2019 ජුනි 22 වන සෙනසුරාදා

ඩ්‍රෝන ගිලන්රථ අපේ රටටත්

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 173

21/4 පාස්කු බෝම්බ ප්‍රහාරය අපේ රටේ  ක්ෂේත්‍ර කිහිපයකම ඇති අඩුපාඩු ගැන මතක් කර දීමට සමත් විය. සෞඛ්‍ය අංශයේ කාර්යක්ෂම කළ යුතු අංග කිහිපයක් ගැනද මෙහිදී අවධානය යොමු විය. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා එම අවස්ථාවේ මතුවූ ප්‍රායෝගික දුෂ්කරතාවන් පාලනය සඳහා නූතන තාක්ෂණය යොදා ගතහැකි අයුරු පැහැදිලි කරන්නට කටයුතු කළේද ඒ අනුවය. එදා එම අවස්ථාවේ දිවයිනේ රෝහල් කිහිපයකටම හදිසියේ රුධිරය සහ එන්නත් ආදිය අවශ්‍ය වූ බවත්, එවැනි අවස්ථාවකදී ඉක්මනින් රුධිරය, ඖෂධ සහ එන්නත් ආදිය සැපයීමට ඩ්‍රෝන තාක්ෂණය යොදාගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. අපේ රටට තාමත් අමුතු වුවත් ඩ්‍රෝන තාක්ෂණය දැන් ලෝකයේ විවිධ පොදු කටයුතු සඳහා භාවිතා වේ. අපි දන්නෙ ආරක්ෂණ කටයුතු, ඔත්තු බැලීමේ හෝ යුදමය ප්‍රහාර වැනි දේසඳහා ඩ්‍රෝන යොදාගන්නා බවය. නමුත් ලෝකය පුරා සෞඛ්‍ය අවශ්‍යතා සැපයීම ප්‍රමුඛ ජනහිතකාමී කටයුතු රැසක් සඳහා මෙම තාක්ෂණය භාවිතා වෙයි. 

වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පෙන්වා දෙන්නේ කොළඹින් බැහැර බොහෝ දුෂ්කර පළාත්වල හදිසි රෝගීන්ට අවශ්‍ය වන රුධිරය සහ එන්නත් ආදිය දිවයිනේ ප්‍රධාන රෝහල් වෙතින් සැපයීමේදී විශාල කාලයක් ගතවන බවයි. එලෙස ගතවන අගනා කාලය රෝගියාගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක සාධකයක් වන බව ඔහු කියයි.  දිවයිනේ බොහෝ රෝහල් වෙත ඇතැම් හදිසි ඖෂධ වර්ග, එන්නත්, රුධිරය සහ යන්ත්‍ර සූත්‍ර පවා මධ්‍යම ගබඩාවේ සිට ප්‍රවාහනය කෙරෙන්නේ සාමාන්‍ය මාර්ග පද්ධතිය ඔස්සේ වන අතර එම ප්‍රවාහනය කිරීමේදී මාර්ග තදබදය සහ දුර ප්‍රමාණය ආදී විවිධ සාධක මත ගතවන කාලය තීරණය වෙයි. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සිය අත්දැකීම් ඔස්සේ අදහස් දැක්වූ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේ සාමාන්‍යයෙන් හෘද රෝගියෙකුගේ ජීවිතය බේරාගැනීම පළමු පැය හෝ දෙක තුළ කෙරෙන හදිසි ප්‍රතිකාර මත තීරණය වන බවයි. දිවයිනේ පහසුකම් අඩු රෝහල්වලට ඇතුළත් වන හෘද රෝගීන් සඳහා අවශ්‍ය හදිසි ප්‍රතිකාර සඳහා වන සෞඛ්‍ය පහසුකම් සැපයීමේදී ප්‍රායෝගිකව වෛද්‍යවරු මෙම ගැටලුවට මුහුණ දෙන බව හෙතෙම අවධාරණය කර ඇත.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමේ ඇති වාසි පිළිබඳව වෛද්‍යවරයා පෙන්වා දෙයි. ඔහුට අනුව මෙම තාක්ෂණය යොදාගනිමින් ඉතා කඩිනමින් පැයක් හෝ දෙකක් තුළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පිහිටි රෝහලක් වෙත එන්නත්, රුධිරය වැනි දේ සැපයීමේ හැකියාව ඇත. රුවන්ඩාව සහ ඝානා වැනි රටවල අති සාර්ථක අන්දමින් සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඩ්‍රෝන භාවිත වන බව වෛද්‍යවරයා නිදසුනක් ලෙස පෙන්වා දෙයි. එම රටවල මිලියන 22 කට අධික පිරිසකට ක්ෂණිකව රුධිරය, එන්නත් හා හදිසි ඖෂධ සැපයීම සාර්ථක ලෙස මේ වනවිටත් සිදුකෙරේ. මෙම ක්‍රියාවලිය හේතුවෙන් මේ වනවිට රැවන්ඩාව හිඟයකින් තොරව ඖෂධ සපයන සහ කල් ඉකුත් වීමට තරම් ඖෂධ ඉතිරි නොවන එකම රට බවට පත්ව ඇති බවද හෙතෙම අවධාරණය කළේය. එම ඩ්‍රෝන මඟින් කිලෝ 2ක පමණ බර ප්‍රමාණයක් පහසුවෙන් රැගෙන යා හැකි බවත් පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් ඒවා රුගෙන යාමේ හැකියාව ඇති බවත් වෛද්‍යවරයා දක්වා ඇත. ශ්‍රී ලංකාවේද වර්තමානයේදී වනාන්තර විනාශය, විවිධ ව්‍යාපෘතින්වල පාරිසරික බලපෑම, අලි මිනිස් ගැටුම ආදී තත්ත්වයන් නිරීක්ෂණය කිරීම ඉතා සාර්ථක ලෙස ඩ්‍රෝන තාක්ෂණය භාවිත වන බවත් ඒ ආකාරයට සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහාද එම තාක්ෂණය යොදාගත හැකි බවත් වෛද්‍යවරයා අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජනගහනය වර්ධනය වන වේගයට සමගාමීව සෞඛ්‍ය පහසුකම් නැංවිය යුතුව ඇති අතර ඒ සඳහා රෝහල් ඉදිකිරීම, රෝහල්වල පහසුකම් නැංවීම අත්‍යවශ්‍ය ඖෂධ නිසි අවස්ථාවට සැපයීම වැනි අභියෝගාත්මක කරුණු රැසක් රජය හමුවේ ඇති අතර එහිදී මෙවැනි නව සංකල්ප භාවිතය මගින් ඉතා පහසුවෙන් එම අභියෝග ජයගැනීමට හැකියාව ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

