2020 ජුලි 25 වන සෙනසුරාදා

කෙළින් කතා

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

මම හොරකම් - වංචා කරලත් නෑ: මන්ත්‍රී වැටුප ගත්තෙත් නෑ

 

කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක බන්දුල ගුණවර්ධන

 

මෙවර ආණ්ඩුවේ දේශපාලන වේදිකාවෙන් ඇසෙන්නේ තුනෙන් දෙකේ බලය පිළිබඳව. ඇත්තටම ආණ්ඩුවට 2/3ක් ගන්න පුළුවන්ද? කොහොමද ජයග්‍රහණ බලාපොරොත්තු?

පසුගිය කාලය තුළ දේශපාලනයේ දී මිනිසුන්ගේ ඇට මස් ලේ වලට කා වද්දලා තිබුණා සුළු ජාතිකයන්ගේ ඡන්දය නැතුව ජනාධිපතිවරයෙක් බිහි කරන්න බෑ කියලා. බහුතර ඡන්ද කොටස්වලින් ලබාගන්න පුළුවන් උපරිම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 58 යි. තව ලක්ෂ 10ක් අඩුයි. ඒ නිසා කවර අවාසිදායක කොන්දේසිවලට එකඟව වුණත් ඒ විදිහටයි ජනාධිපතිවරයෙක් බිහි කරන්න වෙන්නේ කියලා.  නමුත් මෙවර රටේ ජනතාව එය වෙනස් කළා. ලක්ෂ 69ක් ඡන්ද ගත්තා. එතුමා අවේ සියලු ජාතීන් රුකගෙන රට හදන්න. මෙවර සියලු දෙනා ජාති ආගම් බේදයකින් තොරව ආණ්ඩුවට 2/3ක් අරන් රට හදන්න ඡන්දය දෙයි කියලා මම විශ්වාස කරනවා.

ජනාධිපතිවරණයේ ගත්ත ලක්ෂ 69 මෙවර මහ මැතිවරණයේදී ගන්න බෑ කියලා සමාජයෙන් කතාබහක් මතුවෙලා තියෙනවා. පවතින ඡන්ද ක්‍රමය අනුව කාටවත් 2/3ක් ගන්න බෑ. මේ ජනතාවට බොරැ බලාපොරොත්තු නේද දෙන්නේ?

දැන් මීට කලින් පැවතුණු ක්‍රමය අනුව සුළු ජාතික ඡන්ද නැතුව ජනාධිපතිවරයෙක් පත්වෙලා නෑ. නමුත් දැන් ඒක බොරු කරලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ සිදු නොවුණු දෙයක් මෙවර සිදු වෙනවා. කොහොමත් අපේ ඉලක්කය 2/3ක් ගන්න. මොකද එජාපය දැන් දෙකට බෙදිලා තියෙනවා. ජනාධිපතිතුමාගේ දැක්ම එක්ක බොහෝ එජාප පාර්ශ්විකයනුත් අපිට ඒ බලය ලබා දෙයි.

ඔබලා එහෙම බලය ඉල්ලන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඇයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ?

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක මුකුත් කරන්න බෑ. ජනතාවට මේ මගින් කිසිම සෙතක් වෙලා නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ දැන දැන ඒක වළක්වා නොගත්තට වගඋත්තරකාරයෙක් වෙලා ඉන්නවා පොලිස්පතිතුමා. ඒ පොලිස්පතිතුමා පත් කළේ ව්‍යවස්ථාදායක සභාවෙන්. එතකොට ලක්ෂ 69ක් ඡන්දය දුන්නත් ජනාධිපතිවරයාට පොලිස්පති වෙනස් කරන්න බැරි නම් මේ ජනාධිපතිකමෙන් ඇති ඵලය මොකක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳයි නම් මේ පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නේ නෑ. එහෙනම් පොලිස් කොමිසමෙන් හොඳ අයෙක් පත් කරන්න තිබ්බා. එහෙම වුණා නම් මේ ප්‍රහාරය වළක්වාගන්න තිබ්බනේ.

ඔබලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළත් වෙනස් කරන්නේ රටේ සුළු ජාතික පක්ෂවල සහායක් නැතුව. එහෙම සුළු ජාතික පක්ෂවල සහායක් නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් වැඩක් තියෙනවද?

