2017 මැයි 27 වන සෙනසුරාදා

ලංකාවටත් අා ලෝකේ භයානකම අයිස්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3141

ක්‍රිස්ටල් මෙත්... ලොව මිලෙන් වැඩිම මත්ද්‍රව්‍ය බව ප්‍රකටය. එය මෙරට දී අසුවන්නේ පළමු වතාවටය. ඒ සමඟ විදේශවලින් ආනයනය කොට ලංකාවේ සිදුකරන ක්‍රිස්ටල් මෙත් නොහොත් අයිස් ජාවාරම පිළිබඳව තොරතුරු එළියට ඇදුණේය.

ඉන්දියාවේ සිට ලංකාවට රැගෙන ආ ක්‍රිස්ටල් මෙත් ග්‍රෑම් 200ට අධික ප්‍රමාණයක් සමඟ ඒවා ගෙන ආ බවට සැක කෙරෙන ලාංකික කතුන් දෙදෙනකු වත්තල ඇළකන්ද ප්‍රදේශයේ දී කොටු කරගැනීමෙන් පසු ජාවාරමට සම්බන්ධ තවත් තොරතුරු රැසක් අනාවරණය කරගන්නට සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව තිබේ.

ක්‍රිස්ටල් මෙත් ලංකාවට තවමත් ආගන්තුකය. වෙනත් මත්ද්‍රව්‍ය තරමට ව්‍යාප්ත වී නැත. ලංකාවේ අයිස් නමින් හඳුන්වන මෙහි විද්‍යාත්මක නාමය Ethamphetamine නම් වේ. යුරෝපීය රටවල ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍යයක් වන මෙය කෘත්‍රිම නිෂ්පාදනයකි. වීදුරු කුඩු වැනි පෙනුමින් යුතු මේවා මෑතක දී ලංකාවට පැමිණ ඇතත් භාවිත වන්නේ කොළඹ, උණවටුන, හික්කඩුව සහ බේරුවල ප්‍රදේශවල බවට තොරතුරු වාර්තා වී ඇත.

ඉකුත් දා මෙරටදී වාර්තා වූ ක්‍රිස්ටල් මෙත් මත්ද්‍රව්‍ය විද්‍යාත්මක වශයෙන් මෙත්ඇම්පෙටමීන් ලෙස නිෂ්පාදනය කොට ඇත්තේ වර්ෂ 1893 දී බවට වාර්තා වේ. පසුව මේවා දෙවැනි ලෝක යුද සමයේ සොල්දාදුවන්ගේ ක්‍රියාශීලීත්වය නංවන උත්තේජකයක් වශයෙන් භාවිත කර ඇති බවද සඳහන්ය. මෙම මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් අධික ක්‍රියාශීලීත්වයක් ඇතිවන බවද සිරැර ශක්තිමත් ජවසම්පන්න බවකින් පිරෙන බවද දැඩි ආත්ම විශ්වාසයක් දැනෙන බවද කියති. එමෙන්ම සතුට හා ආත්ම විශ්වාසය පමණ ඉක්මවා දැනෙන බවත් කියති. මේවා ශරීරගතවූවන්ගේ හැසිරීම පමණ ඉක්මවූ කලබලකාරී ගතියක් පෙන්නුම් කරයි. මේ සියලු සැප සහ මත්බව තාවකාලිකය. නමුත් සෙසු මත්ද්‍රව්‍යවලට වඩා අයිස් වලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය අධික බව දැනගන්නට ලැබේ. මෙසේ තාවකාලික වින්දනයක් ලබාදෙන මත්ද්‍රව්‍ය මායාව වෙනත් මත්ද්‍රව්‍යයන්ට වඩා මිනිස් සිරුරට දරුණු හානි පමුණුවයි. අතිශය භයානකය.

