2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

තනතුරු නොලද්දන්ගේ හබය

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 1512

මොකක්ද ප්‍රශ්නය කියල තේරෙන්නෙ නැහැ
මම ආවේ පොහොට්ටුවට පාවඩ දමන්න තමයි
කැබිනට්ටුවෙ හිටපු මම රාජ්‍ය ඇමතිකමක් ගන්නවද?
රොෂාන් ඉල්ලු මහවැලි හා පරිසර ඇමැතිකමත් නොලැබෙයි

ජනාධිපති ගෝඨාභයට හිතැති ඇමැතිකම් නොමැති අය අතර කනස්සල්ලෙන් පසුවන්නෝ බොහෝ වෙති. ඒත් ඔවුහු මුනිවත රකිති. ඉවසති. ඒත් හිඳහිට මොනවාදෝ මුමුණති. අප මේ සැරසෙන්නේ ඇමැතිකම් බෙදිල්ලෙන් හටගෙන ඇති හිත් රිදිල්ල පිළිබඳ කතාවේ අක්මුල් විමසීමටයි. ඒ අනුව පසුගිය සතියේ විටින් විට අසන්නට ලැබුණු දේශපාලන කතා මගහැර යා නොහැක.

ඇමැතිකමක් යනු වරප්‍රසාදයක් නොවේ. එය වගකීමක් යැයි ජනාධිපති ගෝඨාභය දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් ලාංකික දේශපාලනයේ යථාර්ථය ඊට සහමුලින්ම වෙනස් වෙයි. බලයට සහ තනතුරට මිනිසා තුළ ඇත්තේ නොතිත් ආශාවකි. ලංකාව තුළ එහි උච්චතම අවස්ථාව වසර කිහිපයකට වරක් අපි අත්දකින්නේ  නව ආණ්ඩුවක ඇමැතිවරු පත්වන විටය. මේ ගෙවෙන්නේ එවන් සමයකි. කැබිනට් මණ්ඩලය පහළොස් දෙනකුට සීමාවීම තුළ පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ ප්‍රබලයන් කිහිප දෙනකුට කැබිනට් ඇමැතිකම් අහිමි විය. සාමාන්‍යයෙන් වෙනදාට කැබිනට් ඇමැතිකම් ලබන කිහිප දෙනකුගේ හිත මේ නිසා නොරොක් වී ඇති බව අපට දැනගන්නට ලැබිණි. එහෙත් මේ අයට රාජ්‍ය ඇමැතිකම් ලබාදීම තුළ යම් අස්වැසිල්ලක් ලැබීමට පක්ෂ නායකයන්ට හැකි විය. ප්‍රථමයෙන්ම කැබිනට් එකෙන් හැලුණු අයගේ කතාවලට අවධානය යොමු කරමු.

කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු කතානායක ධූරය වාසුදේව නානායක්කාර මහතාට දෙන බවට රාවක් පැතිරිණි. එම අවස්ථාවේ කැබිනට් ඇමැතිකමක් නොලැබීම පිළිබඳව වාසු කී කතාවක් හරහා පළමු කැබිනට් ඇමැතිකම් පිළිබඳ කනස්සල්ල අපට විද්‍යාමාන විය. චමල් රාජපක්ෂ මහතා කතානායක ධූරය හෙබවූ ආකාරය ආදර්ශයට ගෙන කටයුතු කිරීමට තමන් කැමැති බව ඔහු පැවැසීය. කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහතාට ලබා දුන් ඇමැති ධූරය තමාට ලබා දී කතානායක ධූරය ඒ මහතාට ලබා දීමට තිබූ බවත් වාසුදේව නානායක්කාර පැවැසීය. එහෙත් පසුව වාසුදේව නානායක්කාර මහතාට රාජ්‍ය ඇමැතිකමක් හිමි විය. කතානායක ධූරය කරූ ජයසූරිය වෙතම තැබීම අලුත් ආණ්ඩුවේ අදහස විය. 
කැබිනට් ඇමැතිකම් නොලද නමුත් රාජ්‍ය ඇමැතිකම් ලද ප්‍රබලයෝ රැසක් වෙති. ඒ අතර මහින්ද යාපා, ගාමිණී ලොකුගේ, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද,  කෙහෙළිය ඇතුළු පිරිස ප්‍රමුඛය. මේ අතර රොෂාන් රණසිංහ තමාට මහවැලි හා පරිසර කැබිනට් ඇමැතිකමක් නොලැබීම සම්බන්ධයෙන් හිතේ අමාරුවෙන් පසුවන බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහු එය මුලසිටම ඉල්ලා සිටි බව වාර්තාවිය.  කළුතර දිස්ත්‍රික්කයට කැබිනට් ඇමැතිකම් නොමැතිවීම සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන ද තරමක් කනස්සල්ලෙන් පසුවූ බවට ද ප්‍රකාශ විය. මේ අනුව අපි ශ්‍රීලනිප ප්‍රබලයකු  වන පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරයකු වූ ෆයිසර් මුස්තාපා මහතාගෙන් තමාට ඇමැතිකම් නොලැබීම පිළිබඳව යම් විමසීමක් කළෙමු.