සුළු ජාතික පක්ෂ විතරක් නෙවෙයි. දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න දෙන එක වැරදියි. මේ වැරදි පිළිවෙතින් අපි මිදෙන්න ඕන. මේ රටේ ආගමික නායකයන් ඉන්නවා. විවිධ ජනවර්ගවල වෙනත් නායකයන් ඉන්නවා. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන මේ රටේ විද්වතුන් ඉන්නවා. මේ සියලු දෙනාගේ අදහස් අරගෙන තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය යුත්තේ. එහෙම නැතුව දේශපාලකයන්ටම මේක හදන්න දෙන එක සාධාරණ වෙන්නේ නෑ කියලා තමයි මම හිතන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ උග්‍ර මනාප සටනක් තියෙනවා. ඔබ දැන් කාලයක් දේශපාලනයේ ඉන්න කෙනෙක්. අලුත් අයගෙන් අභියෝගයක් නැද්ද?

මට කිසිම අභියෝගයක් නෑ. මම 1989 ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියේ මන්ත්‍රී වැටුප නැතුව. මම හොරකම් වංචා දූෂණ කරලා නෑ. රටට ද්‍රෝහි කිසිම කටයුත්තක් කරලා නෑ. කොළඹ ප්‍රබුද්ධිමත් ජනතාව අපි කවුද කියලා දන්නවා.  අලුත් අයගෙන් අභියෝගයක් නෑ.

ඡන්ද පදනම දැන් සමගි ජනබලවේගය වටේ ගොඩනැගිලා

 

මහනුවර දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේගයේ අපේක්ෂක ලකී ජයවර්ධන

දැන් මහනුවර මනාප සටන උග්‍රයි. එක්සත් ජාතික පක්ෂය බෙදිලා තමයි මහ මැතිවරණයට යන්නේ. මහනුවර ගැන ඔබලට තිබෙන තක්සේරුව කුමක්ද?

මහනුවර එහෙම මනාප සටනක් නැහැ. ඒක තනිකරම බොරැවක්. අනිත් පක්ෂවල තමයි මේ මනාප සටන් තියෙන්නේ. ඇත්තටම සමගි ජන බලවේගය එහෙම මනාපවලට පොරකන්නේ නැහැ. එක්සත් ජාතික් පක්ෂයට ඇත්තටම දැන් මහනුවර ඡන්ද පදනමක් නැහැ. එදා එජාපයේ හිටපු සියල්ලන්ම අද සමගි ජන බලවේගය වටා එක් වී ඉන්නවා. පාක්ෂිකයන් දන්නවා නියම යූ.එන්.පී. එක තියෙන්නේ කොතැනද කියලා.

අලියත් එක්ක නැතුව දුරකථනයට ඔබ ගියේ රැල්ලටද? එහෙම නැත්තම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන විශ්වාසයක් නැති නිසාද?

එජාපයේ බහුතරය මන්ත්‍රීවරැන් ඉන්න පැත්තට තමයි මම ගියේ. එහෙම නැතුව රැල්ලට නෙවෙයි. පාක්ෂිකයන් බොහෝමයක් ඉල්ලා සිටියා වැඩි කැමැත්තට යන්න කියලා. මම පාක්ෂිකයන් වෙනුවෙන් පෙනී ඉන්නා ජනතා නියෝජිතයෙක්. ඒ නිසා ජනතා කැමැත්තට තමයි මගේ කැමැත්ත. කොහොමත් දැන් අලියගේ ඉන්න පිරිසට වඩා මහජනතාව දුරකථනය ගැන විශ්වාසය තියලා තිබෙන්නේ.

මේ මැතිවරණ ව්‍යාපාරයේ ආණ්ඩුවට ගහන එක පැත්තක තියලා යූඑන්පී එක දෙකට බෙදිලා ගහගන්න එක අවාසියි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

අපි එක්සත් ජාතික පක්ෂයට කිසිවිටෙකත් පහර ගැහුවේ නැහැ. මොකද එජාපය කියන්නේ අපේ පරණ පක්ෂය. කොහොමත් මේ මැතිවරණයෙන් පස්සේ ඔය එජාපයේ ඉන්න අනෙකුත් සියලුදෙනාත් දුරකථනය පැත්තට එයි. මේ මැතිවරණයේ එජාපය ඉල්ලුවට ඇත්තටම වැඩක් නැහැ. මොකද දැන් ඡන්ද පදනම සමගි ජන බලවේගය වඩා ගොඩනැගිලා ඉවරයි.

