2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

මොකද්ද මේ මනෝකාය?

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1699

මනස කියන්නේ අතිශයින්ම සංකීර්ණ සිතුවිලි මධ්‍යස්ථානයක්. මනස සහ කය මේ දෙක එකිනෙකට බැඳුණු වෙන් කළ නොහැකි සංකීර්ණ ක්‍රියාවලියක් කීවොත් නිවැරදියි. කය නැතිව මනසවත් පවතින්න බැහැ. ඒත් සමහර අය විශ්වාස කරනවා කය නැතිව මනසේ ක්‍රියාකාරීත්වය පවතින්න පුළුවන් බව. සමහර විට මනෝකාය කියන්නේ මේ දෙය වෙන්න පුළුවන්. අපි මෙය පුංචි කතාවක් ඇසුරෙන් සොයා බලමු.

ඇගේ නම නයෝමි. වයස අවු. 23යි. නයෝමි විවාහ වෙලා අවු. 2යි. මාස 6ක පුංචි දරුවකුත් සිටිනවා. නයෝමිගේ සැමියා ආයතනයක කළමනාකාරවරයකු ලෙස සේවය කරනවා. තව මාස දෙකකින් තම සැමියාට ශිෂ්‍යත්වයක් ලැබී අවු. 2කට තමා හැර දමා වෙන රටකට යාමට සූදානම් බව දැනගත් නයෝමි දැඩි කම්පනයකට පත්වී සිටියා. මේ ළඟකදී සිට ඇයට දැනුන අපූරු අත්දැකීමක් පිළිබඳ නයෝමි මෙසේ විස්තර කළා. 

&එදා රෑ 7ට විතර ඇති. මගේ මහත්තයා වැඩට ගිහින් ගෙදර ඇවිත් හිටියේ නැහැ. මමයි බබයි දෙන්නා විතරයි ගෙදර හිටියේ. බබාට කිරි දීලා ඉවර වෙලා මම කාමරෙන් එළියට ආවා. ගෙදර සාලෙ ලයිට් එකත් දාලයි තිබුණේ. එදා මම දැකපු සිද්ධිය මට හිතාගන්නවත් බැහැ. මම වගේම තව කෙනෙක් සෙටියේ වාඩි වෙලා ඉන්නවා. මම දෙතුන්සැරයක්ම හොඳට බැලුවා. මොකද මට හරියටම දැනගන්න ඕන වුණා ඒ ඉන්නේ මමද කියලා. ඇත්තටම ඒ හිටියේ මම. නමුත් පුදුමය වුණේ ඇයට තිබුණේ මගේ සිතුවිලි නම් නෙවෙයි. මට දැනුණේ මගේ කය සමඟ වෙනත් සිතුවිලි තියෙන ගැහැනියක්. දවස් දෙක තුනක්ම මම මේ විදිහට මේ දේ දැක්කා. මගේ මහත්තයාට මේක කීවම ඔහු විශ්වාස කළේ නෑ. අපි දෙන්නම එකතු වෙලා පේන කියන තැනකට ශාස්ත්‍ර අහන්න ගියා. ඒ ශාස්තරකරැ කීවේ අපි ජීවත් වන ඉඩමේ භූමි දෝෂයක් තියෙනවා කියලා. ඒ භූමියට අරක්ගත් භූතයෙක් සිටින බවත්, එම භූතයා ඉන් ඉවත් කිරීමට ලොකු යාගයක් කළ යුතු බවත් ඔහු පැවසුවා. අපි ඉතින් යාගයකුත් කළා. මේ යාගයට රුපියල් 50,000ක් පමණ වියදම් වුණා. ඊට පසු මාස දෙකක් පමණ මේ සිද්ධිය මම දැක්කෙ නෑ. ඒත් දැන් ආයෙමත් ඒක පේන්න පටන් ගත්තා.

නයෝමි දුටු මේ මනෝකාය කුමක්ද? 

