2019 මැයි 25 වන සෙනසුරාදා

මෝදි ඉන්දියාවේ නැවත රජ වූ හැටි!

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

ඉන්දියාවේ පැවැති මහ මැතිවරණයෙන් ඓතිහාසික විස්මිත ජයක් අත්කර ගන්නට හිටපු අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු බීජේපියට හැකිව තිබේ. සමස්ත ප්‍රතිඵලය සැලකීමේදී BJP තනිව ආසන 302ක් ලබාගත් අතර සන්ධානගත පක්ෂවල එකතුවත් සමග සමස්ථය 351කි. කොංග්‍රසය තනිව ලබාගත්තේ ආසන 54කි. ඩී.ඇම්.කේ. ඇතුළු එහි සන්ධානගත එකතුවත් සමග කොංග්‍රසය සතුව ඇත්තෙ ආසන 92කි. මෝදි 2014දී ලබාගත් සුවිශේෂී ජය ආසන 336ක් වූ අතර එදා කොංග්‍රසය 59කට සීමා විය. ඒ අනුව ඉන්දීය ඉතිහාසයේ පිට පිට දෙවරක් අගමැති ධූරය දැරූ  හතරවැනියා බවට දැන් අගමැති මෝදි පත්ව තිබේ. ජවහල්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි සහ මන්මෝහන් සිංගෙන් පසු දෙවැනි වරටත් අගමැතිකමට තෝරාගත් හතරවැනි චරිතය මෝදිය. දැන් ලැබී ඇති ප්‍රතිඵල අනුව එයද වාර්තාගත තෝරා ගැනීමකි.

එරට ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය භාවිතා කරන්නට ජන්ද පොළ කරා පැමිණ ඇත්තේ මෙවරය. ඉලෙක්ට්‍රොනික මැෂින් භාවිතයද සිදුකළ නිසා ප්‍රතිඵල එක දෙක තමන්ට අවාසිදායක ලෙස පිටවෙනවිට රාහුල් ඇතුළු කණ්ඩායම පරිගණක මගඩි ගැන සැකකර ප්‍රසිද්ධියේ ආඩපාලි  කියන්නටද වූහ. එහෙත් අවසන් ප්‍රතිඵලය එන්නට ඔන්න මෙන්න කියා තිබියදී තමන් ජනතා තීන්දුවට හිස නමන බව කී රාහුල් ගාන්ධි මෝදිහට සුබ පැතීය. බීජේපී ඇතුළු  ප්‍රජාතනත්‍රවාදී සන්ධාන ආධාරකරුවෝ වීදි බැස බාල් නටන්නට වූහ. ලොවපුරා රාජ්‍ය නායකයෝ මේ විජයග්‍රහණයට සුබපතා ට්විටර් වැසි වැස්සවූහ. ලංකාවේ ජනාධිපති, අගමැති මෙන්ම හිටපු ජනාධිපති සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඇතුළුව ආසියානු ජන ප්‍රධානීහුද ඒ අතර මුල්තැන ගත්හ. වඩාත් අපූර්වතම සිද්ධිය වූයේ ඉන්දියාවේ නගර සුන්බුන් කළ හැකි ගොඩබිම් මිසයිලයක් පාකිස්තානය පරීක්ෂාවට ලක්කළ මේ දිනයේම එරට අගමැති ඉම්රාන් ඛාන්ද ලහිලහියේ සිය ප්‍රතිවාදියාට සුබපැතුම් එක්කිරීමයි. තමන් දකුණු ආසියාවේ සාමය සෞභාග්‍යය සහ ඉදිරි ගමන සඳහා මෝදි සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව කී ඉම්රාන් -මෝදි සහ බීජේපීය ඇතුළු සන්ධානය ලැබූ විජයග්‍රහණයට ජය පතන බව කීය.

