2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මහ මැතිවරණයක් එන්නද හදන්නේ? මැති ඇමැති කසුකුසුවක්

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 773

ඌරන් කැකුණ තලන්නට පෙරම හබං කුකුළන් කනින් කොණින් හොට ඇන බලන්නට පටන්ගෙන තිබේ. ජනාධිපතිවරණයට පූර්වයේ ජාත්‍යන්තරයද ශ්‍රී ලංකාව දෙස උකුසු ඇස යොමා ඇත. ජනාධිපතිවරණය නම් මුහුදට ගව් බලා අමුඩේ ගැසිය යුතු කාලය නිර්ණය කිරීමටද ඇතැම්හු උත්සුක වෙමින් සිටිති. 

ගෙවී ගිය සතියේ දේශපාලන කරළියේ ඉහළ අවධානයක් යොමුව තිබුණේ තෙවැනි වතාවටත් සිදුවූ රනිල් - බැසිල් හමුව පිළිබඳවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මීට පෙර අවස්ථා දෙකකදීම හමුවී දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ඉදිරි මැතිවරණය පිළිබඳව සාකච්ඡා කොට තිබුණි. එහෙත් ආරංචි මාර්ග තහවුරු කර තිබුණේ පෙර සාකච්ඡාවලදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ පිළිගත හැකි එකඟතාවක් පොහොට්ටුව සහ ජනාධිපතිවරයා අතර ගොඩ නොනැගුණු බවකි.

එවන් වටපිටාවක් තුළ ඉකුත් සතියේ පැවති සාකච්ඡාව ඉතා තීරණාත්මක එකක් විය. මෙම සාකච්ඡාව පිළිබඳ විවිධ දේශපාලන ආරංචි අප වෙතද ලැබුණි. ඒ අනුව සමස්ත කතාව පෙළගැසී ඇත්තේ මෙලෙසය. සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ අනුව පසුගිය අඟහරුවාදා සවස හතරට පමණ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ පැජට් පාරේ නිවෙස බලා ගොස් තිබුණි. 

“මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා" 

යනුවෙන් මේ දිනවල ජනාධිපතිවරයා හිතවතුන් හමුවේ පවසන කතාව බැසිල් රාජපක්ෂ වෙතද මෙහිදී කී බවක් ආරංචි මාර්ග සඳහන් කරයි.

“එහෙනම් ඔබතුමා ඒක ප්‍රකාශයට පත් කරන්න"

ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිවරයා වෙත සහයෝගය ලබාදීමේ හැකියාව පිළිබඳව පක්ෂය සමඟ සාකච්ඡා කොට තීරණය කළ යුතු බව රාජපක්ෂ මෙහිදී අවධාරණය කර ඇතැයි කියැවෙයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් ලද ආරංචි මාර්ගද තහවුරු කළේ මෙම ද්විත්ව සාකච්ඡාවේද එකඟතාවක් නොවූ බවකි.

පැයකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාව අවසන් වන විට තවත් පිරිසක් ජනාධිපතිවරයා හමුවීමට පැමිණ සිටියහ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු, කාංචන විජේසේකර, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා වැනි ජනාධිපතිවරයාට හිතෛෂී චරිත ඒ අතර වූහ.

“ආ අපිටත් ඔබතුමත් එක්ක කතා කරන්න ඕනෑ"

සාකච්ඡාව නිමවූ බැසිල් රාජපක්ෂ සමඟ ජනාධිපතිවරයාද කැටුව නැවත සාකච්ඡාවක් ඇරඹීමට මෙම පිරිස එලෙස කටයුතු කර ඇතැයි කියැවේ. මෙය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ සාකච්ඡාවක් විය.

සංවාදය ආරම්භ කර තිබුණේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාය.

“සර්, ජනාධිපතිවරණයට අපි ඉක්මනින්ම කැම්පේන් එකක් පටන් ගන්න ඕනෑ. එහෙම නොවුණොත් සර්ගේ ඉදිරිපත් වීම අපිට ජනතාවට තහවුරු කරන්න බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනට කැම්පේන් එකක් පටන් ගන්න ඕනෑ." 

මෙම කතාවට ඌණ පූර්ණය කිරීමට සෙසු මැති ඇමැතිවරුන් අතරින් කිහිප දෙනෙක්ද එක් වූහ. මේ අනුව විවිධ කරුණු කාරණා දිගින් දිගටම සාකච්ඡා විය.

