2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මාලිමාව නටන්නේ බොරුවට චූන් වෙලා

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 56

රංජිත් මද්දුමබණ්ඩාර - පාර්ලිමේන්තු මන්ත්‍රී මහලේකම් - සමගි ජන බලවේගය

  • එජාපය මේ රටේ දැන් සුළු පක්ෂයක්
  • ඉතිහාසේ වැඩිම ඡන්ද අරගෙන බලයට එන්නේ සජිත් මහත්තයා
  • ගොඩහේවලා ගත්තේ පොහොට්ටුවේ ඡන්ද පදනම කඩන්නයි

Q එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය දවසක ප්‍රකාශ කළා කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, තලතා අතුකෝරාළ යන අය එජාපයට එකතු වෙනවා කියලා. ඒක ඇත්තද?

එහෙම ගැටුමක්වත්, ප්‍රශ්නයක්වත් නෑ. ඒගොල්ලෝ මීට කලින් විස්සක් එනවා කිව්වා. දැන් ඒ විස්ස කියන්නෙ නෑ. නම් දෙක තුනක් කියලා දැන් ඒ මන්ත්‍රීවරුන්ගේ නමත් විනාශ කරන්න යන්නෙ. ඒ කිසි කෙනෙක්ට එහෙම උවමනාවක් නෑ එජාපයට යන්න. ඒ අයට ගන්න බැරිවුණාම මෙහෙම නම් කිය කියා ඉන්නවා.

Q අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊළඟ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ සහායෙන් ඉදිරිපත් වෙන්න උත්සාහ කරනවා කියලා. ඒ අතර ඔබලා එක්කත් යම් සාකච්ඡාවක් යනවා කියලා ආරංචියි. ඒක ඇත්තද?

අපි මේ වෙද්දි සාකච්ඡා තියලත් නෑ. සාකච්ඡා කරන්න අදහසකුත් නෑ. එජාපය කියන්නෙ අද මේ රටේ සුළු පක්ෂයක්. ඒ පක්ෂය එක්ක ගමන් යන්න කතා කරන්න අපට උවමනා නෑ. අනික එජාප නායකයා ඉන්නෙ පක්ෂයේ පාක්ෂිකයෝ එක්ක නෙවෙයි. පොහොට්ටුවේ අය එක්ක. එහෙම කෙනෙක් එක්ක අපි කොහොමද කටයුතු කරන්නේ?

Q මීළඟ මැතිවරණය ජනාධිපතිවරණයක්. ඒත් බැසිල් රාජපක්ෂ කියන්නෙ මීළඟ මැතිවරණය මහ මැතිවරණයක් විය යුතුයි කියලා. ඒ ගැන ඔබලා එක්ක සාකච්ඡා කළා කියලා තොරතුරකුත් ලැබුණා. ඇත්තටම සජබය කැමැති මොන මැතිවරණයටද?

ජනතාව ප්‍රතික්ෂේප කරපු පොහොට්ටුව එක්ක අපිට කිසිම කතාවක් නෑ. ඒ වගේම ඕනෑම මැතිවරණයක් එනවා නම් ඒ මැතිවරණයට මුහුණ දෙන්න අපි සූදානම්. ඒත් කවුරු හරි මහ මැතිවරණයක් සඳහා යෝජනාවක් ගෙනාවොත් අපි ඒ සඳහා පක්ෂව ඡන්දය දෙනවා.

Q පොහොට්ටුව ගෙනාවත් කමක් නෑ?

අනිවාර්යෙන්ම කවුරු ගෙනාවත් අපි සහාය දෙනවා. මොකද අපිට ඕනෑ මැතිවරණයක්. මැතිවරණ කල් දැම්මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. යහපාලන කාලේ පළාත් සභා කල් දැම්මා. මේ පාර පළාත් පාලන මැතිවරණය කල් දැම්මා.

Q අපි දන්නවා භූමියේ දේශපාලනය තුළ ජාතික ජන බලවේගය සඳහා රුල්ලක් තියෙනවා. මේ නිසා ආණ්ඩුවේ ලොකුම විවේචනය එල්ල වෙන්නෙ මාලිමාවට. ඒත් තරගයක් නෑ දිනන්නෙ ඔබලා කියන සජබයත් වේදිකාවල කතා කරන්නෙ මාලිමාව ගැන. මොකද බයද?

මෙහෙමයි. ටිකක් හරි දැන් දේශපාලනය කරන පුළුවන් තැනක ඉන්නෙ ජාතික ජන බලවේගය විතරයි. ඒත් 3% ක් ගත්ත පක්ෂයක් 6% ක් උපරිම ගනී. ඒ අය තවම තේරුම් අරන් නෑ කාටද ඡන්ද ලැබෙන්නෙ කියලා. සුළු ප්‍රමාණයක් වැඩි වෙයි. ඒක දැනගෙන චූන්වෙලා නටනවා. අපිට මාලිමාව එහෙම අභියෝගයක් නෙවෙයි. ඒ අය තමයි පොහොට්ටුව බලයට ගේන්න කටයුතු කළේ. චන්ද්‍රිකා, මහින්ද එක්ක ආණ්ඩු කරලා ඔවුන්ව බලයට ගෙනල්ලා තමා අද මේ රට මේ තත්ත්වයට වැටුණේ.