දෙවරක් ඉහළම ජන කැමැත්තකින් බලයට ආ මෝදි මෙවරත් සිය දේශපාලනික පරිණත බව පෙන්වමින් සියුම් සීරුමාරුවක් භාවිත කරමින් ජයග්‍රහණයේ තුරුම්පු සිය අතට ගත්තේය. ඡන්දය කිට්ටු කර මෙතෙක් සිය රජය ගමන්ගත් ගියරය මාරුකළ ඔහු පසුගිය දෙසැම්බරය වනවිට හුළං බැස තිබූ බීජේපී මූලික රජයට මුළුමනින්ම නැවත පණ දුන්නේය. ඒ කවුරුත් නොසිතු ආකාරයටය. හින්දු ජාතිකත්වයේ හදවත කිති කැවීමෙනි. ඒ නිසා මේ තරගයේ වීරයා බවට නිතරඟයෙන්ම පත්ව සිටින්නේ ඔහුය. මෝදිට ඇපත් නැති කරනවා යැයි වහසිබස් දෙඩූ රාහුල් ප්‍රමුඛ කොංග්‍රසය ඇතුළු විපක්ෂයට මින් මතුවට අලුත් තුරුම්පු සොයන්නට සිදුව තිබේ. මේ හින්දූත්ව ප්‍රමුඛතා මානසිකත්වයෙන් ජනතාව මුදාගන්නට අලුත් ක්‍රම විධි සංකල්ප තාක්ෂණ උප්පරවැට්ටි සොයාගන්නට සිදුව තිබේ. හීන්දූන් ලොව අංක එකට ඔසොවා තබමු! යන මෝදිගේ “ට්‍රම්ප්” පන්නයේ ජාතිකවාදී සටන්පාඨය පක්ෂයේ මෙන්ම ඔහුගේද සර්වදෝෂ භංගකරන සුභ මතුර බවට පත්විය. ඉතින් දැන් නැවතත් වීරයා මෝදිය. ජනතාව රටපුරා හුරේ දමමින් බාල් නටන්නේ ඔහුගේ ජය වෙනුවෙනි.

