2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

වැටත් නියරත් දෙකම කන සුරා බදු නිලධාරියෝ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

සුරා බදු කාර්යාලයට අයත් කැබ් රථයකින් සුරා බදු කාර්යාලයේ සේවය කරන කිහිප දෙනකු පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට කේරළ ගංජා තොගයක් විකිණූ සිද්ධියක් පසුගියදා වාර්තා විය. එසේ විකුණා ඇත්තේ සුරා බදු නිලධාරීන් විසින්ම පසුගියදා සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයකින් කොටසක් බවද සඳහන් වේ.

මෙය දකුණු ඉන්දියානු කසිකබල් චිත්‍රපටයක කතාවක් බඳුය. එහෙත් එවැනි චිත්‍රපටවලද ඇතැම් විට මීට වඩා හොඳ කතා වස්තු තිබේ. තමන් රාජකාරි කටයුතු කරන නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් සතු බලතල භාවිත කර ගංජා විකුණන තරම් පහත් මට්ටමකට ඇද වැටුණු මේ නිලධාරීන් සිදු කර ඇත්තේද එවැනි කසිකබල් ජරා චිත්‍රපටවල රස්තියාදුකාර නළුවන්ගේ චරිතවලට පණ පෙවීමය. වෙනසකට ඇත්තේ චිත්‍රපටවලදී නම් හිරේ යා යුත්තේ බොරුවටය. එනම් රඟපෑමක් සඳහා පමණි. ඒ වෙනුවට ගාස්තුවක්ද ගෙවනු ලැබේ. එහෙත් මේ සිද්ධියේදී හිරේ විලංගුවේ වැටෙන්නේ ඇත්තටමය. ඒ සඳහා ගෙවීමක් සිදු නොවේ. ඒ වෙනුවට තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන්ට විශාල ගාස්තුවක් තමන්ගේ අතින් ගෙවීමට මේ අවිනීත සුරා බදු නිලධාරීන්ට සිදුවනු ඇත.

කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට බලය ලත් ආයතනයක් වන සුරා බදු දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසක් මේ ආකාරයට තමන් විසින්ම අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයකින් කොටසක් විකුණා ගැනීමට කටයුතු කිරීම එම ආයතනයේ කීර්ති නාමයට සිදු කළ බරපතළ හානියකි. මෙවැනි ආකාරයේ නීති විරෝධී ක්‍රියා පමණක් නොව පගා ගැසීම් වැනි දූෂිත ක්‍රියාද රාජ්‍ය ආයතනවල සිදුවීම මහා අමුත්තක් නොවේ. එහෙත් තමන් අල්ලා ගත් ගංජා තොගයකින් කොටසක් අධිකරණයට ඉදිරිපත් නොකර හොරෙන් තබාගෙන සිට ඒවා අලෙවි කිරීම නිහීන ක්‍රියාවකි. මීට පෙර අවස්ථාවලදී පොලීසියේ ඉහළ නමක් තබාගෙන සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් තමන් අල්ලා ගන්නා මත්ද්‍රව්‍ය විශාල තොගයක් හොර රහසේ අලෙවි කර කෝටි ගණනින් මුදල් උපයාගත් සිද්ධියක්ද වාර්තා විය. එම සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන් වූ නිලධාරීන් පිරිසක් තවමත් සිරගතව සිටිති. නීතිය ක්‍රියාවේ යෙදවීමට සිටින නිලධාරීන්ම මේ ආකාරයට නීතිය කඩ කරමින් මුදල් උපයා ගැනීමට ක්‍රියා කිරීම වැටත් නියරත් ගොයම් කෑමට සමානය. එවැනි නිලධාරීන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ රජයේ ආයතනවල සෙසු දූෂිත නිලධාරීන්ටද දැනෙන පාඩමක් හැටියට බව අපි සිතමු. ඒ හරහා හෝ මෙවැනි අපරාධ සිදු කිරීම අධෛර්යවත් කිරීම අවශ්‍යය.

මේ නීති විරෝධී ක්‍රියාව සිදු කළ සුරා බදු නිලධාරීන් කොතරම් හදිසියේ මේ වැඩේට බැස සිටියාදැයි කිවහොත් තමන් මේ ගංජා විකුණන්නේ සිවිල් ඇඳුමින් සැරසුණු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට බව හඳුනා ගැනීමට හෝ ඒ පිළිබඳ කිසිදු තොරතුරක් දැන ගැනීමට හෝ ඔවුන්ට හැකියාවක් ලැබී නැත. මොන උප්පරවැට්ටියක් දමා හෝ අයථා අන්දමින් මුදල් උපයා ගැනීමට වෙර දරණ පිරිස් අන්තිමට නවතින්නේ සිර ගෙදරින් බව ඔවුන්ට නොදැනීම ලොකුම ඛේදවාචකයයි.

සුරා බදු දෙපාර්තමේන්තුව රජයට විශාලම බදු මුදලක් රුස්කර දෙන රටේ ආර්ථිකයේ වටිනා සම්පත් දායකයෙකි. එවැනි ආයතනයක රාජකාරි බාරගන්නා නිලධාරීන්ට තමන් සිදු කරන රාජකාරියේ අභිමානය පිළිබඳ කිසියම් හෝ හැඟීමක් තිබේ නම් මෙවැනි මගඩි වැඩට ඔවුන් පෙළඹෙන්නේ නැත. තමන්ගේත් ආයතනයේත් ගෞරවයට වඩා හොර හිත ප්‍රබල වන්නේ ඒ හේතුවෙනි. ඒ වගේම මෙවැනි වංචනික ක්‍රියාවලට පෙළඹෙන පුද්ගලයන් බොහෝ විට එසේ කරන්නේ ඔවුන් වෙනත් අයථා ක්‍රියාවලටද සම්බන්ධ බැවිනි. රේස් දැමීම, කැසිනෝ යාම පමණක් නොව කාන්තා ඇසුරට ලොල් වීමද අසීමිත මුදලක් උපයා ගැනීමට වන අවශ්‍යතා අතුරින් කිහිපයකි. එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ ක්‍රමවේදයක් සුරා බදු වැනි රජයේ කැපී පෙනෙන ආයතනවල ක්‍රියාත්මක කිරීම තුළින් ඒ වැරදි තරමක් දුරකට හෝ වළක්වා ගත හැකිවනු ඇත.

එසේම සඳහන් කළ යුත්තේ මෙය මේ වර්ගයේ පළමු ක්‍රියාව නොවන්නා සේම අවසාන ක්‍රියාවද නොවන බවයි. මීට පෙරද හොර රහසේ මෙවැනි වංචනික ක්‍රියා සිදුවන්නට ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුවේම කැබ් රථයක් යොදා ගැනීමෙන් පැහැදිලි වෙයි. එසේම මෙය සංවිධානාත්මක ලෙස සිදුකෙරෙන ක්‍රියාදාමයක කොටසක්ද යන්නත් වහාම විමර්ශනය කර සොයා බැලිය යුතුය. එය එසේ නම් මේ සංවිධානාත්මක ජාලයේ තව තෝරු මෝරුන් ඇතුළේ සිටිනවා වෙන්නත් පුළුවන.