මේ වනවිට ලෝකයේ ප්‍රධාන පළෛ් රටවල් 17ක තැපැල් කටයුතු සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඩ්‍රෝන යොදා ගනියි. වෛද්‍යාධාර සහ සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරන මෙන්ම ඒසඳහා මුලික අවධානය යොමුකර ඇති රටවල් 13ක්ද වේ. අප්‍රිකානු උපසහරානු රටවල් අලුතෙන් මේ තාක්ෂණය උපයෝගී කරගන්නට කටයුතු කරමින් සිටිනා රටවල්ය. අමෙරිකාව, චීනය, ඕස්ට්‍රෙලියාව, සිංගප්පුරුව, ප්‍රංශය මෙන්ම ස්වීට්සර්ලන්තය, ෆින්ලන්තය, අයිස්ලන්තයද මේ තාක්ෂණය උපයෝගී කරගත් ප්‍රමුඛයෝය. නමුත් දැන් අලුතෙන් සිය රටවලට මේ තාක්ෂණය හඳූන්වාදීමට පෙළඹී සිටින ඩුබායි, ජර්මනිය සහ කැනඩාව ඉතා ඉක්මනින්ම මේ අංශයේ මුල්තැන ගන්නා ලකුණු පහළ වී තිබේ. නිදසුනක් ලෙස කැනඩාව සිය රටේ වඩාත් දුෂ්කර ප්‍රදේශ වෙත භාණ්ඩ ප්‍රවාහනය මගින් වසරකට කැනේඩියානු ඩොලර් මිලියන 2.5ක ලාභ උපයා තිබේ. ඉදිරි වසර කිහිපයේදි තවත් දුෂ්කර ප්‍රදේශ 200කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කර ගැනීමට ඔවුන් අරමුණු කර සිටී. ඉන්දුනීසියාව සහ ජපානයද මේ වනවිට ඩ්‍රෝන ප්‍රවාහන කටයුතු අරඹා තිබේ. දකුණු කොරියාව සිය දුෂ්කර පළාත්වලට ලිපි බෙදීම සඳහා 2021 ඩ්‍රෝන භාවිතයට ගැනීමට අවශ්‍ය මුල් පියවර සකසමින් සිටී. ඉතියෝපියාව, ඝානාව, රුවන්ඩා සහ මලාවි රාජ්‍යවල සෞඛ්‍ය ආධාර ප්‍රවාහනයට මෙම ක්‍රමය වඩාත් සාර්ථකව යොදාගන ඇත. අපේ අසල්වැසි ඉන්දියාවද මේ වසරේ මුල රට පුරා භාණ්ඩ ප්‍රවාහනයට ඩ්‍රෝන යොදා ගත හැකි ආකාරය ගැන සොයා බැලීමේ ශක්‍යතා අධ්‍යයනයක් ඇරුඹීය. තායිලන්තයද එම වැඩේටම අත ගැසුවේ මෙම පෙබරවාරියේදීය. ටැන්සානියාව සියරට තුළ  ඖෂධ බෙදාහරින්නට ලෝකයේ විශාලතම ඩ්‍රෝන ප්‍රවාහන සේවාව යොදාගන්නා රට ලෙසට තමන්ව හඳුන්වා දෙයි. වනාටු රාජ්ජය ඈත දුෂ්කර දූපත්වල වෙසෙන දරුවන්ගේ ජීවිත රැකදෙන එන්නත් ප්‍රවාහන කටයුතු සඳහා 2018 සිට මෙම ක්‍රමය සාර්ථකව යොදා ගනියි.

ඩ්‍රෝන ගිලන් රථ සේවාව හෙවත් Ambulance Drone  මේ තාක්ෂණය යොදාගන්නා අලුත්ම සේවාවයි. හදිසි අවස්ථාවකදී ඇමතුමක් ලද සැණින් සිද්ධිය වූ ස්ථානයට මූලික ඖෂධ සහ ප්‍රථමාධාර කට්ටල රුගෙන එන ඩ්‍රෝන සේවාව මෙනමින් හැඳින්වේ. හදවත් රෝගීන්ගේ දිවි බේරාදෙන defibrillator හෙවත් විදුලි කම්පන ලබාදෙන උපරණයක්, ශ්වසනාධාර, එන්නත්, ඖෂධ මෙන්ම වෛද්‍ය උපදෙස් සපයන ඇමතුම් කට්ටලයක් සහ විඩීයෝ පහසුකම්ද මෙහි අන්තර්ගතය. මේ නිසා හදිසි අවස්ථාවකදී පලපුරදු වෛද්‍ය කණ්ඩායමකට සිද්ධිය වූ ස්ථානයට ළඟා නොවී වුවද රෝගියා නිරීක්ෂණය කර වෛද්‍ය උපදෙස් ලබාදිය හැකිය. රැවන්ඩාවේ මේ තාක්ෂණය පලදායි ලෙස යොදාගන තිබේ. රැධිර සාම්පල ප්‍රවාහනය සඳහා මේ තාක්ෂණය බහුලව යොදාගනී. අනතුර වු ස්ථානයට විනාඩි 15-45ක් වැනි කාලයකදී වෛද්‍ය ආධාර රුගෙන කඳු හෙල් වනගහන ප්‍රපාත වැනි දුෂ්කර ස්ථාන වෙත ගමන් කිරීමට මෙම ඩ්‍රෝන යානා සමත් බව සනාථ වී තිබේ.

 සුගත්

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00