සමාජයෙ පහළම අඩියෙන් අරඹා ජනකාන්ත චරිතයක් බවට පත් වූ මෝදි පොදු ජනතාව වෙතින් ලද ජනප්‍රියතාව පසුකාලිනව හීනවීමට හේතු කිහිපයක් බලපෑවේය. 2014දී ඔහු දුන් පොරොන්දුව පරිදි ගොවියන්ට සහන ලැබුණේ නැත. ඔවුන් ණය දැලේ පැටලීගත් ගමන්ය. රස්සා බලා සිටි තරුණ පිරිසට වගතුවක් වූයේද නැත. 1970න් පසු  වැඩිම විරුකියා අනුපාතය වාර්තාවුණේ මේ කාලයේදීය. රැකියා විරහිත බවට ස්ථීරසාර විසඳුමක් දෙන බවට දුන් ආකර්ෂණීය පොරොන්දුව මේ වනවිට ඉටුකිරීමට නොහැකි වූ යල් පැනගිය එකකි. වෙනෙකක් තබා, අද ඉන්දියාවේ රැකියා විරහිතභාවය 6%ක් දක්වා වර්ධනය වී ඇති අතර එය වසර 45ක් තුළ ඉන්දියාවේ වැඩිම රැකියා විරහිත ප්‍රතිශතය බව කියයි. එමෙන්ම, මෝදිගේ රජය බලයට පැමිණි විගස ඉන්දිය රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කළේ කළු සල්ලිවලට වැට බැඳීමට වුවද ඒ හේතුවෙන් සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර බිඳ වැටින. එමෙන්ම මෝදිගේ රජයට ඒ සඳහා දැක්මක් තිබුණද එය යථාර්ථයක් කර ගැනීම සඳහා උපාය මාර්ග තිබුණේ නැත. එයින් මෝදිගේ රජය අතිශයෙන් අපකීර්තියට පත් වූ අතර එය මැකිය නොහැකි කළු පැල්ලමක්  විය. එමෙන්ම ඡන්ද ප්‍රකාශ කිරීම අතරතුරදී එරට ජෙට් ගුවන් සේවය වසා දැමීමට සිදුවීමද මෝදිගේ ඡන්ද ව්‍යාපාරයට බලපෑමක් ලෙස එල්ල විය. 16,000ක් සේවකයන් රැකියාවෙහි නිරතවන එමෙන්ම ඉන්දියාවේ දෙවැනි විශාලතම ගුවන් සේවය මෙලෙස පරිහානියට පත්වීම මගින් ඉන්දියාවේ අනාගත ආර්ථිකයේ ගරාවැටීම පෙන්නුම් කරන්නේ යැයි මෝදිගේ විරුද්ධවාදීහු තර්ක කළහ. එමෙන්ම මෝදිගේ රජය බලයට පත්වීමෙන් අනතුරුව, මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයත් සැලකිය යුතු ලෙස වර්ධනය වූ බවක් දිස්විය. මෝදිගේ අනුගාමිකයින් එම ප්‍රචණ්ඩත්වයන්හී මූලිකත්වය ගෙන ක්‍රියාකරනු ලැබීය. ඒ අතර ඉන්දීය ආර්ථීකයද තවත් පහළ වැටුණේය. ඒ අතර මෝදිගේ කිව්වා නාහන ජාතිකත්ව ලැදි වැඩ නිසා රටේ නොයෙකුත් බෙදීම්ද ඇතිවිය. රටේ බෝම්බ පිපිරුවේය. මැතිවරණය අත ළඟ කාශ්මිර ගැටලුව ඇවිල ගියේය. ඉන්දු-පාකිස්තාන යුද ගිනි බුර බුරා  නැංගේය. දේශසීමා ඉර පැන ගිය ඉන්දියාව පාකිස්තානයට බෝම්බ දැම්මේය. චීනය සහ අමෙරිකාව සමග සබඳතා චංචල වූයේය. නමුත් මේ කිසිදු කරැණකින් මෝදි හෝ බීජේපීය හොල්ලා උදුරා දමන්නට නොහැකි විය.

ඔහු බොලිවුඩ් පන්නයේ වීරයෙක් බවට පත්වන්නට නිකම්ම සිය අතට ආ තුරුම්පුව යසට භාවිතා කළේය. ඒ බාල්කොට් ප්‍රහාරයත් සමග ඇවිලෙන්නට ගිය පාකිස්තානයට එරෙහි යුද්ධයයි. එහිදී පාකිස්ථානයට එරෙහිව සිදුවූ ගුවන් ප්‍රහාර මෝදිගේ ජයප්‍රියත්වය වර්ධනය කිරීමට සමත්විය. ඉන්දීය ජනයා, පාකිස්ථානයට එරෙහි යුද්ධයකට අතිශය  සංවේදීය. මෑතකදී කරන ලද සමීක්ෂණයකින් 33%වූ ඉන්දීය ජනයා පාකිස්ථානයට එරෙහි ගුවන් ප්‍රහාර අනුමත කරන අතර තවත් 41%තවත් ප්‍රහාර එල්ල කළ යුතු බව පවසන  බව එළිදරව් විය. එමෙන්ම එම සමීක්ෂණයම එළිකරන පරිදි, 44%මේ ප්‍රහාරයේ ගෞරවය මෝදිට හිමිවිය යුතු බවත්, තවත් 40% එහි ගෞරවය ඉන්දීය ගුවන් හමුදාවට අයත් විය යුතු බවත් කියා තිබුණි. මෙම සමීක්ෂණය පැහැදිලි කරන්නේ බාල්කෝට් ප්‍රහාරය හරහා මෝදිගෙ ජනප්‍රියත්වය, අපේක්ෂා කළ පරිදිම ඉහළ ගොස් ඇති බවයි. ඒ තරමටම මෝදි සිටවූ ජාතිකවාදී වෘක්ෂයේ මුල්, ඉන්දීය ගෝත්‍රිකවාදී ජන පදනම ගැඹුරටම කිඳා බැස තිබුණි. ඉතින් බොහෝ දෙනා සිතා-පතා-බලා සිටි ජයග්‍රහණය අහලකටවත් එන්නට කොංග්‍රසයට නොහැකි විය. රාහුල් ගාන්ධි පවා තමන් සිහිනයක අතරමංව සිටි බව දැන් තේරුම් ගෙන හමාරය. අන්තිමේ ඔහු තමන්ගේ පවුලෙන්ම උරුමයක්ව තිබූ අමෙති අසුනද නැතිකර ගත්තේය. ඒ අතර මෝදි වාරණැසි සිය ආසනය ඉහළින්ම දිනාගත්තේය. ඇත්තෙන්ම මේ මැතිවරණය අන්තිමේදි මෝදි වෙනුවෙන් පැවැති ජනමත විචාරණයක හැඩරුව පිළිබිඹු කළේය. තවත් අය මේ මැතිවරණය දුටුවේ ඉන්දීය අනන්‍යතාව තෝරාබේරා ගන්නට ලද අවස්ථාවක් හැටියටය. මෙහිදී අංක 01  බවට පත්වූයේ හින්දු ජාතිකත්වයයි. ඒ මෝදි ජනතාව වශීකරගත් මන්ත්‍රයයි.  