“මම දැනගත්තා මේ වෙලාවේ කැබිනට් ඇමැතිකමක් ගන්න එක අමාරුයි කියලා. පහළොස් දෙනයිනේ ඉන්නේ. කැබිනට් ඇමැති කෙනෙක් වෙලා ඉඳලා රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැතිකමක් බාරගන්න එක එතරම් සුදුසු නෑ කියන එකයි මගේ මතය. රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධූර තරුණ අයට ලබා දිය යුතුයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා  කිව්වා. මං එකඟයි ඒකට. කැබිනට් ඇමැතිකමක් නොදරපු තරුණ අය තමයි රාජ්‍ය, නියෝජ්‍ය ඇමැති ධූර දරන්න සුදුසු.

අනිවාර්යෙන්ම ඡන්දයක් දිනලා කැබිනට් ඇමැතිකමක් ලබාගැනීමේ වරමක් මට ලැබුණොත් මම ඒක බාරගන්නවා. ඒ වගේම අපිට මේ වෙලාවේ ඡන්දෙ දුන්නේ වරප්‍රසාද ගන්න නෙවෙයි. අවුරැදු හතර හමාරක් තිබුණු ආණ්ඩුව වෙනස් කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යටතේ රටේ වෙනසක් ඇති කරන්න. ඒ වගේම මම හිටපු කැබිනට් ඇමැතිවරයෙක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමාට කිව්වා මේ ගැන දැනුම් දෙන්න කියලා. මට රාජ්‍ය ඇමැතිකමක් හෝ නියෝජ්‍ය ඇමැතිකමක් ලබාගැනීමේ අවශ්‍යතාවක් නෑ. ඊළඟ මැතිවරණයෙන් පස්සේ කැබිනට් ඇමැතිකමක් ලැබුණොත් බාරගන්නවා. නැත්නම් මං ජනතා සේවයේ දිගටම ඉන්නවා. කොහොම වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එකතුවෙලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ශක්තිමත් කරන්න දිගටම කැප වෙනවා.”

මේ අතර අපි වර්තමාන ඇමැති මණ්ඩලයේ මුස්ලිම් නියෝජනයක් නොවීම පිළිබඳව ෆයිසර් මුස්තාපා මහතාගෙන් විමසුවෙමු. එහිදී ඔහු පැවසුවේ පොහොට්ටුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් නොමැති නිසා ඒ පිළිබඳ ජනපතිට චෝදනා කිරීමට නොහැකි බවයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනකු සිටින නිසා මේ සඳහා ඔවුන්ව යෝජනා කිරීමට ශ්‍රීලනිපයට යුතුකමක් තිබූ බව ද ඔහු පැවසීය.