අපි තවත් මෙවැනිම කතාවක් පිළිබඳ සොයා බලමු. ඇගේ නම සුජීවා. වයස අවු. 25යි. විවාහ වී අවු. 5ක් වන සුජීවාට අවු. 2ක දරැවෙක් ද සිටී. ඇගේ ස්වාමියා බැංකු නිලධාරියෙක්. ඔහුගේ නම රංග. සුජීවා සහ රංග විවාහ වුණේ අවු. 5ක ආදර සම්බන්ධතාවයකින් පසුවයි. නමුත් දැන් මාස 6ක පමණ කාලයක සිට දෙදෙනා අතර නිතරම රණ්ඩු දබර. මීට හේතුව මාස කීපයකට පමණ පෙර රංගගේ දුරකතනයේ තිබූ SMS පණිවිඩයයි. මෙම දුටු සුජීවා රංග පිළිබඳ දැඩි සැකයක් උපදවා ගත්තා. එදා සිට දිනපතාම දෙදෙනා අතර වාද විවාද, රණ්ඩු දබර කිසිම අඩුවක් වුණේ නැහැ. මේ සැකය සමඟ සුජීවා දැඩි අසරණභාවයකට ද පත් වුණා. ඇති වූ මේ කම්පනය කියන්න ඇයට හොඳ යාළුවෙක් ද සිටියේ නැහැ. මෙහෙම ඉන්න විට දවසක් සුජීවා අපූරැ අත්දැකීමකට මුහුණ දුන්නා. ඇගේ අත්දැකීම ඇය මෙසේ විස්තර කළා.

ඒක හීනයක් නම් නෙවෙයි. හැබැයි දවල් හීනයක් කියලා කීවොත් නම් වැරදි නෑ. මට හිටිහැටියේම දැනෙනවා මගේ වටපිටාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මේ ළගදි දවසක් මට දැනුණෙ මගේ වටේට ලස්සන මල් වත්තක්. ලස්සනට මල් පිපිලා මල්වල සුවඳ මට හිතාගන්න බෑ. මේ මල් වත්තේ මගේ ශරීරය පාවෙලා යනවා මට දැනුණා. එහෙම යනකොට මට අලුත් පෙම්වතෙක් හමුවුණා. ඔහු මගේ අත අල්ලගෙන ආදර බස් තෙපලමින් ඒ මල් වත්තේ අපි ඇවිදගෙන යනවා. මට හිතාගන්න බෑ. මම වගේම තව කෙනෙක් අලුත් පරිසරයක්, අලුත් පෙම්වතෙක්. කොහොමද එහෙම වෙන්නේ. දැන් සති ගාණක් තිස්සේ මම මෙවැනි දේවල් දකිනවා. මට වෙලාවකට හිතෙනවා වෙන ආත්මයක් මගේ ශරීරයට ඇතුළු වෙලාද කියලා. මේ ගැන රංගට කීවම රංග හයියෙන් හිනාවෙනවා. ඔහු කියනවා මට පිස්සු කියලා.

සුජීවා දකින මේ දවල් හීනය කුමක්ද?

නයෝමි සහ සුජීවා මුහුණ දෙන මෙම අවස්ථා දෙක අධ්‍යයනය කිරීමේදී මේ දෙදෙනාගේම මනස සහ කය තාවකාලිකව ඔවුන්ගෙන් වෙන් වී වෙනත් ස්ථානයකට ගොස් තිබෙන බව පැහැදිලි වේ. මෙය ඔවුන්ගේ මනෝකාය තාවකාලිකව වෙන්වීමක් ලෙස දැකිය හැක. මීට අමතරව සුජීවා අපූරු අත්දැකීමකට ද මුහුණ දේ. එනම් සම්පූර්ණ වෙනස් පරිසරයක තමාගේ මනස සහ කය ජීවත් වන ලෙස දැකීමයි. එය සැබැවින්ම චිත්‍රපටයක රෑප රාමුවක් ඇතුළේ තමා රඟපාන අයුරු තමන් නරඹනවා වැනිය.
අපි ඕනෑම කෙනකු දැඩි මානසික කම්පනයකට ගොදුරැ වූ විට, ඉන් ගැලවීමට නොහැකි සේ අතරමං වූ විට අපගේ මනස ආරක්ෂා කිරීමට ආරක්ෂණ උපක්‍රමයක් ලෙස මනස සහ කය තාවකාලිකව අපගෙන් වෙන් වේ. මනසේ සිදුවන මෙම ප්‍රතික්‍රියාවට විඝටනය (Dissociation) කියලා කියනවා. නයෝමි සහ සුජීවා යන දෙදෙනාම අත්විඳිනුයේ විඝටනය (Dissociation) නම් වූ මේ මානසික ප්‍රතික්‍රියාවේ විශේෂ අවස්ථා දෙකකටය. ඒවා නම්,