ඔහු එය සිදුකළේ දේශපාලනයෙන් තෙම්පරාදු වූ කට්ටසූර නායකයකු හැටියටය. ඔහු  ජනතාවට තේරෙන බසින් කතා කළේය. නිදසුනක් හැටියට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට තුනක් දක්වා සෞඛ්‍ය ආරක්ෂණ සඳහා වෙන්කරමින් සෞඛ්‍ය සේවා සඳහා වැයකරන අගය දෙගුණ කරන බව කොංග්‍රසය කීය. මෝදි ඇතුළු බීජේපීය කීවේ රටපුරා අලුතෙන් රෝහල් 150,000ක් ඇතිකරන බවය. දොස්තරලා වැඩිකරන බවය. දැනට ඇති  රෝහල්වලට වැඩි පහසුකම් දෙන බවය. සැමට සෙවණ අපේ වැඩපිළිවෙළ සිහිපත් කරමින් හැම පවුලකටම නිවසක් දෙන බව ඔහු කීවේය. ගෙදර ආර්ථීකයට අතහිත දෙන්නට ඈත ගම්වල දුප්පත් පවුල් සඳහා නොමිලේ ගෑස් සිලින්ඩර සබඳතා ලබාදෙන බව කීය. මෙලෙස ජනතාවට තේරෙන බාසාවක් යොදා ගනිමින් ජනතා හැඟීම්වලට ඇමතීම මේ විස්මිත ජය කරා ඔහු මෙහෙයවන්නට ප්‍රධානතම හේතුවක් විය. ඉන්දියාව යනු සුවිශාල, අතිශයෙන් බෙදීම් සහිත ඉහළ විවිධත්වයකින් පිරි රාජ්‍යයකි. ප්‍රාන්ත 29ක්, ප්‍රධාන භාෂා 24ක් හා ප්‍රධාන ආගම් 6ක් සහිත ඉන්දියාව මේ පැවැත්වූයේ සිය 17 වැනි ලෝක් සභාව තෝරාගැනීමේ ඡන්දයයි.