කිසිම ඇමැති ධූරයක් නොලැබුණු ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මේ පිළිබඳ මාධ්‍යයට කිසිවක් පවසා නොතිබිණි. අප ඔහු සම්බන්ධ කර ගත්තේ සිදුවූ දේ විමසීමටය. ඔහු කීවේ මෙවන් කතාවකි.
“මගේ අරමුණ වුණේ තනතුරු ගන්න නෙවෙයි, ශක්තිමත් ආණ්ඩුවක් පත්කර ගන්න  එකයි. මම දිස්ත්‍රික්කයේ පළමු තැනට ඡන්ද අරගෙන පළවැනියාට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම ගාලු දිස්ත්‍රික්කයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා මමයි. ඒ වගේම මං දරපු නියෝජ්‍ය කතානායක ධූරය සහ ඇමැති තනතුරැ දෙකේදී කිසිම කෙනකුට ඇඟිල්ල දික් කරන්න බැරි විදිහට වැඩ කරපු බවට ජනමතයක් තියෙනවා. මගේ රාජකාරි කටයුතු පිළිබඳ කිසි තැනක පැමිණිල්ලක් නෑ. මම තනතුරු බලාපොරොත්තු වෙන්නේ නෑ. කැපකිරීමක් කරන්න ප්‍රසිද්ධියේම එකඟවෙලයි ක්‍රියාත්මක වුණේ.

ඒත් කල්පනා කරද්දී දේශපාලනඥයෙක් හැටියට නුසුදුසුකමක් තියෙනවා නම් ඒ මොකක්ද කියන ප්‍රශ්නය හිතට නැගෙනවා. මොකද, රටේ ජනතාව බලාපොරොත්තු වුණු ආකාරයට හැසිරුණු දේශපාලනඥයෙක් හැටියට පැවරුණු වගකීම් කාර්යක්ෂමව දූෂණයෙන් තොරව කරලා තියෙනවා නම්, දිස්ත්‍රික්කයේ පළවෙනියටම මහජන ඡන්දයෙන් ආපු කෙනෙක් නම්, බරපතළ විදිහට නොසලකා හරින්න හේතුවක් නෑ කියලා තමයි මම හිතන්නේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙවෙයි පොහොට්ටුවේ පනස්වැනි සාමාජිකයා. ඒ වුණත් අදත් මං කියන්නේ රටේ වැදගත් අවස්ථාවක් වන මේ අවස්ථාවේදී කතා කරන්න ඕනෑ තනතුර ගැන නෙවෙයි.”

එමෙන්ම ඇමැති ධූර පිරිනැමීමේදී පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර, තේනුක විදානගමගේ, රංජිත් සොයිසා, නිරෝෂන් ප්‍රේමරත්න, ටී.බී. ඒකනායක, සිසිර ජයකොඩි වැනි ගෝඨාභය වෙනුවෙන් මුල සිටම පෙනී සිටි ප්‍රබල චරිත කිහිපයක් ද මගහැරී තිබිණි. රංජිත් සොයිසා මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව අපට පැවසේ. එසේම පියල්, තේනුක, නිරෝෂන්, සුදර්ශනී, විජේදාස, ලක්ෂ්මන් වසන්ත වැනි අයට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධූර පිරිනැමිණි. මෙම තනතුර පිරිනැමීම ඇමැතිකම් ලබා දීමට සමගාමීව සිදුකිරීම සුවිශේෂී වේ.

ඇමැති ධූර ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර ද හිත් රිදීමෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. අප ප්‍රසන්න රණවීර ඇමැතුව ද නිශ්චිත තොරතුරක් දැනගත නොහැකි විය. මේ අතර ලද තනතුර නිසා පියල් නිශාන්ත සතුටින් සිටින බවද, නොලද තනතුර නිසා සිසිර ජයකොඩි කනගාටුවෙන් පසුවන බවද අපට නිරීක්ෂණය වූයේ මුහුණුපොත හරහාය. කෙසේවෙතත් ප්‍රසන්න රණවීර ඇමැති සිහිනය තවම අතහැර නොමැති බව පැවසේ. ඩිලාන් පෙරේරාට සිදුවූයේ කුමක්ද? මෙය කාටත් මතුවී ඇති පැනයකි. අවසාන මොහොතේ ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටි ශ්‍රීලනිප විනය පරීක්ෂණ‍වලට ලක්ව සිටින ඩිලාන් පෙරේරා අපට පැවසුවේ මෙවන් කතාවකි.