දැන් මෙවර බලය ලැබුණාට පස්සේ ආර්ථිකය ගොඩනගන බවට ඔබලාගේ දේශපාලන වේදිකාවලින් ලොකු ලොකු කථා ඇහෙනවා. නමුත් ආණ්ඩුව කියන්නේ ඔබලා තමයි රටේ අර්ථිකය කඩා වැට්ටුවේ කියලා. ජනතාව ඔය ඔබලා දෙන පොරොන්දු විශ්වාස කරයිද?

මේ රටේ ආර්ථිකය ගොඩගත්තේ කවුද කියලා ජනතාවට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේම මෙවර මහ මැතිවරණයෙන් පස්සේ ආර්ථිකය හදන්න පුළුවන් කණ්ඩායමක් තමයි මේ සමගි ජනබලවේගය වඩා එක්වී ඉන්නේ. අපි ජනතාවට පොරොන්දු දෙන්නේ නැහැ. ආර්ථිකය ගැන හදලම පෙන්නනවා. අනික පසුගිය වසර හතර හමාරක කාලය තුළත් අපි විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා. ඒ පිරිසම තමයි දැන් අපි වටා එක්රොක් වී ඉන්නේ. ඒ නිසා අපගේ පක්ෂයේ ඉන්න නායකයන්ට තිබෙන දැක්ම අනුව මේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් සමගි ජන බලවේගයට පමණයි. අනෙකුත් කිසිම පක්ෂයකට මේ රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ.

ඔබලා ආණ්ඩුවට කොච්චර චෝදනා කළත් විවේචනය කළත් යටින් ආණ්ඩුව එක්ක ඩීල් දේශපාලනයක ඉන්නවා කියලා ආණ්ඩුවට 2/3 ගන්න උදව් කරනවා කියලා චෝදනාවක් තිබෙනවා?

සමගි ජන බලවේගය කිසි විටෙකත් ඩීල් දේශපාලනයේ නියැලෙන්නේ නැහැ. පිරිසිදු දේශපාලකයන් තමයි සමගි ජන බලවේගයේ ඉන්නේ. හොරැ මංකොල්ලකාරයන් අපේ පක්ෂයේ නැහැ. අනික අපි කවදාවත් අපේ පාක්ෂිකයන් පවා දෙන්නේ නැහැ. යටින් ඩීල් දාන්නේ කවුද කියලා මේ මැතිවරණයෙන් පස්සේ බලාපොරොත්තු වෙන්නෙ පුළුවන්. එහෙම ඩීල් දාපු නිසා තමයි අද බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ පාර්ශ්වයන් නිදහසේ ඉන්නේ. ජනතාවට මේ සියල්ල අමතක වෙලා නැහැ. ඒ නිසා ඔය ඩීල්කාරයෝ කවුද කියලා මහ මැතිවරණයේදී ජනතාව පෙන්නයි. ඒ වගේම ඒ ඩීල්කාරයන්ට පිළිතුරක් ලබාදෙයි මහජනතාව.

 

මිනිස්සු එක්ක ඉන්න මාව පරද්දන්න බෑ

 

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම

කලක් ඔබතුමා පක්ෂ නායකතුමා එක්ක විරසක වෙලා හිටියා. චෝදනාවක් තිබුණා සිරිකොතට ගල් ගහපු කල්ලියේ ඔබතුමා හිටියා කියලා. එහෙම හිටපු ඔබ කොහොමද නායකතුමා එක්ක එකතු වුණේ?

