2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

වැට උඩට යන 19 වැනි ව්‍යවස්ථාව

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 172

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවූයේ 1972 වසරේදීය. කෙසේවෙතත් ඉන් වසර හයකට පමණ පසුව 1978 වසරේදී දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය. මේ වන විට 1978 වසරේ දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන 19 ක් හඳුන්වා දී ඇති අතර එම සියල්ලම මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

දැනට වසර කිහිපයකට පෙර සිට ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් දේශපාලන ක්‍රමයක් පිළිබඳ කතිකාවක් ගොඩනැගෙමින් පවතින අතර පුළුල් බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය සීමා කිරීමට හෝ අහෝසි කිරීමට දේශපාලනික වශයෙන් සහ සිවිල් සමාජය වෙතින් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී. මේ අතර 2015 වසරේ මැයි මස සම්මත වූ 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ඇතැමුන්ගේ ප්‍රසාදයටත් ඇතැමුන්ගේ අප්‍රසාදයටත් හේතු වී තිබේ. එම සංශෝධනයෙහි අපැහැදිලි තැන් ද බොහොමයක් දක්නට ලැබෙන බවට මත පළ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය
1972 වසරේ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවීමෙන් පසු පළමුවැනි සංශෝධනය 1978 සිදු කරන ලද්දේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා යටතේය.
දෙවැනි සංශෝධනය 1979 දීත්, තෙවැනි හා සිව්වැනි සංශෝධන 1982 දීත් සිදුවිය.

1983 දී පස්වැනි, හයවැනි හා හත්වැනි සංශෝධන සිදුවිය.

අටවැනි හා නවවැනි ව්‍යවස්ථා සංශෝධන සිදු කරන ලද්දේ 1984 වසරේදීය.

1986 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දසවැනි සංශෝධනය සිදු කරන ලද අතර, 1987 වසරේදී එකොළොස්වැනි සංශෝධනය සිදු කෙරිණි.

දොළොස්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවූ අතර, ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 1987 දී හඳුන්වා දෙනු ලැබීය.

1988 වසරේදී දාහතර, පහළොව සහ දහසය වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක විය.

එවකට විධායක ජනාධිපති ධූරය හිමිව තිබූ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග යටතේ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 වසරේදී සිදු කෙරිණි.

එම සංශෝධන බල රහිත කරමින් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2010 වසරේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක විය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගෙන ගිය පසුගිය යහපාලන ආණ්ඩුව විසිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පූර්ණ බලතල හිමිවන්නේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට වන අතර, ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කළ හැකි ක්‍රම දෙකක් පිළිබඳව එහි සඳහන් වී තිබේ.

පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතර අනුමැතිය මත ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකිවීම ඉන් පළමුවැන්න වන අතර, දෙවැන්නට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර අනුමැතියට අමතරව ජනමත විචාරණයක් ද සිදුකළ යුතුය. විශේෂයෙන්ම ජාතික වැදගත්කමින් යුතු කාරණා ජනමත විචාරණයක් සඳහා යොමු කෙරේ.

කෙසේවෙතත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසමත්වූවක් යැයි ද පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලැබුණුහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබිණි. මෙම 19 වැනි සංශෝධනය ගෙන ඒමට පියවර ගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක් බැවින් එය අහෝසි කළ යුතු බවත් ඉදිරි ජනපතිවරණයේ කවුරු බලයට පැමිණියත් 19 වැනි සංශෝධනය ඉවත් කර රටේ ස්ථාවරය ගොඩනැගිය යුතු බවත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමින් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

මේ වන විට මෙරට තුළ බලාත්මක වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුද? නැද්ද? යන්න පිළිබඳව දේශයේ අපි වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක මැති ඇමැතිවරැන්ගෙන් විමසීමක් කළෙමු.

