2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

බුරුම අැතා ගන්න ඇත‍ෙක් බරට සල්ලි දුන්නද?

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 318

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කියූ සැණෙන් අපේ මතකට එන ප්‍රධාන කරුණු දෙකකි. ඉන් පළමුවැන්න එහි වැඩ හිඳිනා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේය. දෙවැන්න වන්නේ ඇසළ මහා පෙරහර මංගල්‍යයයි. ඇසල පෙරහර කියූ සැණෙන් ඊළඟ මොහොතේ සිහියට එන කරුණ නම් දළදා පෙරහර අලංකාරයේ සිට අත්‍යාලංකාරය දක්වා උසස් කරවන සද්දන්තයින් පෙළයි. 

අලි ඇතුන් යනු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඓන්ද්‍රීය සම්බන්ධයක් ඇති සත්ත්වයෙකි. ශ්‍රී දළදා මාළිගාව සතු හස්ති පන්තියට අමතරව දළදා පෙරහර වෙනුවෙන් රටේ විවිධ පළාත්වලින් හස්ති රාජයින් කැඳවාගනු ලබන්නේද දළදා පෙරහර මෙරට සංස්කෘතියේ ගැඹුරු පිළිබිඹුවක් වන නිසාවෙනි. එහෙත් දළදා මාළිගයේ හස්ති පන්තියට අයත් මියන්රාජා ඇතා පිළිබඳ පසුගිය දිනවල රට තුළ සුවිශේෂී කතාබහක් නිර්මාණය වූයේ මියන්මාරය හෙවත් අතීත බුරුම දේශයේ සිට මෙම ඇතා ගෙන්වීමේදී සිදුවූයේ යැයි කියන බරපතල දූෂණ අක්‍රමිකතාවක් හේතුවෙනි.

මියන්රාජා ලංකාවට එන්නේ 2007 වසරේ ජූලි මස 26 වැනිදාය. ඒ මියන්මාරය විසින් ශ්‍රී ලංකාවට බුරුම ඇතුන් පස් දෙනෙකු ප්‍රදානය කිරීමේ පළමු පියවර වශයෙනි. 

“මියන්රාජා ඇතුළු මෙම හස්තීන් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මියන්මාර රජයේ පරිත්‍යාගයක් ලෙස කීව ද මෙම ඇතුන් ගෙන්වීමේ මුවාවෙන් මියන්මාරයට රුපියල් කෝටි 26කට අධික මුදලක් (රු. 261, 592,500) යවා ඇත” යන්න මේ වනවිට එල්ල වී ඇති චෝදනාව වේ. එම චෝදනාව මතුවූයේ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන සමන්ත ගුණසේකර මහතා විසින් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට කරන ලද පැමිණිල්ලක් අනුව කළ සොයාබැලීම් අනුවය. 

එනම් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අරමුණින් ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ඊ. දිසානායක මහතා සාමාජිකත්වය දරන ඒක පුද්ගල කමිටුවක් පත්කරනු ලැබිණි. 
මියන්මාරයේ සිට අදාළ ඇතුන් මෙරටට ගෙන්වන අවස්ථාව වනවිට විවෘත වෙළෙඳපොළේ අලි ඇතුන්ගේ මිල රුපියල් කෝටියත් කෝටි එකහමාරත් අතර අගයක පැවැති නමුත් මියන්රාජා වෙනුවෙන් රු. 261, 592,500 ක මුදලක් වංචාකාරීව විදෙස් ගතකොට ඇති බව නිමල් දිසානායක මහතාගේ වාර්තාවේ සඳහන් වේ. එනම් මියන්රාජා ගෙන්වා ඇත්තේ වෙළෙඳපොළේ සාමාන්‍ය මිල ගණන් මෙන් විසි ගුණයකටත් වැඩි මිලකට බව පෙන්වා දී තිබේ. (වර්තමානය වනවිට ජාත්‍යන්තර සම්මුතීන් අනුව රටකින් රටකට අලි ඇතුන් වෙළෙඳාම් කිරීම නීති විරෝධී ක්‍රියාවකි) 

එම කමිටුවේ සොයාබැලීම් හා සාක්ෂි කැඳවීම් අවසානයේ නිමල් දිසානායක මහතා නිර්දේශ කොට ඇත්තේ, මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකොට වගකිව යුත්තන්ට දඬුවම් දියයුතු බවය. ‍

තවද ඉදිරියේදී මෙවන් අවස්ථා ඇතිවීම වළක්වා ගැනීම සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීමේදී වනජීවී සංරක්ෂණ අමාත්‍යංශය, ආනයන බලපත්‍ර නිකුත් කරන ආයතනය වන ආනයන හා අපනයන දෙපාර්තමේන්තුව (මුදල් අමාත්‍යංශය), රේගු දෙපාර්තමේන්තුව අතර මනා සම්බන්ධීකරණයක්  පැවතිය යුතු බව ද නිමල් දිසානායක මහතා විසින් නිර්දේශ කොට තිබේ. 

කෙසේ වෙතත් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා අවධාරණය කර පවසන්නේ අදාළ හස්තීන් ගෙන්වීමේදී ශ්‍රී දළදා මාළිගයේ අරමුදලින් කිසිදු මුදලක් වැය නොවූ බව ය. ශ්‍රී දළදා මාළිගාවේ වෙඩ් අඩවියේ මාළිගාව සතු හස්ති පන්තියේ විස්තරයක් දැක්වේ. එහි මියන්රාජා ගැන සඳහන් වන්නේ මෙලෙසිනි. 

