2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ශ්‍රීලනිපයේ බලය මහින්ද අමරවීර කණ්ඩායමට?

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 581

කොයි මණ්ඩලයේත් කචල් නැතුවා නොවේ. එහෙත් එය අඤ්ඤ බජල් වී යන්නේ මණ්ඩලයේ කචල් බව රට්ටු දැනගත් විටදීය. ඉකුත් සතියේ මණ්ඩල කිහිපයකම කචල් පිළිබඳ තොරතුරු ජනගත වී තිබුණි. එම නිසාම සතියේ දේශපාලනය තරමක උණුසුම් මුහුණුවරක් ගත්තේය. රණ්ඩු සරුවල් නඩුහබ සේම රහස් හමුවීම්ද දේශපාලන කරළියේ පුවත් රුසක් මවා තිබුණි. 

ආණ්ඩුව සමඟ පවතින ආරෝවන් තරමක් පසෙක තබා සිටින සමගි ජන බලවේගය මේ දිනවල ජාතික ජන බලවේගයට නිරන්තර අභියෝග කරන බව පෙනී යයි. ඒ අනුව සමගි ජන බලවේගය අවස්ථා කිහිපයකදීම තමන් සමඟ විවාදයට පැමිණෙන ලෙස ජාතික ජන බලවේගයට අභියෝග කරනු දැකගත හැකි විය.

මෙම අභියෝග සමයේ ආරම්භකයා වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරයි.

“සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයත් අතර විවාදයකට අපි අභියෝග කරනවා."

නලින් බණ්ඩාර මහතා අවස්ථා කිහිපයකදීම මෙම අභියෝගය ජාතික ජන බලවේගය වෙත ඉදිරිපත් කරන්නට විය. 

මේ සම්බන්ධව යම් කතාබහක් ඇතිවීමත් සමඟම ජාතික ජන බලවේගය පාර්ශ්වයද සිය අදහස ඉදිරිපත් කළේය.

“අපි ඉතාම සන්තෝසයි.. අපි ඒ අභියෝගය බාරගන්නවා. රටේ දේශපාලන ගුණාත්මකභාවය රැකෙන්න නම් පක්ෂ අතර ප්‍රතිපත්තිමය විවාදයක් සංවාදයක් තියෙන්න ඕනෑ. හැබැයි අපිට දැන් පෙළගැහිලා තියෙන්නෙ ජනාධිපතිවරණයක්. තැන් තැන්වල මාධ්‍යවල කියවන්නෙ නැතුව ඒ විවාදය සම්බන්ධ අභියෝගය ලිඛිතවම අපිට එවන්න, අපි කැමැතියි ඔබේ නායකයා සජිත් ප්‍රේමදාසත් එක්කම ඒ විවාදය කරන්න. අපේ නායකයා ඒකට සූදානම්."

මෙවර ආර්ථික කමිටු අතර විවාදය නායකයන් දෙදෙනා අතර විවාදයක් බවට පරිවර්තනය කිරීම සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් විය. ඒ සම්බන්ධව සමගි ජන බලවේගය දෙසින් පළවූයේ මෙවන් ප්‍රතිචාරයකි.

“ආර්ථික කමිටුවත් එක්ක තමයි අපි මේ චැලේන්ජ් එක කළේ. මේගොල්ලෝ දැන් අපිට පුළුවන් මේ චැලේන්ජ් එක බාරගන්න කියලා, ‘නමුත්’ කියලා වෙන කතාවක් කියනවා. එන්නේ ජනාධිපතිවරණයක් කියලා ඒගොල්ලෝ අනුර කුමාර දිසානායකයි සජිත් ප්‍රේමදාසයි විවාදයකට අභියෝග කරනවා."

සජිත් ප්‍රේමදාස මහතා මෙම අභියෝගයටද සූදානම් බව සඳහන් කරන්න යැයි කී බවක් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේය. කෙසේ වෙතත් පළමුව අභියෝගය ඉදිරිපත් වූයේ තම පාර්ශ්වයෙන් බැවින් පළමු විවාදය ආර්ථික කමිටුව අතර සිදුවිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය‍.

මෙම විවාදය පිළිබඳ කතාවට තවත් බොහෝ පාර්ශ්ව මැදිහත් විය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද තමා අභියෝගය බාරගැනීමට සූදානම් බව ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේය. විවාදයට පෙරාතුවම දෙපාර්ශ්වය එකිනෙකාට චෝදනා කර ගැනීම අරඹා තිබුණි. කෙසේ වෙතත් මෙම විවාදය කවදා කොතැනක කෙසේ පැවැත්වේදැයි කිසිවකු තුළ පැහැදිලි චිත්‍රයක් නොවීය.

මේ අතර පසුගිය සතියේ තවත් උණුසුම් සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් පෙළයි. සති අන්තයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු හිතවාදීන් සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. 

මේ සමඟම ඉවත් කළ පිරිස හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙවන් කතාවකි.

"අපි මේ ඉවත් කිරීමට එරෙහිව නීතිය හමුවට යනවා. මේ ඉවත් කිරීම නීති විරෝධීයි."

