2019 ජුලි 06 වන සෙනසුරාදා

ඇවන්ගාඩ් ලොක්කෝ අත්අඩංගුවට ගන්න නීතිපති නියෝග

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 207

ගයාන් ගාල්ලගේ l

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවට අදාළ නඩුවේදී ගිනිඅවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත වැරදි ලෙස භාවිතය, කුමන්ත්‍රණය සහ කූඨ ලේඛන සැකසීම ආදී චෝදනා ගණනාවක් මත ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනෙක්  වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා රහස් පොලීසියට නියෝග කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකාරක අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය දේශයට පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇත්තේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු, කරුණාරත්න එගොඩවෙල, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.ඩී. ප්‍රේමචන්ද්‍ර, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, රක්නා ලංකා සමාගමේ සභාපතිව සිටි වික්ටර් සමරවීර, නාවික හමුදා විශ්‍රාමික කොමදෝරු නන්දන දියබලනගේ යන මහත්ම මහත්මීන්ය.

මෙයින් බොරු සාක්ෂි ගෙතීම, කූඨ ලේඛන සැකසීම යන චෝදනා එල්ල වී ඇත්තේ නිශ්ශංක සේනාධිපති, සමන් දිසානායක සහ පී.ඩී. ප්‍රේමචන්ද්‍ර යන අයවලුන්ට එරෙහිවය.

ඒ අතර (දේශය)ට වාර්තා වන විශ්වාසදායක තොරතුරකට අනුව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ නන්දන දියබලනගේ යන මහත්වරු නීතිපතිවරයාගේ නියෝගය ලැබීමට පෙර හදිසියේ විදේශගත වී සිටිති.