2017 ජුලි 08 වන සෙනසුරාදා

මුතුරාජවෙල කැළිකසළ වළ

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 428

දින ගණනාවක් පුරා කොළඹ නගරයේ එක් රැස්වන කසළ මුතුරාජවෙලට බැහැර කිරීම හේතුවෙන් පසුගිය දිනවල ප්‍රදේශවාසීහු විරෝධතා උද්ඝෝෂණයක්ද පැවැත්වූහ. තම ප්‍රදේශවලට කුණු දැමීම ගැන ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධතාවන්ද එල්ල වීය. කුණු බැහර කිරීමට එරෙහිව මුතුරාජවෙල අභය භූමිය සුරකීමේ සංවිධානය හා ප්‍රදේශවාසීන් එක්ව ගොනු කළ පෙත්සම සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මුතුරාජවෙල ප්‍රදේශයට කැළිකසළ බැහැර කිරීම තහනම් කරමින් ජූලි මස පස්වෙනිදා තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව ජූලි මස 20 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

පසුගිය දිනවල ප්‍රදේශවාසීන් ඒකරාශිවී දින කීපයක්ම කැළි කසළ බැහැර කළ වාහනවලට මඟ හරස් කරමින් පැවැත්වූ විරෝධතාවය අවසන් වී නිහඬ පරිසරයක් මේ වෙද්දී පවතින බව මුතුරාජවෙල එම ප්‍රදේශයේදී අපට දැකගන්නට ලැබුණි.
මෙම තත්ත්වය මුලින්ම ඇති වුණේ මීට මාස කීපයකට උඩදී. කුණු බැහැර කිරීමේ ප්‍රශ්නයක් අප්‍රේල් මාසේදී ඇතිවුණා. එක්තරා ප්‍රදේශයකින් මුතුරාජවෙලට කුණු බැහැර කිරීමට සැලසීමේදී මේ විදිහටම එදත් ප්‍රදේශවාසීන් ඒකට විරුද්ධ වුණා. එයින් ඒ කසළ බැහැර කිරීම නතර වුණා. ඊට පස්සේ ප්‍රදේශවාසීන් මේ මුතුරාජවෙල අභය භූමිය සුරුකීමේ සංවිධානය පිහිටෙව්වා. අපිට තේරැණා මේ කසළ ප්‍රශ්නය මීට පස්සෙත් ඇතිවෙයි කියලා. ඒ අනුව සංවිධානය හරහා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළා. ඒ අනුව ජූනි 05 වැනිදා විභාග කළා. ඒත් අදාළ පාර්ශවයෙන් පැමිණ සිටියේ නෑ. ඒ අනුව නැවත එම නඩුව ජූලි මස 20 වැනිදාට කල්ගතවුණා. 

මෙලෙස අදහස් දැක්වූයේ මුතුරාජවෙල අභය භූමිය සුරකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් සේනාරත්න වනසිංහ මහතාය. මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට ඇති අතරතුරේදී නැවතත් මුතුරාජවෙලට කැළි කසළ බැහැර කෙරිණි. ජූනි මස විසි අට වැනිදා සිට දින පහක කාලයක් එලෙස කොළඹ ප්‍රදේශයෙන් කැළි කසළ මුතුරාජවෙලට බැහැර කිරීමත් සිදු විය. 

මුතුරාජවෙල අභය භූමියේ ජලයට තමයි ඔවුන් කැළි කසළ ගොඩ ගසන්නේ. ප්ලාස්ටික්, පොලිතින්, මිනි කැබැලි ඇතුළු සියලුම අපද්‍රව්‍ය කිසිම තෝරා බේරාගැනීමකින් තොරව තමයි ඔවුන් මෙම ස්ථානයට ගෙනත් දාන්නේ. ඊට උඩින් ඒ අය පස්දමලා වහනවා. මුතුරාජවෙල මීගමු කලපුව බොහෝ කිට්ටුයි. මුතුරාජවෙල ජලයේ ඇති අපද්‍රව්‍ය මේ ඇළ මාර්ග හරහා කලපුවට යාමක් සිදුවෙනවා. මේ ප්‍රදේශයේ ළිං ආශ්‍රයෙන් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවාසීන් ඉන්නවා. ඒ අයගේ බීමට ගන්නා ජලය පවා මේ තත්ත්වයෙන් අපිරිසිදු වෙන්න පුළුවන්. ඔහු වැඩිදුරටත් පැවසීය.

මුතුරාජවෙලට ගෙනයන කැළි කසළ කොළඹ නගරයේ ඒවා පමණක්දැයි අප කළ විමසුමකදී සේනාරත්න මහතා මෙලෙස අදහස් දැක්වීය.

