2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

අපි නැත්නම් රටේ ආර්ථිකයක් නෑ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

සාගර කාරියවසම් - පාර්ලිමේන්තු මන්ත්‍රී මහලේකම් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  • පොහොට්ටුව වටේ එකතු වෙන්නේ රටට ආදරේ මිනිස්සු
  • පාර්ලිමේන්තු මැතිවරණයකින් සැබෑ ජනමතය පෙන්වන්න පුළුවන්
  • ජනපතිවරණයට දිනන අපේක්ෂකයා දාන්නේ පොහොට්ටුවයි

Q මේ වෙද්දි තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඉස්සෙල්ලා මහ මැතිවරණයද ජනාධිපතිවරණයද කියන එක. බැසිල් රාජපක්ෂ මහත්තයා නම් කියන්නෙ මහ මැතිවරණය කියලා. පොහොට්ටුවෙ සැබෑ මතය මොකක්ද?

ඇත්තටම රටේ නීතිය අනුව නම් ඉස්සෙල්ලම තියෙන්න ඕනෑ ජනාධිපතිවරණය. ඒත් පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන්න ඕනෑ 2025 අගෝස්තුවලින් පස්සෙ. කොහොම වුණත් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයට පුළුවන් මේ වෙද්දිත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. ඒත් අපි පක්ෂයක් හැටියට ඕනෑම මැතිවරණයකට සූදානම්. විශේෂයෙන් අතුරුදන් කරලා තියෙන පළාත් සභා මැතිවරණය හරි, පළාත් පාලන මැතිවරණය හරි තියෙනවා නම් අපි ඒත් කැමැතියි. අපි කියන්නෙ රටක ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මැතිවරණ ඕනෑමයි. අපි හැමදාම ඡන්ද තිබ්බා ඇරෙන්න කල් දැම්මෙ නෑ.

Q බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්නෙ වෙන අදහසකද?

නෑ. එතුමා කිව්වෙ මේ වෙලාවෙ රටක් හැටියට සුදුසු පාර්ලිමේන්තු මැතිවරණය කියලා.

Q ඒකට පක්ෂයක් හැටියට එකඟද?

ඒ කියන කාරණය ගැන බලපුවම අපිටත් හිතෙනවා ඒක සත්‍යයක් කියලා. මොකද මේ වෙලාවෙ සමාජයේ යම් යම් දුර්මත ටිකක් ප්‍රචාරය වෙනවා. ඒ නිසා සැබෑ ජන මතය පෙන්නන්න පුළුවන් මැතිවරණයක් එන එක හොඳයි. ඒක රටට සුවදායක වෙයි.

Q ජාතික ජන බලවේගය නම් කියන්නෙ ඔවුන් ඔබලට අභියෝගයක් නිසා ඡන්ද උප්පරවැට්ටියක් හරි දාලා ඔබලගේ තරම පරීක්ෂා කරන්න හදනවා කියලා?

ඇත්තටම අපිට ඔවුන් අභියෝගයක් නෙවෙයි. ඔබට මතක ඇති අපි 100% ක් දිනපු 2019 ජනාධිපතිවරණය වෙලාවෙත් ගොඩක් අය හිතුවා මාලිමාව දිනයි කියලා. දෙවැනි මනාපය ගණන් කරන තැනට යන්න වෙයි කියලා. අන්තිමේ ඡන්ද ගණන් කරද්දී 3% යි හිටියේ.

Q ඒ ගියවර වගේ නෙවෙයි මේ පාර. මාලිමාවට රුල්ලක් තියෙනවා?

මෙහෙමයි. ඒ අය මෙවර කරන බොරුව සහ වෛරය වැපිරීම නිසා උපරිම 3%, 5% දක්වා වැඩිකර ගන්න පුළුවන් වෙයි. ඊට වැඩියෙන් නම් අපි හිතන්නෙ නෑ. ඔය සංදර්ශන හැමදාම තියෙනවා. ඒත් බලය ගන්න බෑ. මොකද ජනතාව තමන්ගේ අනාගතය අවදානමට දාන එකක් නෑ.

Q ජනාධිපති අපේක්ෂකත්වය ගැන රනිල් - බැසිල් නිතර සාකච්ඡා තියෙනවා. එකඟතාවයක් නෑ. මොකක්ද කරන්නෙ. මොනවද කතා වෙන්නෙ?