සිරිකොතට ගල් ගහපු අය තමයි දැන් ඔය එළියට ගිහින් තියෙන්නේ. මම තමයි ඒ ගල් ගහන වෙලාවේ ඒ අය පාලනය කළේ. සජිත් තමයි සිරිකොතට ගල් ගැස්සුවේ. මම නියම යූ.එන්.පී. කාරයෙක්. කළුතර මිනිස්සු මම ගැන දන්නවා. හිටපු යූ.එන්.පී. අය පක්ෂය දාලා යද්දි මම පක්ෂය දාලා ගියේ නෑ. මම පක්ෂයට මගේ යුතුකම් ඉටු කරනවා. මම කාගෙවත් පැත්ත ගන්නේ නෑ. අපි එජාපය ආරක්ෂා කළොත් තමයි ඔය ගිය අයට නැවත එන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි එහෙම ගන්නේ නෑ. ආවොත් ඔළු හෝදලා තමයි ගන්නේ. මගේ පක්ෂයේ අයිතිකාරයා රනිල් මහත්තයා නෙවෙයි. මගේ පක්ෂයේ නායකයා තමයි රනිල්. හෙට වෙන කවුරැ හරි නායකයා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් පත් වුණොත් අපි ඔහු එක්කත් වැඩ කරනවා. පක්ෂයට ආදරය නිසා තමයි අපි නායකයා එක්ක ඉන්නේ.

කළුතර දිස්ත්‍රික්කයේ මනාප සටන උග්‍රයි, ඔබ ඉල්ලන්නේ සමගි ජනබලවේගයේ බලවත් චරිත ඉන්න දිස්ත්‍රික්කයක. හිතනවද ඔබට ජය ගන්න පුළුවන් කියලා?

සමගි ජනබලවේගයේ බලවත් අය ඉන්නවා නම් මොකටද තමන්ගේ පක්ෂය දාලා යන්නේ. මිනිස්සු ආදරෙයි නම් දිස්ත්‍රික්කය දිනනවනේ. මේ කළුතරට රනිල් ආවත්, මහින්ද ආවත් මේ පාලිත තෙවරප්පෙරැම පරද්දන්න බෑ. ඇයි බැරි? අපි මිනිස්සු එක්ක හිටියා. මිනිසුන්ගේ හදගැස්ම අපි දන්නවා. අනික කවුද සමගි ජනබලවේගයෙන් ඉල්ලන්නේ. පක්ෂ මාරු කරපු අය. ජනතාව නොදැක්ක අය. එහෙම අයනේ මේකෙන් අද ඉල්ලන්නේ. කළුතර මිනිස්සු දන්නවා කවුද පාලිත තෙවරප්පෙරැම කියන්නේ කියලා. ඔය බොහොමයක් ගිය පාර කළුතරෙන් ඡන්දය ගත්ත අයට අද කළුතරෙන් ඡන්දය ගන්න බෑ. මේ අය එක්ක අපිට කිසිම සටනක් නෑ. 

ආණ්ඩුව මෙවර 2/3ක් ගන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. එතකොට සමහරැ කියනවා ඔබතුමන්ගේ නායකතුමා ඩීල් දාලා තියෙනවා කියලා මහින්ද එක්ක. එහෙම වුණොත් ආණ්ඩුවට 2/3ක් ගන්න උදව් කරන්න ඔබ ආණ්ඩුවට යනවද?
ආණ්ඩුවට 2/3ක් ගන්න තිබ්බා කොරෝනා කියන වසංගතය හරියට හඳුනගත්තා නම්. නමුත් මේ අය මේ වසංගතය හරියට හඳුනගත්තේ නෑ. මේ අය මේක ආශිර්වාදයක් ලෙස තමයි හිතුවේ. ජනතාවට කොරෝනා එක්ක මේ ආණ්ඩුව ගැන තිබ්බ පැහැදීම නැති වුණා. අනික මේ ආණ්ඩුවට 2/3ක් ගන්න බෑ. එජාපය කවදාවත් ආණ්ඩුවට යන්නේ නෑ. එහෙම ගියත් මේ පාලිත තෙවරප්පෙරුම කවදාවත් ජනතාව පාවල දෙන්නේ නෑ. පක්ෂය පාවල දෙන්නෙත් නෑ.

ඇයි ඔබතුමා හැමවිටම රාජ්‍ය නිලධාරීන් එක්ක ගේම ඉල්ලන්නේ? එහෙම කරලා ඔබට මනාප ගන්න පුළුවන්ද?