ඔව්... මුතුරාජවෙල ප්‍රදේශවාසීන් මෙතෙන්ට කුණු දාන්නේ නෑ. මෙහෙ පාරේ එහෙම තැන තැන කුණු දාන්නෙ නෑ. තම තමන්ගේ කුණු ටික ගෙදරදීම විනාශ කරන්න මිනිස්සු පෙළඹී සිටිනවා.

මේ වනවිට මුතුරාජවෙල කුණු කසළ බැහැර කර තිබෙන ප්‍රදේශයේ නිල් පාට තහඩු ආවරණයකින් සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබුණි. පිටස්තර කිසිදු කෙනකුට එයට ඇතුළුවීමට තහනම්ය. ඒ වනවිටත් එහි පැවැති බැකෝ යන්ත්‍ර ඇතුළුව සියලුම යන්ත්‍ර අදාළ පුද්ගලයන් විසින් රුගෙන ගොස් තිබුණි. 

මුතුරාජවෙල කැළි කසළ බැහැර කිරීමට යොදාගනු ලැබූ ප්‍රදේශයේ මාර්ගයේ පවුල් දාසයක් පමණ ජීවත් වන අතර මෙම කැළි කසළ ගැටලුව එයට අමතරව වටපිටාවේ සියලුම පවුල්වලටම බලපායි. මෙම විරෝධතාව වෙනුවෙන් එම ප්‍රදේශයේ මෙන්ම අවට ප්‍රදේශවල ජනතාවද එක්රොක්ව සිටියහ. ඔවුහු මෙම මුතුරාජවෙල තවත් එක් මීතොටමුල්ලක් කිරීමට අකමැති වූහ. මේ අතර මුතුරාජවෙලට කුණු බැහැර කිරීමට පක්ෂව කැමැත්ත පළ කරන ඉතා සීමිත පවුල් දෙක තුනක්ද ඒ අවටම සිටියහ.

මේ සම්බන්ධයෙන් මුතුරාජවෙල අභය භූමිය සංවිධානයේ සභාපති අනිල් ලංකාපුර ජයමහ මහතා දේශයට මෙසේ අදහස් දැක්වීය.

කොළඹ කුණු කසළ බැහැර කරන්නට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නෑ. ඒ සඳහා මීට පෙර තිබුණු ආණ්ඩුවටත් වැඩපිළිවෙළක් තිබුණේ නෑ. ඒ තත්ත්වය උඩ මීතොටමුල්ල නාය යාමත් එක්ක ආණ්ඩුව ලොකු අපහසුතාවයකට පත් වුණා. මේ මුතුරාජවෙල ඇතුළේ හිටිය ව්‍යාපාරකයන් පර්චසයකට අක්කරයකට තියෙන ගාන වැඩිකරගන්න කොළඹ කුණු ගෙනල්ලා මෙතෙන්ට දාන්න ඉඩදීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රදේශවාසීන්ගේ නොසන්සුන්තාවයක් ඇතිවුණා. 1996 අවුරැද්දේ මුතුරාජවෙල අභය භූමිය සම්බන්ධව තියෙන ගැසට් එකේ මේ ප්‍රදේශය පිළිබඳව සඳහන් වෙලා තියෙන්නෙ. ඒ වගේම 2000 අංක 46 දරන ගොවිජන සංවිධාන පනතේ යටතේ කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව කිසිදු තැනැත්තකු විසින් යම් කුඹුරු ඉඩම් ප්‍රමාණයක් ගොඩ කිරීම යම් කුඹුරු ඉඩම් ප්‍රමාණයක යම් ගොඩනැගිල්ලක් ඉදිකිරීම නොකළ යුතුය.යනුවෙන් සඳහන්.

මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරියේ නීතියේ කුඹුරු ඉඩම් නොවන ඉඩම් හා පහත් බිම් ගොඩකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මූලික අනුමැතිය ලබාගත යුතු අතර එම පනතේම සඳහන් වන පරිදි ජල දෝණි ප්‍රදේශවල සහ ගංවතුර බලපෑම් ඇති ප්‍රදේශවල ඉඩම් ගොඩකිරීමක් සිදු කරන්නේ නම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගත යුතුය. යනුවෙන් සඳහන් වේ.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අනිල් ලංකාපුර මෙසේද අදහස් දැක්වීය.