“ඇසළ පෙරහර සඳහා දළ ඇතුන්ගේ විශේෂ අවශ්‍යතාවයක් තිබූ අවධියක ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේතුමා මියන්මාරයට ගොස් පරිවාර ඇතුන් සඳහා සුදුසුම ඇතුන් දෙදෙනෙකු තෝරාගෙන 2007 වර්ෂයේ මියන්මාර අගමැති ලුතිතන් ජෙනරාල් තෙසිං යෙසිං මැතිතුමා විසින් හිටපු ගරු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේද සහභාගීත්වයෙන් දළදා මාළිගාවේ මඟුල් මඩුව ඉදිරිපිට දී දළදා මාළිගාවට පරිත්‍යාග කරන ලදී. අද වනවිට ඇසළ පෙරහර පරිවාර ඇතුන් දෙදෙනා බවට පත්වී ඇත.”

ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් මෙම ප්‍රශ්නය පිළිබඳ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, සමන්ත ගුණසේකර මහතා විසින් පැමිණිල්ලක් කර තිබුණද අදාළ මුදල් ප්‍රමාණය මියන්මාරයට යැවූ බවට කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඉදිරිපත් කර නොමැති බවය. 

කවුරුන් ඇත්ත කියන්නේද කවුරුන් බොරු කරන්නේද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන පරීක්ෂණයේදී තහවුරු වනු ඇත. වැදගත් වන්නේ යම් හෙයකින් හෝ දළදා මාළිගාවේ අරමුදලින් මියන්රාජා ගෙන්වීමේදී සැබෑ වටිනාකමට වඩා මුදලක් ගෙවා ඇත්නම් හා එහිදී යම් අත යට ගනුදෙනුවක් සිදුවී ඇත්නම් ඒවා රටට හෙළි කිරීමය. එතැනින්ද නතර නොවී අධිකරණ ක්‍රියාමාර්ග හරහා වගකිවයුත්තන්ට දඬුවම් පමුණුවීමය. 

තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා

මේ සම්බන්ධයෙන් මට තාම මුකුත් ප්‍රකාශයක් නිකුත් කරන්න බැහැ. මේක දැන් භාරවෙලා තියෙන්නේ සී.අයි.ඩී. එකටයි. මෙතැනදී මුදල් වංචාවක් සිදුවෙලා තියෙන බවට පැමිණිල්ලේ සඳහන් වුණත් ඒ මුදල් කොහොමද ගියේ කියල කිසිම සඳහනක් නැහැ. අඩුම තරමේ බැංකු ගිණුම් අංකයක්වත් නැහැ. ඒ හින්දා අපි මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගන්න නීතිපති දෙපාර්තමේන්තුවටත් යොමුකරලා තියෙනවා. මට තව සුමානයක් දෙන්න. මොකක්ද වෙලා තියෙන්නෙ කියලා මම කියන්නම්.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර 

2007 වසරේදී මියන්මාර් රජය විසින් ශ්‍රී දළදා මාලිගාවට කයමොං තොං සහ මොහෙතකා වශයෙන් ඇතුන් දෙදෙනෙකු පරිත්‍යාග කරනු ලැබුවා. මේ ඇතුන් දෙදෙනා නොමිලේ දළදා මාලිගාවට ලැබුණු පරිත්‍යාගයක්. මේ සඳහා ශ්‍රී දළදා මාලිගාවේ අරමුදලින් අලි ඇතුන් මිලදී ගැනීමට රුපියලක්වත් අපි වැය කරනු ලැබුවේ නැහැ. මොකද මෙය පරිත්‍යාගයක්. ලෝකේ ජාත්‍යන්තර සම්මුතීන් අනුව, CITES නීතිය අනුව රටකින් රටකට, ප්‍රාන්තෙකින් ප්‍රාන්තෙකට, සත්වෝද්‍යානයකින් සත්වෝද්‍යානයකට අලි ඇතුන් හුවමාරු කරගැනීමක් හෝ පරිත්‍යාගයක් වශයෙන් පමණයි අලි ඇතුන් ලබාදිය හැක්කේ. මේ සඳහා ගනුදෙනුවක් සිදුකළ නොහැකි බව ඒ අනුවත් මනාව පිළිබිඹුෙවනවා. ඒ වගේම මා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ හැටියට දළදා මාලිගාවේ අරමුදලින් මේ අලිඇතුන් මිලදී ගැනීමට කිසිම මුදලක් වැය නොකළ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න කැමැතියි. නමුත් පරිත්‍යාගශීලීන් විසින් මේ සතුන් දෙදෙනාට වටිනාකමක් ඒ අදාළ ලියකියවිලිවල සඳහන් කර තිබුණා. ඒ ලියකියවිලි උපුටා ගෙන ඒ සඳහා මුදල් වැය කර තිබෙනවා කියන එක සමාජගත කිරීමට යම් පුද්ගලයන් ගත් උත්සාහයක් 2008දී ඉස්මතු වුණා. මේ සිදුව තිබෙන්නේත් එම තත්ත්වය නැවත ඉස්මතු වීමක් ලෙස මා සඳහන් කරන්න කැමතියි. 

I රජිත ජාගොඩආරච්චි