2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ එක්දින තරග “මාරාව”

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

“අතේ තියෙන දේ කටේ දා ගන්න බෑ.” යනුවෙන් ජනවහරේ කථාවක් තිබේ. ශ‍්‍රී ලංකා එක්දින පිල පාකිස්තානු සංචාරයේ මේ දක්වා සහභාගි වූ තරග දෙකෙන්ම පරාජයට පත්වීම ලෙස බැලීමේදී ඉහත කියමන ශ්‍රී ලංකා පිලට වඩාත් ගැලපේ. ගමේ ගොඩේ ක‍්‍රිකට් ලෝලීන්ට දැනෙන දෙය ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ මහදැනමුත්තන්ට නොතේරීම මෙහිදී ගැටලුවක් බවට පත්ව තිබේ. මෙම තත්ත්ව දෙස බැලීමේදී ශ්‍රී ලංකා පිලට උපදේශකයකුගේ සේවය අවශ්‍ය බව නම් පැහැදිලිය.

අබුඩාබිහිදී පසුගිය සඳුදා පැවැති දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිලේ පළමු කඩුලු හය ලකුණු 101 කදී බිඳ වැටීමේ වාසිය ජයග‍්‍රහණයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකා පිලට ශක්තිය නොතිබුණි. බාබර් අසාම් සහ සදාබ් ඛාන් හත්වැනි කඩුල්ලට ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනගන තෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බලා සිටියහ. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බාබර් අසාම් පිට පිටම ලබාගත් දෙවැනි ශතකය නතර කිරීමටද නොහැකි වීම තවත් පසුබෑමකි.

උපුල් තරංග නායකත්වයට පැමිණීම සහ ඔහුගේ නායකත්වයේ හැකියාව පිළිබඳ ගැටලු ඇති බව ප‍්‍රසිද්ධ රහසකි. පන්දු යවන්නන් යෙදවීමට පමණක් නායකයකු අවශ්‍ය නොවන අතර ප‍්‍රතිවාදීන්ට පීඩනයක් යොමු කිරීමේ අවස්ථානුකූල සැලැස්ම සහ ක‍්‍රමවේදයන් නායකයකු සතුව තිබිය යුතුය. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 220 ක ඉලක්කය ආසන්නයට හෝ පැමිණීමට අපොහොසත් වූහ.

ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ලැබූ උපුල් තරංග පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානු පිලට ලබාදීම පිළිබඳව දැඩි කථාබහක් පැවතුණි. ශ්‍රී ලංකා පිලේ එම තීරණයේ වාසිය ලැබූ පාකිස්තානු පිල ලකුණු 292 ක් රැස්කිරීමට සමත් විය. විදුලි ආලෝකය මධ්‍යයේ පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල බඩගාමින් ගොස් ලකුණු 209 ක් රැස් කළේය. 

ලකුණු 83 කින් පරාජය වුවද එම ඉනිමෙන්ද අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ 8 වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 68 ක සම්බන්ධතාව අනාගතයට හොඳ ආයෝජනයක ඉඟිපළ කළේය. අකිල සහ වැන්ඩසේ සම්බන්ධතාව එහිදී ශ්‍රී ලංකාවේ ගෞරවය තරමක් රැකගත්තේය. එහිදී අකිල ධනංජය නොදැවී ලකුණු 50 ක් රැස්කිරීම කැපී පෙනුණි. මෙම තරග දෙකේදීම කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් අසාර්ථකවීම පිතිකරු ලැයිස්තුවේ කඩා වැටීමට දැඩි බලපෑමක් කළේය. ඩුබායි තරගයේදී කුසල් මෙන්ඩිස් අංක 5 ට තල්ලු කර එම ස්ථානය චන්දිමාල් පන්දුවට පහර දුන් අතර ළහිරු තිරිමාන්නට අංක 4 හිමිවිය. දෙවැනි තරගයේදී කුසල්ට නැවතත් අංක තුන හිමිවිය.

මෙම වෙනස් කිරීම් හමුවේ පෙනී යන්නේ ක‍්‍රීඩකයකුට ස්ථාවර වීමට අවස්ථාව නොදෙන තත්ත්වයකි. මෙසේ වුවහොත් හැමදාම සංක‍්‍රාන්ති අවධියේ සිටින්නේ යැයි කීම පමණක් කළ හැකිය.  

I සටහන: වරකාගොඩ ගමගේ

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00