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3කි. ඒ අනුව එය ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනය ඇති රටයි. ලෝක ජනගහනයේන් 15% කට වඩා වැඩි ප්‍රමාණයක් එරට පුරා ජීවත් වුවද එම ජනගහනය ජීවත්වන්නේ ඇමරිකාවේ භූමි ප්‍රමාණය මෙන් 1/3 ක් පමණ සොච්චම්  ප්‍රමාණයක වීම ඉන්දියාව මුහුණ දෙන ගැටලුවල සංකීර්ණත්වය කියාපායි. 2019 මහ මැතිවරණයට ඡන්ද දායකයින් මිලියන 900 කට වඩා මන්ත්‍රීවරුන් 543ක් තෝරා ගැනීමට සුදුසුකම් ලබාඋන්හ. මිලියන 900ක් යනු අවසාන ඇමෙරිකානු ජනාධිපතිවරණ 7ටම ජන්දය දුන් ජන්දදායකයින්ටත් වඩා වැඩි ඡන්දදායකයින් ප්‍රමාණයකි. ඒ අනුව ඉන්දීය ලෝක් සභාවේ එක මන්ත්‍රීවරයෙකු ඉන්දීය ඡන්දදායකයින් මිලියන 1.6 ක් නියෝජනය කරයි. එංගලන්තයේ එක මන්ත්‍රීවරයෙකු නියෝජනය කරන්නේ එරට ඡන්දදායකයින් 75,000කටත් අඩු ප්‍රමාණයකි. එමෙන්ම ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වූයේ නම්, සමස්ත ලංකාවටම ඉන්දීය ලෝක සභාවේ නියෝජනය කිරීමට හැකිවන්නේ මන්ත්‍රීවරු 8-9 ක් වැනි ගණනකි. එහෙයින් මෙවැනි අති විශාල රාජ්‍යයක මැතිවරණ ක්‍රියාවලිය අතිශයෙන් සංකීර්ණ ක්‍රියාවලියක් බව මනාව පැහැදිලිය.

ඒ නිසාම ඉන්දියාවේ මැතිවරණයට එක් දිනයක් නැත. සංකීර්ණ බව නිසාම මැතිවරණය සති ගණනක් පැවැත්වේ. මෙවර එය 2019 අප්‍රේල් 10 දින සිට මැයි 19 දක්වා පැවැත්වු  අතර මැයි 23 ප්‍රතිඵල නිකුත් කිරීම ඇරුඹිණි 1988/89 වකවානුවේදී ලංකාවේ පළාත් 8කට මැතිවරණය කොටස් හතරකින් පැවැත්වීමට සිදුවූයේ ආරක්ෂාවේ ගැටලු නිසාය. ඉන්දියාවේද එකම දිනක මැතිවරණ පැවත්වීමේ අපහසුවද ඒ හා සමානම ආරක්ෂාව පිළිබඳ ඇති ගැටලුව නිසාය.

