ රස්සාව තමයි මුහුදු යන එක. ඇඳිරිනීතිය දාලා තිබුණ කාලසීමාව තුළ අපේ ආදායම බිංදුවටම වැටුණා. මුහුදු යන්න වුණෙත් නැහැ. ඒ ගියත් අපේ මාළු අස්වැන්න අලෙවි කර ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ ඇඳිරිනීති කාලසීමාව තුළ හොඳටම බැටකාපු අසරණ වුණ අය තමයි ධීවරයින්. ඇඳිරිනීතිය දැන් යම්තාක් දුරකට ලිහිල් කරලා තිබෙනවා. නමුත් ජනතාව කලින් වගේ නෙවෙයි හැසිරෙන්නේ. අපේ හොඳට තමයි දොස්තරවරු කරන්න ඕන දේවල් කියන්නේ. ඒක කරන එක අපේ යුතුකමක්. ඇඳිරිනීතිය අයින් කළාට පස්සේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්න යන සිදුවීම් නිතරම මාධ්‍ය තුළින් පෙන්වනවා. ඒකෙන් පේනවා මේ මිනිස්සුන්ගේ තිබෙන නොසැලකිලිමත් බව. සමහරු මෙසේ හැසිරුණාම ආයේම ඇඳිරිනීතිය දැම්මොත් අපි තමයි අසරණ වෙන්නේ. ඒ නිසා රජය විසින් කියන දේ අනුව ජනතාව හැසිරැණොත් හොඳයි ඒක අපිටත් හොඳයි.

හැමෝම තමන්ගේ ආරක්ෂාව ගැන සිතන්න ඕනෑ

දුලාංජි රසිකා - බෙන්තර

පසුගිය අඟහරුවාදා ඇඳිරිනීතිය අයින් කරන්න කලින්ම ජනතාවට හැසිරිය යුත්තේ කෙසේද කියලා මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කළා. නමුත් ඇඳිරිනීතිය ඉවත් කළ පසු ඒ උපදෙස් පිළිපදින ආකාරය අපිට දැකගන්න ලැබුණේ නැහැ. රැකියාවලට යන අයට පමණක් ප්‍රවාහන සේවා භාවිත කරන්න කිව්වත් ඒ එකක්වත් හරියට පිළිපදින ආකාරයක් අපිට දැකගන්න ලැබුණේ නැහැ. තාමත් ජනතාවට අමතකයි. මේ රෝගය රටින් ඉවත්වෙලා නැහැ කියලා. ඒ නිසා ජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන මුලින් හිතලා කටයුතු කළොත් හොඳයි.

සටහන: හසිත් අංජන

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00