ඒ අනුව මෙම පිරිස අධිකරණය හමුවට ගියෝය. දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ඒ අනුවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංදර්ශනය මෙයින්ද නිමාවට පත් නොවුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 04 වැනිදා වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබීය.

මෙම වාරණ නියෝගයට හේතු වූයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකි. 

ඇය කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා වගකීම් විරහිතව කටයුතු කරමින් පක්ෂයට අවමානයක් සිදුකර ඇති බවකි. වාරණ නියෝගය අප්‍රේල් 18 වැනිදා දක්වා බලපැවැත්වෙන බව නියෝගයේ සඳහන් විය.

බ්‍රහස්පතින්දා මෙම නියෝගය නිකුත් වීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කර සිටි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ඩාලි පාරේ පක්ෂ මූලස්ථානය වෙත පැමිණියහ.

මෙම පිරිස පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට කටයුතු කළහ.

“අපිට කාගෙන්වත් පලිගන්න උවමනාවක් නැහැ. අපි මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හමුවුණා. අපි ඒ අයට කිව්වෙ පක්ෂය වෙනුවෙන් වැඩ කරන්න. පක්ෂයේ වෘත්තීය සමිතිවලට සම්බන්ධ වෙච්ච පිරිසටත් අපි කිව්වේ වැඩ කටයුතු කරගෙන යන්න. අපි සහයෝගය ලබා දෙනවා කියලා. ඉස්සරහට මේ සියලු පාර්ශ්ව සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා."

මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම අත්පත් කරගත් බවක් හැඟවෙන සිදුවීමක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරයේ කටයුතු තහනම් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණයෙන් පැනවූ වාරණයත් සමඟ එම පක්‍ෂය නව ගමනක් ආරම්භ කරන බවත් පක්‍ෂය හැර ගිය සියලුම දෙනාට එම ගමන සඳහා ආරාධනා කරන බවත් මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන තමන්, ජාතික සංවිධායක සහ භාණ්ඩාගාරිකවරයා ව්‍යවස්ථා විරෝධීව තනතුරුවලින් ඉවත් කිරීමට ඔහු කටයුතු කළ බවත් ඒ හේතුවෙන් පක්‍ෂයේ විනාශය වැළැක්වීමට පක්‍ෂයේ අනුශාසකවරියක වන චන්ද්‍රිකා මැතිනිය අධිකරණයේ පිහිට පැතූ බවත් අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවුල එන්න එන්නම තීව්‍ර වෙමින් පවතින බව පසුගිය සතියේ දී පෙනී ගියේය. 

“මෙතැන එක එක මන්ත්‍රිලා ඇමැතිලා එක එක කතා කියන්න පටන් අරගෙන. මේකට මොකක් හරි පියවරක් ගන්න ඕනෑ."

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම පසුගිය සතියේදී පක්ෂ නායකත්වය වෙත අවධාරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අනුව පොහොට්ටුවේ ඉහළ නායකත්වය සහ පක්ෂ කළමනාකරණය සම්බන්ධ කටයුතු කරන කිහිප දෙනකු මේ පිළිබඳ සාකච්ඡා කර ඇතැයි කියැවේ.

“ප්‍රසන්න රණතුංග වගේ අය තමා මේ වගේ කතා කියන්නෙ. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ පක්ෂය තුළින් ඉරක් ඇඳලා කොටස් දෙකක් නිර්මාණය කරන්න. ඒගොල්ලන්ට ඕනෑ වෙනම කණ්ඩායමක් විදිහට ගොඩනැගෙන්න."
“තව මාස තුන හතරයි ඔය හැමෝටම තනතුරු තියෙන්නේ. එහෙම වුණාම ඔය හැමෝටම යන එන මං නැති වෙනවා."

පක්ෂයේ මතයට විරුද්ධව ක්‍රියා කරන පිරිස් වෙත නාමයෝජනා ලබා නොදීමට තීරණයක් ගත යුතු බවටද එහිදී ඇතැමකුගෙන් බරපතළ ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි කියැවේ.

මේ අතර පොහොට්ටුවෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුයි යන මතය තවදුරටත් තහවුරු කරන්නට පොහොට්ටුවේම කණ්ඩායමක් බරපතළ ලෙස උත්සාහ දරමින් සිටියහ.

“නාමල් පිපෙන අනාගතයක් එනවා"

සංජීව එදිරිමාන්න වැනි චරිත ප්‍රසිද්ධ වේදිකාවේම පැවසීය.

“මේ කැම්පේන් එක යන විදිහට නාමල් තමයි ඉදිරිපත් වෙන්නේ"

හම්බන්තොට පොහොට්ටුවේ රුස්වීමෙන් පසු බහුතරයක් මතුකොට තිබුණේ එවන් අදහසකි. 

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂගෙන්ම මේ පිළිබඳ විමසා තිබුණි.

“ඔය එක එක්කෙනා කියන කතා. මට එහෙම අපේක්ෂාවක් නැහැ. ඒත් පැහැදිලිවම අපි ජනාධිපතිවරණයට ශක්තිමත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා."