දින දෙක තුනක් භාවිත කළ විට අයිස් වලට ඇබ්බැහි වීම සිදුවෙයි. එමඟින් පුද්ගලයකුගේ නින්ද අහිමි වීම, වමනය, හිසරදය, කෑම අරුචිය, මානසිකත්වය විකෘති වීම, සිරුරේ පටක විනාශය මෙන්ම හෘදයාබාධ වැළඳීමේ අවදානම පවතී. පටක විනාශ වීම හරහා සිරුර ක්ෂය වීම, මුඛය විකෘති වීම, දත් ගැලවී වැටීමේ සිට මොළයට හානිකර සිදුවීම් රැසක් සිදුවන මාරක මත්ද්‍රව්‍යයක් වශයෙන් ක්‍රිස්ටල් මෙත් ප්‍රසිද්ධය. සෙසු මත්ද්‍රව්‍යවලට වඩා ක්‍රිස්ටල් මෙත් මගින් සිදුවන සමාජ හානිය බරපතළය.

දරුණු ආබාධ රාශියකට මඟකියන අයිස් වල මත්ගතිය අධිකය. මේ හේතුව නිසා බොහෝ පිරිස් ඊට ඇබ්බැහි වන බව කියති. එහි මත් බව පැය 12ක් තරම් පවතින බවද සඳහන්ය. අයිස් බරපතළ ලෙස ව්‍යාප්ත වීමට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ එය ක්‍රම කීපයකට භාවිත කිරීමට හැකි නිසා බව කියති. ඒ අනුව එන්නත් කිරීම, ගිලීම හෝ දුම් වශයෙන් භාවිත වන බව සඳහන්ය.
වාර්තා වන ආකාරයට ලොව පුරා මිලියන 26කට අධික පිරිසක් ක්‍රිස්ටල් මෙත්වලට ඇබ්බැහි වී සිටිති. ඔවුනට මුහුණ දීමට සිදුව ඇත්තේ කායික හෝ මානසික වශයෙන් නැවත ගොඩ ඒමට නොහැකි තත්ත්වයකටය. ඔවුන්ට සිරුර පාවෙන බව දැනීම, තමාට අධික කාය බලයක් ඇතැයි දැනීම සහ මායාකාරී දර්ශන පෙනීම ආදිය මානසික වශයෙන් උදාවන ගැටලුය. එමෙන්ම මළබද්ධය, ශරීරය වෙව්ලීම, දත් හා ඇටකටු දිරායාම සහ අවයව විකෘති වීම කායික වශයෙන් සිදුවන බරපතළ හානි අතර වෙයි.

ලංකාවේදී ක්‍රිස්ටල් මෙත් ග්‍රෑම් එකක් රුපියල් 7000 – 10,000ත් අතර මිලකට අලෙවි කෙරේ. මෙරට ඇතැම් ධනවත් තරුණ තරුණියන් අතර භාවිත කෙරෙන එය රාත්‍රී සමාජ ශාලා, බීච් පාටි සහ රාත්‍රී සාදවලද, ඇතැම් ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව ද අලෙවි කෙරෙන බවට වාර්තා වේ. හෘදයට දැඩි අවදානම් සහිත මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන මෙරට තරුණ තරුණියන් සාදවලදී පැය ගණනක් එකදිගට නර්තනයේ යෙදෙති. මෙරට ජාවාරම සිදුකරන ඇතැම් පිරිස් කොළඹ නගරයේ මහල් නිවාසවල ඉහළ මාලයන් පූර්ණ වශයෙන් වෙන්කරවාගෙන සති අන්තයේ දී සාද පවත්වා එහිදී ක්‍රිස්ටල් මෙත් අලෙවි කරන බවද හෙළි වී ඇත.

