2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

ඇඟ රත්වෙන මිල සූත්‍රය

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

ශ්‍රී ලංකාව තෙල් නිපදවන රටක් නොවේ. එබැවින් ඕනෑම ආණ්ඩුවකට තෙල් පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවේ. අතීතයේ සිටම ඉන්ධන පිළිබඳ කළමනාකරණය ද සාර්ථක නැත. වයඹ මුහුදු තීරයේ තෙල් ඇති බවද ඒවා ලබාගැනීමෙන් පසු ගැහැනු දරුවන්ගේ දෑවැද්ද සඳහා තෙල් බැරැල් ගණනින් ලබාදිය හැකිබවද සමහර ප්‍රාඥයෝ කියා සිටියහ. එහෙත් ලැබුණු තෙලක් නැත. අවසානයේ ලෝක වෙළඳ පොළෙහි තෙල් මිල ඉහළ පහළ යාම විස්මයෙන් බලා සිටින්නට අපිට සිදුවිය. මේ ආණ්ඩුව බලයට පත්වන විට තෙල් බැරලයක මිලෙහි යම් අඩුවක් දක්නට ලැබිණි. එහෙත් එය ක්‍රමයෙන් ඉහළ ගියේය. අද බොර තෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් හැත්තෑවක මට්ටමක පමණ පවතී.
පසුගිය 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල යළිත් ඉහළ ගියේය. ඒ පැට්රල් රුපියල් 04කින් සහ ඩීසල් රුපියල් තුනකින් ලෙසය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍ර්ල් ලීටරයක නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 118 සිට 123 දක්වා රුපියල් 5කින් හා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 130 සිට 133 දක්වා රුපියල් 3කින් ඉහළ ගොස් ඇත. 2015 ජනාධිපතිවරණයට පෙර තත්ත්වය සමඟ සසඳා බැලුවහොත් තෙල් මිල ඉහළ ගොස් නැතැයි කියන්නට පුළුවන. එදා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150කි. ඩීසල් මිල රුපියල් එකසිය තිස් තුනකි.

ඉන්ධන මිල හා ගෑස් මිල වැඩි නොකර සිටීම සඳහා සාකච්ඡා ගණනාවක් පැවති බව අප දන්නා කාරණයකි. මෙලෙස සාකච්ඡා පැවැත් වූ අතර වාරයේ ඉන්දියෙන් ඔයිල් සමාගම තෙල් මිල ඉහළ දැම්මේය. ඉන් නොනැවතී තෙල් මිල ඉහළ දමන්නැයි ඛණිජ තෙල් සංස්ථාවට බලපෑම් කළේය. එහෙත් තෙල් සංස්ථාව සැලකිය යුතු කාලයක් එම පාඩුව අල්ලාගෙන සිටියේය. ඒ අනුව මෙම වසරේ මුල් කාර්තුව තුළ ඛණිජ තෙල් සංස්ථාව වැඩි මිලට තෙල් ලබාගෙන අඩු මිලට විකුණුවේය.

මෙම තත්ත්වය තුළ රටේ ආර්ථිකය පවත්වා ගැනීමට අසීරු වූ නිසා අවසන් ලෙස තෙල් මිල යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට තීන්දු කරන ලද්දේ මෙම වකවානුව තුළය. ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිලට සමගාමීව මිල ඉහළ පහළ යන ක්‍රම වේදයක් සැකසිය යුතු බව මුදල් අමාත්‍යාංශය යෝජනා කළේ එයට පිළියමක් ලෙසය. එය මිල සූත්‍රය ලෙස සඳහන් වේ. මීට පෙරද අවස්ථා කිහිපයකදී මිල සූත්‍රය යෝජනා වුවත් එය ක්‍රියාත්මක වූයේ නැත. ඒ අනුව සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය සිදුවන අතර එහිදී ඉන්ධනවල මිල ඉහළයාමටත් පහළ යාමටත් පුළුවන. දැන් අපි මුහුණ දී සිටින්නේ එම තත්ත්වයටය. නමුත් මිල සංශෝධනයෙන් පසුව තෙල් මිල ඉහළ යෑමක් සිදුවුවද තවමත් මිල පහළ යාමක් නම් ප්‍රදර්ශනය කර නැත.