ඒ අනුව නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට පැමිණියද නොපැමිණියද පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා නොව, වෙනත් අයකු බව හැඟවෙන අදහසක් නාමල් ඇතුළු පාර්ශ්වය විසින් ඉස්මතු කරන බව අප දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

පොහොට්ටුවේ අපේක්ෂකත්වය පිළිබඳ තමන්ගේ කැමැත්ත මේ වන විටත් පළ කර ඇති ධම්මික පෙරේරා පිළිබඳව වැඩි අවධානයක් යොමුවූයේ මේ සමඟයි. ඔහු මේ වන විටත් විවිධ ව්‍යාපෘති සිදුකරමින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුස්සා බව ඔප්පු කිරීමට උත්සාහ දරමින් සිටී. මේ වන විට පොහොට්ටුවේ ඇතැමුන් අනියමින් ප්‍රකාශ කරන ආකාරයට ඇතැම්විට අපේක්ෂකයා ඔහුම විය හැකිය.

පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂය නිමල් ලන්සා ප්‍රමුඛ නව සන්ධානය සමඟ  සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි.

“අලියා අයින් කරලා අලුත් පක්ෂයක් හදන්න යනවා. ලන්සගේ පැත්තෙ ඉන්න ඔක්කොමයි ප්‍රසන්නයි ඉතුරු කට්ටියයි මේ පක්ෂයට එකතු වෙන්න යනවලු."

එක්තරා දේශපාලන ආරංචියකට අනුව ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා, ටිරාන් අලස් ඇතුළු පිරිසකගේ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක සහ අකිල විරාජ් කාරියවසම් මූලික වී නව පක්ෂයකට පණ දීමේ සැලසුම් සකස් කරමින් සිටින බව ඒ අනුව වාර්තා විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා කාර්යාල පිහිටුවීමද ඉකුත් සතියේ ආරම්භ කර තිබුණි.

“රොස්මිඩ් ප්ලේස්වල සාගල රත්නායක කාර්යාලයක් විවෘත කරනවා. වජිර අබේවර්ධන ෆ්ලවර් රෝඩ් එකේ කාර්යාලයක් විවෘත කරනවා. මේ කාර්යාල හරහා තමයි එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන්නේ."
මෙම කාර්යාල පිහිටුවීම පිළිබඳ කතාව සෙසු පක්ෂවල අවධානය දිනාගත් සිදුවීමක් විය. 

සමගි ජන බලවේගය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවීමේ පළමු අදියරද පසුගිය සිකුරාදා ක්‍රියාවට නැංවුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් ඇතුළු කණ්ඩායම මෙහිදී සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීම සිදුවිය. 

මේ අතර සමගි ජල බලවේගය සම්බන්ධව තවත් සුවිශේෂී පුවතක් කරළියට ආවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය සමාජ මාධ්‍ය සංවාදයකදී කී කතාවක් ඇසුරිණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ මේ වන විට කලකිරීමකට පත්ව සිටින බවට මෙම සංවාදය උපුටා දක්වමින් දේශපාලන කරළියේ කතා පැතිර යන්නට විය. 

රත්නපුර දිස්ත්‍රික්කයේ මෙන්ම බොහෝ දිස්ත්‍රික්කවලට අදාළව සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් සභාපතිවරුන් මෙතෙක් පත් කර නැති බවත්, පක්ෂය ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයට සාකච්ඡා සිදු නොවන බවත් මෙහිදී අනාවරණය විය.

මේ අතර දේශ දේශාන්තරවල චාරිකාව නිමා කළ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරයකට එක්විය. උතුරේත් දකුණේත් නැගෙනහිරත් සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු යැයි ඔහු උතුරේ ජනතාව වෙත යෝජනා කළේය.

“අපි ඔබව හමුවෙන්න ආවේ, ඔබලට 13 ප්ලස් දෙන්නම්, ෆෙඩරල් දෙන්නම්, ඔබ අපට ඡන්දෙ දෙන්න කියා ඉල්ලන්න නොවෙයි. අපි ඔබ හමුවෙන්න ආවේ මේ රට කඩා වැටී තිබෙන විපත්තියෙන් ගොඩගන්නේ කොහොමද කියා කතා කරන්න. දීර්ඝ කාලයක් අපේ නායකයන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට අපේ රට ගොඩගන්න පුළුවන්ද කියා කතා කරන්න. අපි හැමදෙනාටම කියන්නේ අපේ රටට අලුත් පාරක් ඕනෑ කියලා. ඒ නිසා අපි ආවේ අලුත් පාරක් සොයා බැලීම ගැන කතා කරන්න. අපේ රට වෙනස් කරන්න නම්, මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ."

යාපනයේ වලම්බුරි සංගිලියන් ශාලාවේදී පැවති ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුවට සහභාගිවීමේ අරමුණින් අනුර කුමාර දිසානායක මහතා මෙලෙස උතුරේ සංචාරයට එක් විය.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00