ඉන්දියාවේ ලෝක් සභාව ආසන 545කින් සමන්විත වන අතර මැතිවරණ පැවැත්වෙන්නේ ආසන 543ක් සඳහාය. ඉතිරි ආසන දෙක සඳහා ඉන්දිය ඇන්ග්ලෝ ජාතිකයින් දෙදෙනෙක් නම් කිරීමට ඉන්දීය ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායක බලයක් තිබේ. ඉන්දියාවේ මැතිවරණ කොමිසම ඉතා ඉහළ බලයක් ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන ආයතනයකි. මෙවැනි සංකීර්ණ ක්‍රියාවලියකට ස්වාධීන ආයතනයක් පැවතීම ඉතා වැදගත්ය. ඉන්දීය ව්‍යවස්ථාව අනුව කිසිදු ඡන්දදායකයෙක් සිය ඡන්දය භාවිතා කිරීමට කිලොමීටර් 3කට වඩා දුර නොයා යුතු අතර ඒ අනුව මිලියන 900ක් ඡන්දදායකයන්ට සිය ඡන්දය පහසුවෙන් භාවිතා කිරීම සඳහා මිලියනට වඩා වැඩි ඡන්ද පොළ ප්‍රමාණයක් මැතිවරණ කොමිසම විසින් පවත්වා ගෙනයනු ලබයි. මේ මැතිවරණ ක්‍රියාවලියට ගුවන් යානා, බෝට්ටු පමණක් නොව සමහර අවස්ථාවලදී ඔටුවන් පවා භාවිතා කරනු ලැබේ. එමෙන්ම ගුජරාට් ප්‍රාන්තයේ එක ඡන්ද පොළක් පැවැත්වෙන්නේ එක ඡන්දදායකයෙක් වෙනුවෙන් වීමද විශේෂයකි. එමෙන්ම මෙම මැතිවරණයේදී භාවිතා වූ ඡන්ද 10%ක් ම නව ලියාපදිංචි ජන්දදායකයින් වන අතර තවත් 20%කට පමණ අකුරු ලිවීමේ හැකියාව නැත. ඒ නිසා, මෙවර ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයින්ගේ ඡායාරූපය පවා මුද්‍රණය කර තිබුණි. මේ සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ඡන්දය ප්‍රකාශකරන්නන්ගේ ප්‍රමාණය වැඩිකර ගැනීමටය. ඒ උප්පරවැට්ටිය සාර්ථක වූ අතර ඉතිහාසගත වැඩිම ජන්දදායක සහභාගිත්වයක් සටහන් විය. එය සියයට 67.11%කි. එහි වාසියද අත්වූයේ මෝදිහටය.
ඉන්දියාවේ පක්ෂ 1841 ක් ලියාපදිංචිව ඇතත්, මෙම මැතිවරණය සඳහාද සුපුරුදු ලෙස ප්‍රධාන පක්ෂ දෙකක් ප්‍රමුඛ කරගත් සන්ධාන දෙකක් තරඟ වැදුණි. වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායක්ත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය (BJP) ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ජාතික මෙන්ම ප්‍රාදේශීය පක්ෂ 21ක් ඇතුළත්ය. ශිව සේනා, සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (ජයලලිතා), ජනතා දාල් යන ප්‍රධාන පක්ෂ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සාමාජිකත්වය දරයි. මෝදිගේ දක්ෂිණාංශික සන්ධානයට එරෙහිව තරඟ වැදුනේ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලි පෙරමුණයි. මැද මාවතේ පක්ෂ මෙන්ම වාමාංශික පක්ෂ තිස් හයක එකතුවක් වන මේ සංධානයට තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් (කරුණානිධි), ඉන්දීය මුස්ලිම් ලීගය, ඉන්දියාවේ කොමියුන්ස්ට් පක්ෂය ඇතුළත්ය. ප්‍රධාන ලෙසම මෙම සන්ධාන දෙක තරඟ වැදුනද මේ ප්‍රධාන පක්ෂ දෙකට අමතරව වෙනත් පක්ෂද ප්‍රධාන පක්ෂ දෙකට සැලකියයුතු තරඟයක් දුන්නද, එම පක්ෂ බොහෝවිට වෙන්වෙන්ව තරඟ කරනා බැවින්ද ඔවුන් තුළ ඇති විවිධ මතවාදි විෂමතා හේතුවෙන් ඔවුන් එකට එක්වීමේ හැකියාව අඩුය. විශේෂයෙන්ම පසුගිය අවසාන වසර විස්සේදී ඉන්දීය ජාතික කොංග්‍රසය හා භාරතීය ජනතා පක්ෂය තනිව ආසන 325 ඉක්ම නොවූ අතර අනෙකත් පක්ෂ ආසන 200ක් ඉක්මවා තිබුණි. ඒ අනුව පිහිටුවන්නට සිදුවන අස්ථාවර පාර්ලිමේන්තුවකදී මේ අනෙකුත් පක්ෂවලට ලොකු  වටිනාකමක් ලැබි තිබුණි. ඒවාට කේවල් කිරීමේ මෙන්ම රජයකට කකුල් මාට්ටු දැමීමේ හැකියාවද උදාවිණි. නමුත් මෙවර ජනතාව මෝදි සහ බීජේපීයට තනි බලයක් ලබා දී හමාරය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00