1. ඒක පුද්ගල ව්‍යුක්තිය (Depersonalization)

පුද්ගල ව්‍යුක්තිය යනු මනස සහ කය තමාගෙන් වෙන් වී වෙනත් ස්ථානයක තිබෙන සේ දැනීම හෝ දැකීමයි. නයෝමි අත්විඳිනුයේ මෙයයි.

2. තම වටපිටාව හාත්පසින්ම වෙනස් ලෙස දැකීම (Dereatization)

මෙහිදී තම වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී වෙනස් පරිසරයක අපූරු අත්දැකීමක් ලෙස දැනීමයි. සුජීවා අත්විඳිනුයේ මෙයයි.

ඕනෑම නිරෝගී කෙනකු එනම් ප්‍රජාව තුළ 70%ක් පමණ මෙවැනි තත්ත්වයන් අත්විඳින බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත. නමුත් මෙය මානසික රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගනු ලබන්නේ මෙවැනි සිදුවීම් තමාගේ එදිනෙදා ජීවිතයට දැඩි බලපෑමක් ලෙස දැනේනම් පමණි.

නෙත් මානසික සහ කායික රෝගී තත්ත්වයන් සමඟ ද ඉහත ආකාරයට මනස විගමනය විය හැකිය. එම රෝගී තත්ත්වයන් නම් භින්නෝන්මාදය, දැඩි මානසික අවපීඩනය, ග්‍රස්ටිය (OCD), දිවිද්‍රැව රෝගය, බෝඩලයින් පෞරැෂ භින්නතාවය, අපස්මාරය, රුධිරයේ සීනි අඩුවීම, තෛයිරොක්සීන් ඌනතාවය යනාදියයි.

මෙවැනි තත්ත්වයකට ගොදුරැ වූ ඔබ මිත්‍යා විශ්වාසවලින් බැහැර වී මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශනයට යොමු විය යුතුය. මෙය භූත බලපෑමකින් හෝ වෙනත් අත්භූත බලපෑමකින් සිදු නොවන මානසික තත්ත්වයක් බව දැන් ඔබට වැටහෙනවා ඇත. සුජීවා සහ නයෝමි පහත සඳහන් ලෙස මනෝ විද්‍යාත්මක උපදේශනයට යොමු කිරීමෙන් දෙදෙනාම ගොදුරැ වී සිටි දැඩි ආතතිය අවම වී යථා තත්ත්තවයට පත් වූහ. ඔවුන්ට ලබා දුන් උපදේශනයේ අවස්ථා මෙසේ විය.

හැඟීම් බෙදා ගැනීම
(Emotional Ventilation)

අනාගතයට ඇති බිය අවම කිරීම
(Reduced fear response)

රෝගය පිළිබඳ වැරදි විශ්වාස
(Reduced mistaken view)

අනාගත අරමුණු පැහැදිලි කර දීම
(Goal Setting)

ස්වාමියා සමඟ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම
(Improve Relationship)

ශරීරය සැහැල්ලු කිරීමේ ව්‍යායාම
(Relaxation Exercise)

අවිද්‍යාව බැහැර කර ජීවිතයට මනෝ විද්‍යාව යොදාගත හැකි ආකාරය මේ සත්‍ය කතා දෙකෙන් ඔබට මනාවට පැහැදිලි වේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00