ඉන්ධන මිල ඉහළ යාම යනු සමස්ත ජනතාවට ප්‍රශ්නයක් වන බැවින් ඊට දේශපාලන ස්වරූපයක් එකතු වීමද නැවැත්විය නොහැක. ඒ පිළිබඳ කෙනකුගේ අදහස ජනතාව කබලෙන් ළිපට දැමූ බවය. තවත් කෙනකුගේ අදහස රාජ්‍ය අංශයේ පාඩු පියවා ගැනීමට තෙල් මිල ඉහළ දැමූ බවය. කුමන ආණ්ඩුවක් යටතේ වුවද තෙල් මිලෙහි සංශෝධන වරින් වර සිදුවන අතර මෙලෙස මිල සූත්‍රය මගින් ඉන්ධන මිලෙහි අඩු වීමක් දක්නට නොමැති බව ජනතාව එල්ල කරන ප්‍රධාන චෝදනාව ද වේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ජනපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්තිවලද, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලද තෙල් මිල සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන බව සඳහන්ව තිබුණ ද යහපාලන රජය බලයට පත්වී වසර තුනක් යන තුරුම මේ පිළිබඳව උනන්දුවක් දක්වා තිබුණේ නැත. ඛණිජ තෙල් වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මුල සිටම එලෙස මිල සූත්‍රය ක්‍රියාත්මක කළා නම් විශාල ලෙස මිල වැඩි වීමක් සිදුනොවනා බවය. ජනතාව නගන චෝදනාවද එයමය. මිල සූත්‍රයකට අනුව පාලනය වන ඕනෑම භාණ්ඩයක මිල අඩු වැඩිවීම් සිදුවන අයුරු අප දැක ඇත. නමුත් තෙල් මිලෙහි මේ දක්වා මිල වැඩි වීම් ඇරෙන්නට මිල අඩුවීමක් මිල සුත්‍රයට අනුව සිදුවී නොමැත.

පාඩු ලබන ඛණිජ තෙල් සංස්ථාවේ මූල්‍යය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය කළ ඉල්ලීම මහා භාණ්ඩාගාරය ප්‍රතික්ෂේප කළ නිසා මිල ඉහළ නැංවීම ඉක්මන් වී ඇත. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 46ක් බදු අය කෙරේ. මිල සුත්‍රය අනුමත වූවාට පසු ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල ගණන් සමාලෝචනය කරන නිසා මෙලෙස තෙල් මිල යම් මුදලකින් වැඩි වූ බව ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

2015 වසර වනවිට අමෙරිකන් ඩොලර් 49.49ක්ව තිබූ බොර තෙල් බැරලයක මිල 2017 වසරේදී අමෙරිකන් ඩොලර් 54.95ක් වූ අතර මේ වනවිට එය ඩොලර් 77ක් දක්වා ඉහළ නැග ඇත.

ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ආනයනික ඉන්ධන මත යැපෙනා රටකි. අපේ රටේ කිසිදු ඉන්ධන නිෂ්පාදනයක් සිදු නොවන නිසා එතෙරින් තෙල් නැව් එන තෙක් කට ඇරගෙන සිටින්නට අපට සිදුව ඇත. තෙල් නැව් ප්‍රමාද වීම නිසා පසුගිය කාලයේ සිදු වූ ඇබැද්දින් ද අපට තවමත් අමතක නැත.

රටේ ජනතාව බහුතරයක්  සහ ඇතැම් විද්වතුන් පවසන්නේ තෙල් මිල සඳහා මිල සූත්‍රයක් යෙදීමෙන් පෙරට වඩා අසීරුතාවයක් මේ වනවිට ඔවුනට දැනී ඇති බවයි. එමෙන්ම තෙල් මිල සඳහා මෙලෙස මිල සූත්‍රය භාවිත කරන්නට තිබූ අවදියෙහි නොකර දැන් මෙලෙස මිල සූත්‍රය ක්‍රියාත්මක කෙරෙනා විට ඒ සඳහා ජනතාවට සහනයක් නොලැබෙන බවද ඔවුහු චෝදනා කරති.

තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්ද සිල්වා - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
මම දැක්කා මේ පසුගිය කාලයේ ඉන්ධන මිල සූත්‍රයක් ගැන කතා කරනවා. හැබැයි මිල සුත්‍රය හඳුන්වා දුන්නා කියලා මැයි මාසයේ ඉන්ධන මිල වැඩි කරා. ජූනි, ජූලි, මාසවලත් තවමත් ඒක ඒ විදියට කරනවා. හැබැයි ඒ වෙනස් කිරීම් දිහා බලපුවාහම සංඛ්‍යා විද්‍යාව පිළිබඳ දන්නා කෙනෙක් හැටියට මට සීයට සීයක් සහතිකයෙන් කියන්න පුළුවන් එහෙම මිල සුත්‍රයක් තියෙන්න බැහැ. මේ විදියට මිල වැඩිකරන එක සම්බන්ධව මිල සූත්‍රයක් කියනඑක මිත්‍යාවක් බොරුවක්. මම අභියෝග කරනවා. එහෙම මිල සූත්‍රයක් තියනවා නම් ඒක ඉදිරිපත් කරන්න. එහෙම තිබ්බොත් මිල සූත්‍රයක් ඉදිරිපත් කළොත් මම මේ ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වෙනවා. එහෙම මිල සූත්‍රයක් නැහැ. මේක මිත්‍යාවක් බොරුවක් ඒ බව නැවතත් කියනවා.

♦ හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00