“අලුත් දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණය කරල තියෙනවා. මෙතැනදී පෞද්ගලික වශයෙන් අපිට එන කලකිරීම්, තනතුර ආදියට වඩා අපි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ ව්‍යායාමයට සහයෝගය ලබා දිය යුතුව පවතිනවා. මොකද, ජනවරම තියෙන්නේ එතැන. මම මැතිවරණය පුරා රැස්වීම් තුන්සිය ගාණක් ආමන්ත්‍රණය කළා දිස්ත්‍රික්කය පුරාම. ඒ කරපු කතාවලදී කිව්වේ මම නම් ආවේ පොහොට්ටුවට පාවඩ දාන්නම තමයි කියලා. හේතුව මම පොහොට්ටු පක්ෂයට එනකොට මේ පක්ෂය වෙනුවෙන් බර ඇද්ද තවත් පිරිසක් හිටියනේ.

මගේ උගත්කම අනුව මගේ සුදුසුකම් අනුව මට ඇමැති ධූරයක් සුදුසු නෑ කියලා මං හිතන්නේ නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නකොටත් මේ පක්ෂ දෙක එකතු කරන්න පාවඩ දාපු මිනිහනේ. ඉතින් සියලු ප්‍රගතිශීලී බලවේග එකතුවෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කෙරෙව්වා කියන කාරණය මිසක් මට පෞද්ගලිකව ඇතිවෙලා තියෙන කලකිරීම් ගැන මං ඒ තරම් ගණන් ගන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උදව් කරපු ධාරාවන්වලින් සීයට අසූවක්ම වගේ මට පිළිගත හැකි ධාරාවන්. මම ශ්‍රී ලංකා එකට ගැලපෙනවා පොහොට්ටුවට ගැලපෙනවා. මං වියත් මඟටත් ගැලපෙනවා. මට වාණිජවේදී විශේෂ උපාධියක් තියෙනවා. මේක මම ප්‍රසිද්ධ කරලා කියලා නෑ. ඒ වගේම මම නීතිඥයෙක්, ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් පාස්වෙලා සම්මුඛ පරීක්ෂණයෙන් ලංකාවෙන්ම පළවෙනියා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව මාව තෝරාගත්තොත්  මේ ධාරාවෙන් මට ගමන් කරන්න පුළුවන්.”

ඩිලාන්ගේ කතාව එසේ වන විට නැගෙනහිරින් පොහොට්ටුවට සහාය දුන් මන්ත්‍රී විලයේන්ද්‍රන් ද ඇමැති හබය නිසා හිත් අමනාපයෙන් පසුවන බවට අපට ආරංචි ලැබිණි. කෙසේවෙතත් ඉදිරි මහ මැතිවරණය සම්බන්ධව ඇති බලාපොරොත්තුව නිසාවෙන් නොරොක් වූ සිත් ඇති බොහෝ දෙනා මුණිවත රකින බව අපට පෙනී යයි. එහෙත් එස්.බී., තිලංග, ජෝන්ස්ටන්, ලන්සා වැනි සමහර අලුත් ඇමැතිවරු සම්බන්ධ යම් මහජන විරෝධයක් සමාජ මාධ්‍යයේ වන බව ද අප සිහි කළ යුතුය.
ඉදිරි මහ මැතිවරණය අතිශය තීරණාත්මක බව අවසාන වශයෙන් කිව යුතුය. මෙහිදී යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා ඡන්දදායකයාට විශාල වගකීමක් පැවරෙනු ඇත. එසේම ජනතාවගේ වැඩි මනාපය පෙන්වන අයට තනතුරු දීමටත්, අමනාපකම් පෙන්වන අයව දුරස් කිරීමත් අභිනව ජනපති සූදානම් විය යුතුය. එසේම සියලු පක්ෂ විද්වතුන් කිහිප දෙනකුට හෝ දිස්ත්‍රික් නාමයෝජනා ලබා දෙන්නේ නම් හොඳ ඇමැති මණ්ඩලයක බලාපොරොත්තු ජනතාව තුළ දළුලා වැඩෙනු ඇත. අවසානයේ අප මෙය ද සිහි කළ යුතුය. එදා පටන් අද දක්වා ඇමැතිකම් ලද්දෝ තුටු වූයේ හෝ නොලද්දෝ දුක් වූයේ හෝ කවුරැන් වෙනුවෙන්ද යන්න දැන් ඔබ සිතා බැලීම යහපත්ය.  මේ ඊට කාලයයි.

 චමිඳු නිසල් ද සිල්වා 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00