මෙම සාකච්ඡාවේදී වැඩිපුර කතාබහ කිරීමට නොගිය බැසිල් රාජපක්ෂ, පිරිසගේ කතාවලට ඇහුම්කන් දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දුන්නේය. එහෙත් කැම්පේන් කතාව පිළිබඳ යමක් බැසිල් රාජපක්ෂ සඳහන් කළේය.

“අපිට නම් මාස තුනකට වඩා කැම්පේන් එකක් අදින්න බැහැ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට කැම්පේන් පටන් ගන්නේ මාස දෙක තුනකට කලින්. ඔහොම කරලා තේරුමක් නෑ."

මෙවන් කතාබහ අතර ජනාධිපතිවරයාද සිය අදහස් ඉදිරිපත් කළේය.

“කලබල කරන්න එපා. මැයි මාසෙදි ඒක ස්ථිරව ප්‍රකාශ කරන්න බෑ. ජූනි අන්තිම වෙනකොට තමා මම ඒක ප්‍රකාශ කරන්නෙ."

එය තරමක් පැටලිලි සහගත කතාවක් වූයෙන් පිරිස තරමක් වික්ෂිප්ත වූ බව කියැවෙයි.

“ජනාධිපතිතුමා මේ මොනවද කරන්න යන්නෙ, මහ මැතිවරණයක්වත් තියන්න යනවද?"

පසුව මන්ත්‍රී කසුකුසුවටද හේතු වූයේ මෙම ප්‍රකාශයයි.

“ඉදිරියේදී ජනාධිපතිතුමා ලබා දෙන්න ඉන්න සහන, ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ලබා දෙනවා කියලා කියැවෙන්න පුළුවන් නිසා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියන ප්‍රකාශය ප්‍රමාද කරන්නෙ."

තවත් පිරිසක් කී ආකාරයට ජනාධිපතිවරයා මෙය උපක්‍රමිකව ගනු ලැබූ තීන්දුවක් බව කියැවෙයි.

කෙසේ වෙතත් මෙහිදීද බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කොට තිබුණේ ජනාධිපතිවරයා පළමුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කළ යුතු බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වී සාකච්ඡා කොට තීරණය ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කොට තිබුණි.

මෙම සාකච්ඡාවේදී ටිරාන් අලස් අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඍජුව අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීම පමා නොකරන ලෙස ඉල්ලා ඇතැයි කියැවේ.

සාකච්ඡාව අතරතුරදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තවත් මාතෘකාවක් කරළියට රැගෙනවිත් තිබේ.

"විජයදාස රාජපක්ෂ ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අරගෙන තියෙනවා. මේකට මොකද කරන්නේ?"

සංවාදයට තුඩු දුන් මෙම මාතෘකාවට පිළිතුරු බැඳීමට බැසිල් රාජපක්ෂ ඉදිරිපත්ව ඇතැයි කියැවේ.

"පක්ෂයෙන් විනය පියවර ගැනීම සිදුවෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. ජනාධිපතිතුමා තමා ඇමැතිකම් සම්බන්ධව තීරණ ගන්න ඕනෑ."

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ හා සම්බන්ධව ප්‍රතිචාර නොදැක්වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ඇමැති තනතුරු වෙනසක් පිළිබඳවද ආරංචියක් පැතිර යමින් තිබේ.

සාකච්ඡාවට සමගාමීව අනාවරණය වෙමින් පවතින තවත් දේශපාලන රහස් රුසකි. ජනාධිපතිවරණය සම්බන්ධව බාහිර පාර්ශ්වවලින්ද දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් වෙත  බලපෑම් එල්ල වෙමින් ඇතැයි කියැවේ. එහි ප්‍රමුඛස්ථානයට පත්ව සිටින්නේ ඉන්දියාවයි.

“ඉන්දියාව මේ වෙලාවේ වැඩ කරන්නෙ කොහොමද කියන එක තීරණාත්මක දෙයක්. පොහොට්ටුවට ඉන්දියාවේ බලපෑම තදින් තියෙනවා."

දේශපාලන කරළියේ තිරය පිටුපස කතා අතරේ මෙම තොරතුරු අනාවරණය වේ. ඉන්දීය රෝ සංවිධානය සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම ඉන්දීය ආණ්ඩුවේ ප්‍රබල චරිතද ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ වෙත උපදෙස් ලබා දෙමින් සිටින බව ඒ අනුව කියැවේ.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පසුගිය කාලසීමාව තුළදී අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ ආදී චරිත මුණගැසී සාකච්ඡා පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අමතරව ඔහු ඉකුත්දා මිලින්ද මොරගොඩ මහතාවද හමුවිය.

“ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දිය යුත්තේ කාටද කියන කාරණාව සම්බන්ධව ඉන්දියාවේ බලපෑමක් තියෙනවා. චීනය ශ්‍රී ලංකාවට වඩාත් ළංවීම ගැන ඉන්දියාව එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ නිසයි මේ බලපෑම වඩාත් වැඩිවෙලා තියෙන්නේ."

මෙවන් තොරතුරු දේශපාලන කරළියේ තිරය පිටුපස සාකච්ඡා වන්නට පටන්ගෙන තිබේ.

ඉන්දියාව පමණක් නොව චීනයද ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ අවධානයක් යොමු කර ඇති බව පෙනී යන සිදුවීමක් ඉකුත් සතියේ වාර්තා විය. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ දූත පිරිසක් මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන තත්ත්ව සමඟ සාකච්ඡා අරඹා තිබුණි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු මෙරට ප්‍රබල දේශපාලන චරිත රුසක් හමුවීමට චීන දූත පිරිස කටයුතු කළහ.

පොහොට්ටුවේ පිරිස හමුවූ අවස්ථාවේදී පොහොට්ටුව නැවතත් ශක්තිමත් වී තිබෙන බව තමන්ට නිරීක්ෂණය වී ඇති බවක්ද චීන උප අමාත්‍යවරිය පැවසූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව සමස්තයක් ලෙස ඉන්දියානු චීන දේශපාලන මැදිහත් වීම සහ ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවේ ඉදිරි වසරේ මැතිවරණ දේශපාලනය කෙරෙහි අතිශය තීරණාත්මක වනු ඇති බව පෙනී යයි.

මේ අතර පොහොට්ටුව අභ්‍යන්තරයේ පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන අදහස දරන කණ්ඩායමට නායකත්වය ලබා දීමට නාමල් රාජපක්ෂ කටයුතු කරමින් ඇති බව ආරංචි මාර්ග තහවුරු කළේය.

"පොහොට්ටුවේ ලකුණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම තියෙනවා"

නාමල් රාජපක්ෂ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබුණි.

මේ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳවද එම පාර්ශ්වවල අවධානය වැඩි වශයෙන් යොමුවෙමින් තිබේ. අපේක්ෂකත්වයේ අපේක්ෂාව පෙරදැරිව ධම්මක පෙරේරා ද විවිධ වැඩසටහන් රට පුරා දියත් කරමින් සිටියි. D.P. Education සමඟ රට පුරා ගමින් ගමට යමින් ඔහු සිසු හමු, ජන හමු සංවිධානය කරමින් සිටියි. ඒ අනුව නැවතත් නෙළුම් පොකුණ පරිශ්‍රයේ දැවැන්ත උත්සවයක් සංවිධානය කිරීමටද ධම්මික පෙරේරා සැරසෙන බව කියැවේ.
මේ අතර පසුගියදා  කොච්චිකඩේ පැවති පාස්කු ප්‍රහාරයේ පස්වැනි සැමරුමට එක්වෙමින් කාදිනල් හිමි කී කතා දේශපාලන කරළියේද තරමක් ආන්දෝලනයක් ඇති කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුදින දුරකථනයෙන් තමාට දැනුම් දුන් බව කාදිනල් සඳහන් කළේය. එම නිර්දේශ ක්‍රියාත්මක කළහොත් හිතවත් සංවිධාන සහ නායකයන් විරසක වන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසූ බවද කාදිනල් හිමි මෙහිදී අනාවරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආදී චරිත පිළිබඳවද එළිපිටම විවේචන සිදු කිරීමට කාදිනල් හිමි මැලි නොවුණි. පැවැති ආණ්ඩුව සහ වර්තමාන ආණ්ඩුව ප්‍රහාරයේ සත්‍ය වසන් කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

තමා වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබුණි. ඔහු දීර්ඝ නිවේදනයක් පළ කරමින් තමාට චෝදනා කිහිපයක් එල්ල වූ බවත් ඒ කිසිවකට තමා වරදකරු නොවන බවත් කියා සිටියේය. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධයක් පවතින තහනම් කළ යුතු වන මොනම සංවිධානයක් තුළවත් තමාට හිතවතුන් නොසිටි බව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි.

"පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදුකරන ලද්දකි. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳව එවක රජයේ ඉහළම විමර්ශන ඒකකය වූ සී.අයි.ඩිය 2019 පාස්කු ඉරිදාට පෙර මාස ගණනාවක් මුළුල්ලේ විමර්ශනය කරමින් සිටි නමුත් ප්‍රහාරයට පෙර අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඔවුහු අසමත් වූහ. මෙකී පාර්ශ්වයන් දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට, නැතිනම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතරතුරම, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් මට එරෙහිව නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරන ආකාරය මහජනතාව හොඳින් නිරීක්‍ෂණය කළ යුතුය."

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර විවාදය දිගින් දිගටම පමාවන නමුත්, ඉකුත් සතිය මුළුල්ලේම දේශපාලන පුවත් නිර්මාණය කළේය. 

"අපේ ආර්ථික කමිටු අතර විවාදයක් තියන්න ඕනෑ" 

සජබ පාර්ශ්වයෙන් මතු වූ මෙම ඉල්ලීමට ජාතික ජන බලවේගය ආරම්භයේදීම දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.

"ජනාධිපතිවරණයක් ඊළඟට එන නිසා මුලින්ම අපේක්ෂකයෝ දෙන්නා අතර විවාදය තියමු."

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අභියෝගය බාරගන්නා බව ප්‍රකාශ කළ අතර මුලින් පැවැත්වෙන විවාදය සම්බන්ධව ඉකුත් සමයේ තර්ක මතුව තිබුණි. විවාද දෙකම පැවැත්විය යුතු බව සජබ දිගින් දිගටම කියා සිටි අතර ජාතික ජන බලවේගය හිතාමතා විවාද මගහරින බවටද චෝදනා එල්ල කළේය.

මේ අතර පසුගිය සතියේ ජාතික ජන බලවේගය සිය තීරණය ප්‍රකාශයට පත්කොට තිබුණි. මෙහිදී ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස නායකයන් අතර විවාදය සඳහා සජබයට දින ලබා දුන්නේය. 

"සජිත් ප්‍රේමදාස මහතා හා අනුර දිසානායක මහතා අතර විවාදය සඳහා මැයි මස 07, 09, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදාගත හැකියි." 

කෙසේ වෙතත් අනුරගේ දිනවලට විවාදය පැවැත්වීමට සජිත් පාර්ශ්වය සූදානම් වූයේ නැත. මෙහිදී මෙම ලිපියට පිළිතුරු ලිපිය යොමුකොට තිබුණේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරය.

"සජිත් ප්‍රේමදාස මහතා එම දිනවල සක්වල හා වෙනත් වැඩසටහන් කිහිපයක් යොදාගෙන තිබෙනවා."

යනුවෙන් කී සමගි ජන බලවේගය ආර්ථික කමිටු විවාදය සහ මෙම විවාදය දෙකම මැයි මාසයේදී පැවැත්විය යුතු බවද අවධාරණය කොට තිබුණි. එසේම අප්‍රේල් 25 - 26 දින දෙකින් එකකදී මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමටද ඔවුහු යෝජනා කළහ.

කෙසේ වෙතත් මෙවන් ලිපි ගනුදෙනු දිගින් දිගටම සිදු නොවිය යුතු බවත් මෙය සාකච්ඡා කොට විසඳාගත යුතු බවත් අදාළ පාර්ශ්වවල සැලකිය යුතු පිරිසක් විශ්වාස කරන බව කියැවේ. සජබ වගකීම නලින්ටත් ජජබ වගකීම නලින්දටත් මේ වන විට පැවරී ඇති අතර ඉදිරි සතියේදී මේ හා සම්බන්ධ තීරණයක් ප්‍රකාශයට පත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ අතර කාලයේදී ස්විඩනයේ සංචාරයක් බලා පිටත්ව ගොස් තිබුණි. එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා සිට අප්‍රේල් 27 දක්වා වන මෙම සංචාරයේදී එරට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජන හමු කිහිපයක්ම පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායකයා කටයුතු කරනු ඇත.

මේ අතර ඉකුත් සතියේ ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයද දෙස් විදෙස් අවධානය දිනාගත් සිදුවීමක් විය. මෙම සංචාරයේදී සිදුවූ සිදුවීම් පිළිබඳ එතරම් ප්‍රකට නොවූ තොරතුරු කිහිපයක් දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි.
ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයත් සමඟ ඉරාන රජය ශ්‍රී ලංකාව වෙත සුවිශේෂී ඉල්ලීමක් සිදු කළේය.