ක්‍රිස්ටල් මෙත් ජාවාරම පිළිබඳව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට තොරතුරක් ලැබී තිබුණේ පසුගිය අලුත් අවුරුදු සමයේදීය. එතැන් සිට එහි නිලධාරියෙක් රහසිගත ලෙස වෙස්වලාගනිමින් අදාළ ස්ථානවල ගැවසෙමින් තොරතුරැ අනාවරණය කරගැනීමට සමත් විය. ඒ අනුව ජාවාරමේ නිරත සගයකු හඳුනාගත් නිලධාරියා මෙරට ජාවාරම්කරුවකු හරහා මත්ද්‍රව්‍ය ගෙන්වන දිනය තෙක් රැකවල්ලා සිට ඇත. ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ලාංකික කාන්තාවක් පිළිබඳව නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණි. ඔවුන් පසුපස හඹාගිය සුරාබදු නිලධාරීහු වත්තල ඇළකන්ද බලගල ප්‍රදේශය දක්වා ගොස් සැකසහිත කාන්තාව පරීක්ෂාවට ලක් කළහ. එහිදී ඇය පවසා සිටියේ තමා ඉන්දියාවෙන් නිමිඇඳුම් ගෙන්වා අලෙවි කරන බවත්, ඉන්දියාවට යන විට පැළඳ යන රත්රන් අලෙවි කර ඒ මුදලින් රෙදි රැගෙන එන බවත්ය. තවදුරටත් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූයේ ඉන්දියාවේ සිටින පුද්ගලයකු ඇයට කළු පැහැති ගුලියක් ලංකාවට රැගෙන ඒමට දෙන බවත්, එය ලංකාවේ දී වෙනත් අයකුට බාරදිය යුතු බවත්ය. ඒ වෙනුවෙන් ඇයට රුපියල් 40,000ක මුදලක් ලැබෙන බවද කියා තිබිණි. අනතුරුව ඔවුන් ඒවා ග්‍රෑම් 1 සහ ග්‍රෑම් ½ වශයෙන් අසුරා අලෙවි කරන බවද පවසා ඇත.
මොවුන් මුලදී තොරතුරු සඟවා පලා යාමට උත්සාහ කළේ කිසිවක් නොදන්නා අයුරිනි. එහිදී ඔවුන් කියා තිබුණේ රත්තරන් බව සිතමින් ඒවා රැගෙන ආ බවය. දෙවනුවට කියා ඇත්තේ ගංජා යැයි සිතමින් රැගෙන ආ බවකි. කෙසේ නමුත් කලක සිට සූක්ෂ්ම අයුරින් ජාවාරමේ නිරත කාන්තාව සම්බන්ධයෙන් හෙළිකරගත් තොරතුරු මත ඇයගේ තවත් හිතවතියක් ඇළකන්ද බලගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත් වූහ. ගුවන්තොටුපළ පරිශ්‍රයෙන් නිරුපද්‍රිතව තමන්ට පිටව යාමට අවශ්‍ය නිසා ක්‍රිස්ටල් මෙත් උපත් පාලන කොපුවල අසුරා සිය සිරුරේ රහස් ප්‍රදේශයේ සඟවාගෙන ආ බවද ඔවුන් පවසා තිබුණි.

ක්‍රිස්ටල් මෙත් ලොව භයානකම මත්ද්‍රව්‍යයක් වශයෙන් සැලකෙන අතර ලංකාවේ ඊට එරෙහි නීතියද බරපතළය. ළඟ තබාගැනීම හෝ අලෙවිය පිළිබඳ වරදකරැ වන්නේ නම් එය ඇප ලබාදිය නොහැකි තරම් දරුණු වරදකි. අවම වශයෙන් වසර 10ත් 15ත් අතර සිරදඬුවම් නියම කිරීමටද එය ප්‍රමාණවත්ය.

අතිරේක සුරාබදු කොමසාරිස් ඒ. බෝදලගම, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අපරාධ) එන්.බී. වනිගසූරිය, සුරාබදු අධිකාරී චන්න වීරක්කොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන සුරාබදු පරීක්ෂක ජී.එන්. හේමන්ත, සුරාබදු පරීක්ෂක හිරාන් ලහිරු ඩයස්, නියාමකවරුන් වන ධනංජය පුෂ්පකුමාර, උපාලි වෙත්තසිංහ, කාන්තා නියාමික නිර්මලා විජේසුන්දර සහ රියැදුරු අමල් සේනක යන අය වැටලීමට දායක වූහ.


 සමන්ත ප්‍රදීප් විල්තෙර