ඒ සමහරු තමයි රටේ හොරකම දූෂණ වංචා සියල්ලම කරන්නේ. අනික ඔය සමහර නිලධාරීන්ගේ වත්කම් බැරකම් හෙව්වොත් කොහොමද කියලා බලාගන්න පුළුවන්. හැමෝම එහෙම නෑ. දැන් ඔය කොරෝනා කාලේ රට වැහුවනේ ඇඳිරිනීතිය දාලා. ඒ වගේ මේ රටේ හැම ආයතනයක්ම එක තැනකට ගෙනත් මේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ගැනම හොයා බලන්න ඕන. එහෙම අයථා අය ඔප්පු වුණොත් ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න ඕන. මේ රටේ වැඩියම හොරකම් කරලා තියෙන්නේ දේශපාලකයෝ නෙවෙයි රජයේ නිලධාරීන්.

මෙවර මහ මැතිවරණයෙන් පස්සේ යූ.එන්.පී. එක ඇතුළේ තවදුරටත් ගැටුම් ඇතිවෙන්න පුළුවන් කියලා දේශපාලන ආරංචි මාර්ග කියනවා. එහෙම වුණොත් ඔබ මොකද කරන්නේ?

ඔය හැමතැනම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති තැනක් නෑ. ඇත්තටම මෙතන නායකත්වය ගැන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. පක්ෂය රුකගන්න ඕන කොහොමද කියන කාරණය තමයි අපි බලන්න ඕන. දැන් අපේ පක්ෂයේ අර්බුද නෑ. අපේ නායකතුමා සැහැල්ලුවෙන් ඉන්නවා. දැන් මම මෙච්චර කාලයකට නායකතුමා සැහැල්ලුවෙන් ඉන්නවා දැක්කේ මේ කාලයේ තමයි. ඇයි පක්ෂයේ හිටපු හොරු වංචාකාරයෝ කුපාඩි ඔක්කොම එළියට ගියානේ.

ඡන්දෙන් ඡන්දෙට ප්‍රතිපත්ති දෙන්න මේක රෙදි මාරු තරගයක් නෙවේ

 

බදුල්ල දිස්ත්‍රික් ජාතික ජනබලවේගය අපේක්ෂක සමන්ත විද්‍යාරත්න

ඔබලා කොච්චර කෑගැහුවත් දැඟලුවත් සියයට තුනක ප්‍රතිශතය ගන්න එක අඩමානයි නේද?

ඒක ඇත්තකට වඩා ආණ්ඩුව විසින් හදන මතයක්. ඔය තියෙන්නේ. දැන් 3% අභියෝගයක් නෙවෙයි නම් ආණ්ඩුවට අපි අභියෝගයක් නෙවෙයි. නමුත් දැන් ආණ්ඩුව වැඩියම විවේචනය කරන දේශපාලන ව්‍යාපාරය අපිනේ. කොහොම වුණත් අපි ඔය අභියෝගය බාරගන්නවා. මොකද අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ගැන. අපේ 3%කෙසේවෙතත් පොදුජන පෙරමුණ 0% වැටිලා තියෙනවා. අපේ සියයට තුන වර්ධනය වෙනවද නැද්ද කියලා මහ මැතිවරණයෙන් පස්සේ බලාගන්න පුළුවන්.

ඔබලා මැතිවරණයට අලුත් අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ජාතික ජනබලවේගයේ ප්‍රධාන පක්ෂය වන ජවිපෙ ප්‍රතිපත්තිවල අලුත් වෙනසක් නෑ කියලා බොහෝ දෙනා කතා වෙනවා?

එකක් මෙහෙමයි. මැතිවරණයෙන් මැතිවරණයට ප්‍රතිපත්ති හඳුන්වා දෙන්න මේක විලාසිතා තරගයක්වත් රෙදි මාරු කරන තරගයක්වත් නෙවෙයි.  දැන් මේ රට ගොඩනැගීමේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි ජනාධිපතිවරණයේ දී එළි දැක්වූවා. ඒකම තමයි අපි මහ මැතිවරණයට ඉදිරිපත් කරන්නේ. ඒක වෙනස් කරන්නේ නෑ. ජනතාවට මැතිවරණයෙන් මැතිවරණයට ප්‍රතිපත්ති ප්‍රකාශ දෙන පක්ෂයකුත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ.

මේ රජය මහ මැතිවරණය ජයග්‍රහණය කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළොත් ඔබලා එයට විරුද්ධද? නැද්ද?