Q මාලිමාවේ කට්ටිය කියන්නෙ ඔබලා ඇතුළු ආණ්ඩු කරපු කණ්ඩායම්වල පොදු හතුරා වෙලා ඉන්නෙ ඔවුන් කියලා. ඒ නිසා ඔවුන්ව පරද්දන්න ඔබලා සියලු දෙනා එක වේදිකාවකට අවසන් මොහොතේ එක්වෙන බව ඒ අය කියනවා. ඒක ඇත්තද?

එජාපයත්, පොහොට්ටුවත් කියන්නෙ සුළු පක්ෂ. ප්‍රධාන බලවේගය සමගි ජන බලවේගය. ඒ වගේම දෙමළ සහ මුස්ලිම් පක්ෂ එක්ක අපි මේ වෙද්දි සන්ධානගත වෙලා  ඉවරයි. ඒ නිසා ඉතිහාසයේ වැඩිම ඡන්ද අරගෙන බලයට එන්නෙ සජිත් ප්‍රේමදාස මහත්තයා. ඒක ලක්ෂ 30කට වැඩියෙන් ගන්නවා.

Q ඔබේ පක්ෂයේ සන්ධානයක් ගැන ලොකු කතාබහක් ඇතිවුණා. ඒත් අන්තිමේ සන්ධානගත වුණේ පොහොට්ටුවෙන් කඩාගෙන ආපු කණ්ඩා‍යමක් එක්ක විතරයි. කෝ කිව්ව තරම් සද්දේ හැටියට වැඩ නෑනේ?

මෙහෙමයි. අපි මේ වෙද්දි මුස්ලිම් සහ දෙමළ පක්ෂ එක්ක සන්ධානගත වෙලා ඉවරයි. මැතිවරණය ළං වෙද්දි තව පක්ෂ ගණනාවක් එක්ක අපි සන්ධානගත වෙන්න නියමිතයි. එක පාර අපි ඔක්කොමලා එක්ක සන්ධානගත වෙන්නෙ නෑ. මැතිවරණය ළං වෙද්දි තව පක්ෂ 15ක් 20ක් එක්ක සන්ධානගත වීම සිද්ධ වෙයි.

Q ගෝඨාභය රාජපක්ෂ බලයට එද්දිත්, ඇවිල්ලා පාලනය අනාගද්දිත් දැඩිව විවේචන එල්ල කළේ වියත් මග සංවිධානයට. කෙසේ වෙතත් අද ඔබලගේ ඇතැම් උපදේශකයෝ වෙලා ඉන්නෙ වියත් මගේම අය. කෙළින්ම කිව්වොත් නාලක ගොඩහේවා වගේ අය. කොහොමද ඔබලට එකවරම ඔවුන්ව හොඳ වුණේ?

අපි ජයග්‍රහණය කරන්න නම් පොහොට්ටුවේ ඡන්ද පදනම විනාශ කරලා ඒ ඡන්ද ටික අපි ගන්න ඕනෑ. ඒ සඳහා තමයි නාලක ගොඩහේවා වගේ අය ගත්තෙ. පොහොට්ටුවේ හිටිය කෙනෙක්. වැඩි ඡන්ද ගත්ත කෙනෙක්. එහෙම කරලා තමයි අපිට දිනන්න පුළුවන් වෙන්නෙ.

Q ඒ කියන්නෙ ඕනෑම චෝදනාවක් තියෙන කෙනෙක් ගන්නවා බලය ගන්න වැඩේට?

චෝදනා තියෙන කට්ටිය එකතු කරගන්නෙ නෑ. චෝදනා විතරක් තියෙන අය ඉන්නවා. වැරදිකාරයෝ වෙච්ච අය ඉන්නවා.

Q ඔබලා දිගින් දිගටම කියනවා අයි.එම්.එෆ්. එකත් එක්ක ඔබලගේ ආණ්ඩුවේදි යම් යම් සංශෝධන කරනවා කියලා. එහෙම කරන්න පුළුවන්ද? ඔවුන් ණය දෙන්නෙ එකඟතාවලට අනුකූලව?

මෙහෙමයි. ජනතාවට අහිතකර යෝජනා තියෙනවා නම් අපි සංශෝධනය කරනවා. අපි පක්ෂයක් හැටියට අයි.එම්.එෆ්. එක කියන දේ පිළිගන්නවා. ඒත් ජනතාව මත බර දාලා බදු ගහලා ගෙනියන වැඩපිළිවෙළ ගැන හිතන්න වෙනවා. ඒවා ගැන සංශෝධන ගේන්න වෙනවා. මොකද ඇතැම් කාරණා අයි.එම්.එෆ්. කොන්දේසිත් නෙවෙයි.

Q එහෙම නම් ඔබලා බලයට ආපුවම ජනතාවට කෙටිකාලීන සහන දෙන්න හැකියාවක් තියෙනවද?

අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ බදු කපලා මෝඩ වැඩ කරන්නෙ නෑ. ජනතාවගේ මූලික අත්‍යවශ්‍ය දේවල් සඳහා සහන දෙන්න කටයුතු කරනවා.

I ගයාන් ගාල්ලගේ