ඔබ දකින විදිහ වැරදියි. මොකද ළඟදි ජනාධිපතිවරණයක් පැවැත්වෙන නිසා ඔබට එහෙම හිතෙනවා. එතුමව ජනාධිපති කළේ අපේ පක්ෂය. එතකොට එතුමගේ පාලනයට සහාය දෙන එක අපේ වගකීම. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නිතර සාකච්ඡා කරනවා. එදත් වුණා ඉස්සරහටත් වෙනවා. අපේක්ෂකත්වයක් අරමුණු කරගෙන කරන සාකච්ඡා නෙවෙයි. එතුමා ධුරය දරන තාක් කකුලෙන් අදින්නෙ නැතුව කටයුතු කරන්න සහාය දෙනවා කියලා තියෙනවා. එතැනින් එහා සාකච්ඡාවක් නෑ.

Q දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා ඇතුළු ඇතැම් අය කියනවා රට මේ තත්ත්වයට ගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයට ගෞරවය යන්න ඕනෑ කියලා. ඒ වගේම ප්‍රසන්න රණතුංග කියනවා තව ජන වරමක් රනිල් වික්‍රමසිංහ මහත්තයට දෙන්න ඕනෑ කියලා. ඒත් ඔබලා එවැනි අදහසක නැද්ද?

ඔබ ඒ අහන ප්‍රශ්නයම වැරදියි. ඔබ කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථිකය මෙතැනට ගෙනාවේ කියලා ඒක වැරදියි. වැටුණු ආර්ථිකය මෙතැනට ගෙනාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. එතුමා ජනාධිපති සිහිනයක හිටියට කවදාවත් ඒක ඒ පක්ෂයෙන් කරගන්න වුණේ නෑ. එතුමව ජනාධිපති කළේ අපි. ඊට අවශ්‍ය සහාය පාර්ලිමේන්තුවෙන් ලැබුණෙ. එතුමා නායකත්වය ගන්න ඇති. ඒත් මේ තැනට ආර්ථිකය ගෙනාවෙ අපි.

Q ඔබලා ගෙනාපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්ක ඒක කරන්න බැරි වුණේ ඇයි?

එතුමගේ පොතේ පැහැදිලිවම කියනවා ඒක කුමන්ත්‍රණයක් හරහා වුණේ කියලා. එතුමා විශ්වාස කරපු අයම එතුමව රැවැට්ටුවා කියන එක කියනවා. අපිත් විශ්වාස කරනවා එතුමගේ සහෝදරයන් විශ්වාස නොකර එතුමා විශ්වාස කරපු අය එතුමාව නොමග ඇරියා කියලා. දැන් එතුමා ඒක පිළිගන්නවා.

Q ප්‍රසන්න රණතුංග නම් කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයට අවස්ථාවක් දෙන්න ඕනෑ කියලා. මොකද පොහොට්ටුවට අපේක්ෂකයෙක් නැති නිසා. ඒ ගැන පොහොට්ටුවේ තීන්දුව මොකක්ද?

ඒක එතුමගේ පෞද්ගලික අදහස. අපි පක්ෂයක් හැටියට තීන්දු ගන්නෙ දේශපාලන මණ්ඩලයෙන් තීන්දු අරන් විධායක මණ්ඩලයෙන් අනුමත වුණාම. පොහොට්ටුව වටා එකතු වෙන්නෙ රටට ආදරේ මිනිස්සු. ඒ නිසා ඒ මිනිස්සුන්ගේ විශ්වාසයට වග කියන්න ඕනෑ. අන්න ඒ වගකීම ඉෂ්ඨ කරන්න යද්දි අපිට එක එක්කෙනාගේ පෞද්ගලික මතිමතාන්තර වැඩක් නෑ.

Q පොහොට්ටුවට අපේක්ෂකයෙක් නැද්ද?

පොහොට්ටුවේ ඉන්න අපේක්ෂකයන්ගේ ධනාත්මක සහ ඍණාත්මක කාරණා විශ්ලේෂණය කරල රටට සහ ජනතාවට අවශ්‍ය හොඳම කෙනා කවුද කියලා අපි රට වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඒ දිනන කෙනාමයි. අපි පක්ෂයට බලය දුන්න ජනතාව වෙනුවෙන් වග කියන්න ඕනෑ.

Q ඒ ලැයිස්තුවෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේක්ෂකයෙක් හැටියට ඉන්නවද?

මට එක දෙයක් කියන්න ඕනෑ. ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න එපා කියලා අපේ පක්ෂයේ නායකතුමා දැනුම් දීලා තියෙනවා. පක්ෂ ලේකම්වරයා හැටියට මම ඒ දේ හිස් මුදුනින් පිළිගන්නවා.

I ගයාන් ගාල්ලගේ

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00