2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

කෝටි 5100ක බදු මකර කටේ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31 233

I චමිඳු නිසල් ද සිල්වා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් කෝටි 5.100ක බදු ආදායමක් පසුගිය මුදල් වර්ෂයේ දී අහිමි වී ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම හා දෙපාර්තමේන්තුවේ පරිපාලන දෝෂ බව දේශීය ආදායම් ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මෙලෙස අහිමි වී ඇති බදු ආදායමට බදු ගෙවන්නන් විසින් ආදායම් ඇස්තමේන්තු අනුව නොගෙවූ බදු හා ආදායම් සැඟවීම මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පනවනු ලැබූ බදුද ඇතුළත්ය. තවද ඉහත බදු නොගෙවීම හේතුවෙන් පනවනු ලැබූ දඩ මුදල්ද ඊට ඇතුළත් වෙයි.

දේශීය ආදායම් පනතේ ඇතුළත් බලතල ක්‍රියාත්මක කරයි නම් බදු ආදායම අහිමිවීම වළක්වා ගැනීමේ හැකියාවක් පවතින බවද දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. දැනට සියයට 5.5ත් 6ත් අතර පවතින රාජ්‍ය බදු ආදායම අපේක්ෂිත ලෙස සියයට 18ක් දක්වා වැඩිකරගත හැක්කේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හා පරිපාලන දුර්වලතා මගහරවා ගැනීමෙන් බව මෙහිදී අවධාරණය කෙරිණි.