වැරදි වෙලා තිබෙනවා නම් ඒවා හදාගත යුතුයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අපි තවම සාකච්ඡා කරලා නැහැ. නමුත් අපගේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු තිබේ නම් ඒ පිළිබඳව ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන්න සූදානම්. ආණ්ඩුව ඒ සඳහා අපිට ආරාධනා කළොත් අපි එය පිළිගන්නවා. ඒ වගේම 19 වැනි සංශෝධනයේ විධායකයත්, ව්‍යවස්ථාදායකයත් අතර තිබෙන ප්‍රශ්න කිහිපයක් මගහරවා ගැනීම සඳහා ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීමට අපි පියවර කිහිපයක් අරගෙන තිබුණා. කොහොම වුණත් අපේ නායකතුමා පෙන්වා දී තිබූ පරිදි විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සමතුලිතභාවයක් තිබීම වැදගත්. අපි 19 වැනි සංශෝධනය හරහා එම සමතුලිතභාවය බිඳවැටී ඇත්නම් එය නිවැරදි කරගත යුතුයි. මොකද, එය ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය දෙයක් විදියට තමයි අපි දකින්නෙ.

මේ ව්‍යවස්ථාව සංශෝධනය විය යුතුයි
වීරකුමාර දිසානායක - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක - අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

මේ 19 වැනි සංශෝධනය ගෙනාවේ මූලිකවම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. නමුත් මේකේ විසඳා නොගත් ගැටලු තියෙනවා. ජනාධිපතිවරයාට බලය නැති, අගමැතිවරයාත් හිරවුණු දෙයක් මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ තියෙනවා. අපි පසුගිය කාලය පුරාවටම එය දැක්කා. ජනාධිපතිතුමා බලයට පත්වූ මුල් පැයේදීම මෙය ඉවත් කළ යුතුයි. ඒ වගේම තමයි රාජකාරි කටයුතු සිදු කරගෙන යද්දී මෙය එම නිලධාරීන්ට බලපානවා. කොහොමත් මෙම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා.

දෙමළ සන්ධානයේ තාම තීරණයක් නෑ
අන්නමලෙයි නඩේසු සිවශක්ති - දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

තාම දෙමළ ජාතික සන්ධානය මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කරල නැහැ. අපගේ සන්ධාන නියෝජිතයන් එකතුවෙලා ඒ පිළිබඳව තීරණයක් ගනියි කියලා හිතනවා. කෙසේවෙතත් 19 වැනි සංශෝධනයෙන් පසුව ඇතිවුණු යම් යම් සිදුවීම් ගැන අපගේ එතරම් පැහැදීමක් නැති බවත් කියන්න ඕන.

තුනෙන් දෙකක් ලැබුණොත් මුලින්ම ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුයි
වාසුදේව නානායක්කාර - රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය

අපේ පොදුජන පෙර මුණේ ප්‍රතිපත්තිය ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ ඉඳලා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට පරිවර්තනය වීමයි. එයට ගන්නා වූ එක පියවරක් වශයෙන් තමයි ඔය 19 වැනි සංශෝධනය ගනු ලැබුවේ. ඒ නිසා අපහසුතාවයක් හා නොයෙක් බාධක මතුවෙන්න පුළුවන්. නමුත් මූලික ප්‍රතිපත්තිමය අරමුණ ජනාධිපති ආණ්ඩුක්‍රමයක ඉඳන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට පරිවර්තනය වීම සහ විධායක බලයත් පාර්ලිමේන්තුව අතටම ගැනීම. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අදහස් මොනවද කියල මම දන්නෙ නෑ. ඒ පිළිබඳව සමහරවිට එතුමාගේ අදහසත් අපට එකතු කර ගන්නත් පුළුවන් වේවි. ඒවා අපි කතා කළ යුතු දේවල්. තුනෙන් දෙකක බලයක් අපට ලබන ඡන්දයෙන් පසුව ලැබෙනවා නම් පළමුවෙන්ම කරන්න ඕන දේ තමයි ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. ඒක ඔක්කොටම වඩා ලොකු අවශ්‍යතාවයක්. මේ ඡන්ද ක්‍රමය තුළ මහජනයාගේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් වෙලා තියෙනවා.