එකක් මෙහෙමයි. දැන් ආණ්ඩුවත් කියනවා ඒ අයට 2/3ක් ගන්න බෑ කියලා. ඒක ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ම කියනවා. දැන් යුද්දේ දිනලා ගත්ත ගැම්ම මේ වෙනකොට නෑ. මාස 8ක් වෙනවා දැන් ආණ්ඩුවට. ටිකෙන් ටික දැන් ආණ්ඩුවේ ජනප්‍රිය බව අඩුවෙලා තියෙනවා. නමුත් අපි දන්නවා රාජපක්ෂවරුන් හරි දක්ෂයි මන්ත්‍රීවරැන් බිලී බාගන්න. දැනටමත් ඒකේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එහෙම බිලී බාගෙන ආණ්ඩුව 2/3ක් ලබාගනියි. එතකොට ලයිට් කණු වගේ අත උස්සන පිරිසක් ඉඳියි. මොකද සල්ලි දුන්නා නම් කට්ටිය අත උස්සනවනේ. මේ ගෙන එන්නේ එහෙම ව්‍යවස්ථාවක්. ඒක ජනතාවට හිතකර නම් යහපත් නම් අපි ඒකට සහාය දෙනවා. නමුත් මොවුන් කරන්නේ එයාලට ඕන විදියට ව්‍යවස්ථාවක් හදාගන්න කියලා පේන්න තියෙනවා.

යහපාලනය ගෙනාපු 19 ට ඔබලා සහාය දුන්නා. එහෙම සහාය දීලා මේ ආණ්ඩුව ගෙන එන ව්‍යවස්ථාවට සහාය දුන්නේ නැත්තම් ඔබලාට චෝදනාවක් එයි නේද යහපාලනයට කඩේ ගියා කියලා?

අපි මේකට සහාය නොදෙනවා කිව්වේ නෑ. ජනතාවට හිතැති ව්‍යවස්ථාවක් ගෙනාවොත් අපි ඒකට සහාය දෙනවා. නමුත් එහෙම වෙලා නෑ. ඉතිහාසය පුරාවට දැන් මේ පසුගිය යහපාලන ආණ්ඩුවට 2/3ක් තිබ්බේ නෑ. ඒ නිසා අනිත් පක්ෂවලත් අදහස් අනුව ව්‍යවස්ථාව සංශෝධනය කළා. ඒකේ සමස්තය නිවැරදි නොවුණත් ස්වාධීන කොමිෂන් සභා දාලා යම් වැඩක් කළා. නමුත් වර්තමාන රජය එහෙම කරන්නේ නෑ. කෙසේවෙතත් ජනතාවට හිතැති එකක් ගෙනාවොත් අපි ඒකට දෑත් දෙකම උස්සනවා.

ඔබලා සමගි ජනබලවේගය සහ එජාපය සමඟ ඩීල් දේශපාලනයක නියැලෙනවා කියලා චෝදනාවක් තියෙනවා?

ජනතාව හොඳටම දන්නවා කවුද ඩීල් දේශපාලනයේ නියැලෙන්නේ කියලා. ඒකනේ මේ හොරකම් අල්ලනවා කියලා ආපු කවුරැත් හොරැන්ට විරැද්ධව පියවර ගත්තේ නැත්තේ. ඩීල් එක ක්‍රියාවට නැගුණු අවස්ථා ඕන තරම් තියෙනවා ඉතිහාසය පුරාවට. එජාපයත් රාජපක්ෂවරැත් එක්ක අපි ඩීල් දාන්නේ නෑ කොහොමත්.

ඌවේ මේ වන විට දැඩි මනාප සටනක් ඇතිවෙලා තියෙනවා. මොනවද ඔබලා ජනතාවට දෙන බලාපොරොත්තු?

ඌවට විතරක් නෙවෙයි රටටම ප්‍රශ්න තියෙනවා. දැන් ඌව කියන්නේ ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කය. උතුරැ නැගෙනහිරටත් වඩා ඌව දුප්පත්. මෙහේ ජනතාවගේ ඡන්දයෙන් ගිය කවුරැත් ජනතා ප්‍රශ්න ගැන කතා කළේ නෑ. ඔවුන් පොහොසත් වුණා විතරයි. අපේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ගැන කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනියි කියලා අපි හිතනවා.

හසිත් අංජන

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00