"ජනාධිපතිවරයා සහභාගි වන කිසිදු උත්සවයකට සංගීත ප්‍රසංග, නර්තනාංග ආදී අංග එකතු කරන්න එපා."

මෙම ඉල්ලීමත් සමඟ බදුල්ලේ පැවති ප්‍රධාන උත්සවයේ පිළිගැනීමේ නර්තන අංග ඇතුළු අයිතම කිහිපයක්ම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.

කොල්ලුපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියටද ඉරාන ජනාධිපතිවරයා ආගමික වතාවත් පිණිස පැමිණි බව වාර්තා විය. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවලින් අනතුරුව ඉරාන ජනාධිපතිවරයා සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබුණි.

"මේ අවස්ථාවටත් කිසිම සංගීත ප්‍රසාංගික දෙයක් එකතු කරන්න එපා."

ඉරාන නියෝජිතයන් නැවත සිහිගන්වා තිබුණි. 

මෙම භෝජන සංග්‍රහය සඳහා ඉරාන නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සේම රවුෆ් හකීම් ඇතුළු හිටපු මුස්ලිම් මැති ඇමැතිවරුද  සහභාගි වී සිටියහ.

මෙම භෝජන සංග්‍රහය වෙනුවෙන් ආහාර සකස් කොට තිබුණේ නාවික හමුදාව විසිනි. ජනපති රනිල් වික්‍රමසිංහ ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ කෑමක් පිළිගැන්වීමටද මෙහිදී කටයුතු කළේය. එය එළු මස් දැමූ ඉඳිආප්ප බුරියානි එකක් වූ බව ආරංචි මාර්ග තහවුරු කරයි. 

දකුණු ආසියාවේ ප්‍රථම අහස් පාලමෙන් යුත් ITC හෝටල් පරිශ්‍රය පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය. මෙම විවෘත කිරීමට පෙර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වෙත මෙම හෝටල් කළමනාකාරීත්වය විශේෂ උපහාර දැක්වීමක් සිදුකර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතු වී ඇත්තේ මෙම හෝටලය නිර්මාණය කිරීමට අදාළ ව්‍යාපෘතිය සඳහා ඔහු මූලිකත්වය ගැනීම බව කියැවේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මනමෝහන් සිං මහතාගේ ලේකම්වරයා වූ ටී.කේ. නයාර් මහතා මෙරටට පැමිණි අවස්ථාවක ලලිත් වීරතුංග සමඟ සාකච්ඡාවක යෙදී තිබේ. 

"ඔබලගේ රටට මගෙන් මොනවද සිද්ධ වෙන්න ඕනෑ."

"අපිට ඉන්දියන් ඉන්ස්සිටුව් ඔෆ් ටෙක්නොලොජි ආයතනයේ ශාඛා පුළුවන් නම් කොළඹටයි යාපනයටයි ලබා දෙන්න. නැත්නම් චීනය ලංකාවට ලබා දෙනවා වගේ විශාල ඉදිකිරීමක්, හෝටලයක් ලබා දෙන්න."

මෙම ඉල්ලීමත් සමඟ නයාර් මහතා ලලිත් වීරතුංග වෙත දන්වා ඇත්තේ ඉන්දියන් ටුබැකෝ සමාගම වෙත තොරතුරු දන්වා ඇති බවත්, ඔවුන් පැමිණ ඔහුව හමුවී සාකච්ඡා කරනු ඇති බවත්ය. මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේද මැදිහත් වීම සහිතව මෙම ඉදිකිරීම සඳහා අවස්ථාව උදා වී තිබේ. මේ අනුව මීට මාසයකට පමණ ඉහතදී හිටපු ජනාධිපතිවරයාටද නව හෝටල් පරිශ්‍රයේ සංචාරයක් ලබා දීමට සමාගම කටයුතු කොට තිබුණි.

පසුගියදා හෝටලය විවෘත කිරීමට දින කිහිපයකට ඉහතදී වීරතුංග මහතා වෙතද එවන් අවස්ථාවක් සලසා දුන් සමාගම, ඔහු හෝටලය සඳහා පීතෘත්වය සැපයූ පුද්ගලයා ලෙස නම් කොට ඇතැයි කියැවේ.

I  චමිඳු නිසල් ද සිල්වා