19 සංශෝධනය අපට බොහෝ වටිනවා
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න තමයි මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආවේ. මෙම 19 වැනි සංශෝධනය ආයේ පාරක් සංශෝධනය කළහොත් අපි තවත් පස්සට යනවා. ඒ නිසා වර්තමාන ආණ්ඩුව කළ යුත්තේ මෙය තවත් ශක්තිමත් කිරීමයි. දැන් තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අපි ගොඩනැගුවේ 19 තුළින්. රටක් විදිහට තමයි මේ කාරණාව දිහා අපි බලන්න ඕන. එහෙම නැතුව පෞද්ගලික වාසි ගන්න නෙවෙයි. මේ රටට ජනතාවට 19 වැනි සංශෝධනය ගොඩක් වටිනවා. ඒ නිසා නැවත එය සංශෝධනය කළ යුතුයි කියන මතයේ මම නැහැ.

ඒකාධිපති ජනාධිපති වෙනස් වුණේ 19න්
එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල

ඇත්තටම කියන්න ඕන මේ 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනාවේ 18 වැනි සංශෝධනයේ තිබුණු ඒකාධිපති ස්වරෑපය වෙනස් කරන්න. එවකට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් එය සම්මත වුණා. විධායකය අහෝසි කරනවා කියලා බලයට පැමිණි අය 18 වැනි සංශෝධනය තුළින් විධායක ජනාධිපති ධූරය සඳහා තුන්වැනි වරටත් තරග කළ හැකි බවට වෙනස් කර ගත්තා. මේකද දෙනවා කියපු ප්‍රජාතන්ත්‍රවාදය? මේ සියල්ල වෙනස් වුණා. 19 වැනි සංශෝධනය ගෙනාවම ස්වාධීන කොමිෂන් සභා ඇතිවුණා. රටට මෙතෙක් කලක් ඕනෑවෙලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය මේ 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් සිදු වුණා.

පසුගිය ජනාධිපතිවරණයෙන්ම එය අපි දැක්කා. දැන් රටේ කතාබහක් ඇතිවෙලා තියෙනවා නැවත වාරයක් තුනෙන් දෙකක බලයක් ලැබුණොත් මේ 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කරනවා කියලා. මට නම් හිතෙන්නේ එහෙම කරලා නැවත 18 වැනි සංශෝධනයට යන්න තමයි මොවුන් මේ උත්සාහ කරන්නේ. දැන් මේ ආණ්ඩුව කියන්නේ 19 වැනි සංශෝධනය අවහිරයි කියලා. මොනවද මේ සංශෝධනයෙන් වෙනස් වෙන්න ඕන කියලා. එහෙම වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා. නමුත් අපි කොහොමත් කියන්නේ නැහැ මේ 19 වැනි සංශෝධනය අහෝසි කරන්න සහාය දෙනවා කියලා. අපි කියන්නේ මේකෙ අඩුපාඩු තියෙනවා නම් ඒ පිළිබඳ සලකා බලා කටයුතු කරනවා කියන කාරණාව.

කාලයක් ගියාමයි ඇත්ත වැටහුණේ
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න

19 වැනි සංශෝධනය ගෙන එන විට පක්ෂයක් හැටියට අපි එකඟ වුණා. නමුත් කාලයක් යද්දී තමයි මේකෙ තත්ත්වය තේරැම් ගියේ. පහුගිය කාලය පුරාවටම මේ සංශෝධනයේ තිබුණු තත්ත්වය අප දුටුවා. පහුගිය ආණ්ඩුව පඹ ගාලකයි පැටලී තිබුණේ මේ තත්ත්වය එක්ක. ඒ නිසා මේ 19 වැනි සංශෝධනය වෙනස් විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. යහපාලන රජය යටතේ ජනපතිවරයා එක පැත්තක, අගමැතිවරයා තවත් පැත්තක තිබුණේ මේ ප්‍රශ්නය නිසා. ඒ නිසා රටේ ජනතාවත් බොහොමයක් අර්බුදවලට මුහුණ දුන්නා. සමහරුන් කියනවා අඩුපාඩු තියෙනවා කියලා. අඩුපාඩු රාශියක් මේ තුළ තිබෙනවා. ඒ නිසා එජාපයේ ඇතැම් මැති ඇමැතිවරුන් පවා මේ 19 වැනි සංශෝධනයට විරුද්ධයි. අනිවාර්යයෙන්ම මෙය සංශෝධනය විය යුතුයි කියන මතයේ තමයි ඉන්නේ.

හසිත් අංජන