අපි කියන්නේ මුතුරාජවෙලට කුණු දමන්න එපා. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ පෞද්ගලික ඕන එපාකම් කියා මිනිසුන්ගේ ජීවිත බිලිගන්න එපා. මුතුරාජවෙල තවත් මීතොටමුල්ලක් කරන්න එපා

මේ අතර මෙම ස්ථානයට ගම්පහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් පිරිසක් පැමිණීමද සිදුවිය. කැළි කසළ දමා තිබූ එම භූමියට ගොස් විමර්ශනය මිල එම නිලධාරීන්ට ඒ අවට කිහිපදෙනෙකුගෙන් විවිධාකරයේ අදහස් හා චෝදනා එල්ල විය. කැළි කසළ බැහැර කර තිබූ ප්‍රදේශය ආවරණය කළ කොටස ඇතුළත ඉතා කුඩා නිවාස දෙකතුනක් දක්නට ලැබුණි. එම වැසියන් කිහිප දෙනකුගෙන් මධ්‍යම පරිසර අධිකාරිය නිලධාරීන්ට විවිධ චෝදනාද එල්ල විය. 

වගුරු බිමක් ගොඩ කිරීම සඳහා අනුමැතියක් ලබාගත යුතු වුවද මේ සඳහා අවශ්‍ය අනුමැතිය ඒ වෙනුවෙන් ඒ වනවිටත් ගෙන තිබුණේ නැත. මෙම ඉඩම් හිමිකරු ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති බවද එම ස්ථානයේ සිටි හිමිකරුට පක්ෂපාති තැනැත්තෙක් මධ්‍යම පරිසර අධිකාරි නිලධාරියන්ට පැවසීය. 

මේ සඳහා අවශ්‍ය ලිපි ලේඛන අපි ළඟ තියෙනවා. මේ පැත්තේ කවුරුවත් මේ පැත්තේ වතුර බොන්නේ නෑ. කවුරුවත් මේ කුණු ප්‍රශ්නයට මෙහෙම සහනයක් දෙන්නේ නැත්නම් කොහේද මේ කුණු දාන්නේ... මේ සඳහා සින්නක්කර ඔප්පු තියෙනවා. හැමතැනින්ම තහනම් නියෝග දැම්මට කොළඹ කුණු දාන්නේ කොහේද?

එම තැනැත්තා පරිසර අධිකාරි නිලධාරීන්ට තම අදහස් පැවසීය. 

විසි අට වෙනිදා ඉඳන් මේ දවස් හයට අපි මෙතනට ටිපර් එකසිය විස්සක් වගේ තමයි දැම්මේ. එහෙම කුණු දාලත් අපි ඒවා උඩින් පස් දැම්මා. ඔය ඉස්සරහ තියෙන කුණු උඩටත් පස් දාන්න තමයි හිතාගෙන හිටියේ. ඒ අතරනේ මේ තහනම් නියෝගය ආවේ. පස් දාන්න එන්නවත් ටිපර් වලට මිනිස්සු පාරේ ඉඩ දුන්නේ නැහැනේ. ඒකයි ඔය කුණු ටික ඉතිරි වුණේ. 

මධ්‍යම පරිසර අධිකාරි නිලධාරීන් පවසනුයේ තමන්ට හිතුමතේට එසේ කල නොහැකි අතර මේ සඳහා පහත් බිම් අධිකාරියෙන් අනුමැතිය ගෙන ගොඩකිරීමක් කළ යුතු බවය. පහත් බිමක් සංවර්ධනය කිරීමට අවශ්‍ය අනුමැතිය පළමුව ලබාගත යුතුය. 

ඔවුහු තම අදහස් විවිධාකාරයෙන් දැක්වූහ. නමුත් මේ සම්බන්ධ කිසිදු අවසරයක් මේ වෙද්දී ඔවුන් ගෙන තිබුණේ නැත. ඔවුන්ගේ අදහස වන්නේ මෙම භූමිය ගොඩකර මහෝගනී, තේක්ක ආදී පැළ මේ භූමියේ සිටවීමය. ඒ සඳහා අවශ්‍ය කරන පැළද මේ වනවිටත් ගෙන ඇති අතර මේ වෙද්දී එයින් පැළ කිහිපයක් එම භූමියේ පසෙක සිටවා ඇත. 

මේ සම්බන්ධව අපි එම ප්‍රදේශයේ ගම්වැසියකුගෙන්ද විමසීමක් කළෙමු. ඔහු නමින් නිරංජන්ය.

මේක ලොකු වාහන යන්න පුළුවන් පාරකුත් නෙවේ. ඒ ගිහිල්ලා අපේ ගෙවල්වල බිත්ති පුපුරලා. ඒ වාහන යද්දී ඔය පාරදිගේ පණුවෝ වැටෙනවා. ඒ තරමටම අපිරිසිදුයි. ඒවා ගිහින් දාන්නේ මුතුරාජවෙල වතුරට. ජල මූලාශ්‍ර වලින් වතුර කිසිම විදිහකින් ප්‍රයෝජනයට ගන්න බැරිවෙනවා. ගංවතුර කාලේදී අත්තනගලු ඔය වතුර බහින්නේ මේ ජාඇල ඇළෙන්. එතකොට මේ දෙපැත්තට පිටාර ගලලා වෙල්යායට හැමිල්ටන් ගඟ හරහා තමයි බහින්නේ. දැන් මේකෙන් අපිට වෙන විපාක වැඩියි. මේක ගැන බලධාරීන්ට කිව්වම කිසිම පිහිටක් ලැබුණේ නෑ. අන්තිමට අධිකරණයෙන් තමයි අපිට මේ තීරණය ලැබුණේ. මේ පළාතම ඩෙංගු තිබුණේ නෑ. ගිය මාසෙට ඉස්සෙල්ලා මාසේ බෝපිටිය ප්‍රදේශයේ දරුවෙක් නැතිවුණා. ඒ පැත්තටත් ඔය විදිහට කැළි කසළ දැම්මා. මේ ගෙවල්වල මැස්සෝ. කෑමක් උයාගන්නට තියාගන්න බෑ. මෙහෙම ගියොත් අපේ දරුවන්ට නෙට් එකක් ඇතුළට දාලා තමයි කන්න බොන්න දෙන්න වෙන්නේ. අපි පිරිසිදුව ඉඳලා අනුන්ගේ කුණු අපේ ඔළුවට ගෙනත් දැම්මා වගේ වැඩක් මේක.

මේ සම්බන්ධව මුතුරාජවෙල ප්‍රදේශයේ ජීවත් වූ අසංග මහතාද මෙසේ අදහස් දැක්වීය. 

ගොලු බිහිරි අන්ධ උන් තමයි ඔය ඉන්නේ. මෙච්චර කියලත් මුන්ට ඇහෙන්නේ නැහැනේ. අපි බොහෝම දුප්පත් මිනිස්සු. මුතුරාජවෙල කියන්නේ ගම් කිහිපයක් වටවුණු ප්‍රදේශයක්. වෑවල, පිලිපිටිය, බෝපිටිය, නුගපේ, තුඩැල්ල වගේ ගම් කීපයකින් වටවුණු ප්‍රදේශයක්. මේක ජනශුන්‍ය ප්‍රදේශයක් නෙවෙයි. හෙට අනිද්දා අපිට මොනවා වෙයිද දන්නෙ නෑ. ඒත් මේ පුංචි දරුවන්ට මේ වගේ තත්ත්වයක් නිසා අනාගත පරපුරක් ජීවත් වෙන මේ ගම්මානවලට මොකද වෙන්නේ. මේක කලපුවට සම්බන්ධයි. ධීවර ගැමියන් ඉන්නවා. අනාගතේදී මෙහෙම ගියොත් දරුවන්ට මේ පළාතෙන් මිරිදිය මත්ස්‍යයෙක්වත් හොයාගන්න බැරි වේවි. ගෙවල් පුපුරනවා. හරියට මුහුදක් මැද්දේ නතර කරලා තියෙන නැවක ඉන්නවා වගේ මේ ගෙවල් පැද්දෙනවා. මේක වැව් බන්ට් එකක්. එහෙම පාරක අරවගේ ලොකු වාහන යන්නේ කොහොමද?

මේ සම්බන්ධව විවිධාකාර අදහස් හුවමාරු වෙද්දී කැළි කසළ මෙම ස්ථානයට බැහැර කිරීමට පක්ෂපාතිව තවත් තැනැත්තෙක් මෙසේ අදහස් දැක්වීය. 

මේ වතුරේ මෙකෙක්වත් නෑ. අඩුම ගානේ කාවයියෙක්වත් නෑ. මේක ‍ෙපෟද්ගලික ඉඩමක්. මේක කොහොමද කියෙන්නේ අභය භූමියක් කියලා. මේකේ එහෙම කිසිම ගහක් වවන්න බෑ. මෙහෙම නිකන් තියෙන ඉඩම පිරෙව්වහම මොකද වෙන්නේ. මේ රට දියුණු වෙන්න ඕනේ නේද? අපි හැමදාම මෙහෙම ඉන්නද.. මේකේ කිඹුලෙක් නෑ. ඕනෙනම් ඔය කබරයෙක් ඉදීවි. රට දියුණුවෙන්න ඕන නැත්නම් හයිවේ කඩලා හැමෝම කරත්තේ යමු. 

එම තැනැත්තා මධ්‍යම පරිසර අධිකාරි නිලධාරීන්ට පැවසීය. 

ජූලි මස 20 වැනිදා තෙක් මුතුරාජවෙල ප්‍රදේශයට කැළි කසළ බැහැර කිරීමේ තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් වුවද ඉන් පසුව මුතුරාජවෙලත් මීතොමුල්ල තත්ත්වයට පත්වේද? එය අනාගතය විසින් තීරණය කෙරෙනු ඇත. 

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ | සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00