2019 මැයි 18 වන සෙනසුරාදා

දෙව්ලොව ගිය ත්‍රස්තයා

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 239

කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ට, නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි යෝජනාවක් සිරිලංකාවේ පාර්ලිමේන්තුවෙන්ම යෝජනාවන්නට යාමේ පුවත අපේ මිතුරු සමාජය තුළද ඇති කළේ මහත් ප්‍රසාදයකි. සුපුරුදු පරිදිම ඒ පිළිබඳ නොයෙක් අදහස් උදහස්ද හුවමාරු වුණි.

“හැබැයි, අපරාදෙ පාර්ලිමේන්තුවෙ කෙනෙක්ටම ගන්ඩ තිබුණු චාන්ස් එකනෙ අපතේ හැරියෙ.”

“ජනාධිපතිතුමා හොලිඩේ ට්‍රිප් එක ගියේ නැත්තං ෂුවර් එකටම ගන්නවා.”

“ඒක වෙන්නෙ නෑ. එතුමට කවුරුත් ඕවා කියන්නෙ නෑනෙ.”

“ඒ වුණාට එතුමා ෆේස්බුක් බලන හින්දා දැන ගනීවි.”

“එතකොට ටූ ලේට්...”

“එහෙනං වෙන කාටද....? අගමැතිතුමාට?”

“නැ... ඒක හරියන්නෙ නෑ. එතුමට ආරක්ෂක මණ්ඩලේවත් කැඳවගන්ඩ බැරිලුනේ.”

“විපක්ෂනායකතුමාට...?”

“එතුමා යුද්දෙ දිනලත්, සාම තෑග්ග දුන්නෙ නෑ. එතුමට විරුද්ධව බටහිර කුමන්ත්‍රණ තියෙනවා.”

“එතකොට, නොබෙල් සාම තෑග්ගට යෝජනා කරන්න සුදුසු කිසිම කෙනෙක් නැද්ද පාර්ලිමේන්තුවෙ?”

“නැති හින්දනෙ කාදිනල්තුමාව යෝජනා කළේ!”

“එතකොට, සිරිලංකාවේ සාමය ගැන සැබෑ කැපවීමක් ඇති වෙන කිසිම කෙනෙක් නැද්ද?”

“නොබෙල් කමිටුවටත් ඔය ප්‍රශ්නෙ ඇති. නැත්තම් පහුගිය කාලෙ ලංකාවේ සාමය ගැන කතා කරපු කී දෙනෙක් නම් හිටියද? ආයතන කොච්චර තිබුණද?”

“සාමය, සහජීවනය ගැන කවි, සින්දු, කතන්දර ලියපු සිංහල කවියෝ, ලේඛකයෝ කොච්චර ඉන්නවද.... ඒ අයගෙන් කෙනෙක්ට නොබෙල් තෑග්ගට යෝජනා කරන්න බැරිද?”

“පිස්සු කතා කරනවද? තල් වැට ළඟ මීනල, තංගම්මල ගැන, මොට්ටැක්කිලි දා ගත්තු ෆාතිමාලා ගැන ලියපු කියපු සින්දු කාටවත් ඇහිලා නෑ. ඒවා ඇහුනනම් මෙහෙම දේවල් වෙයිද?”

“ඒ ගොල්ලන්ට ඇහෙන්න ඇත්තේ, “කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටනු”වගේ සින්දු වෙන්නැති.”

මිත්‍ර සභාවෙන් සියුම් සිනාවක් නැගුණි. ඉන්පසු කතාව වෙනතකට පෙරුළුණි.

“කාදිනල්තුමාට, තාවකාලිකව හරි ජනාධිපතිකම දෙන්න කියල සමහරු මාධ්‍යයට කියලා තිබුණ...”

“අපොයි, ජනාධිපතිතුමා ඒකට කැමැති වෙන එකක් නෑ...”

“ඇයි? එතකොට වගකීම කාදිනල්ට දීලා, ටිකක් රිලැක්ස් එකේ ඉන්ට බැරියැ... මොරගහකන්ද පැත්තෙහෙම ගිහින්...”

“නෑ... නැ.... කාදිනල්තුමාට දුන්නොත්, ඊට පස්සෙ අනිත් ආගමික නායකයොත් තාවකාලික ජනාධිපතිකම ඉල්ලන්ට ගනී....”

“ඒක හොඳයිනෙ, සිරිලංකාවේ ආගමික සහජීවනය ලෝකෙට පෙන්වන්න...”

“ඒක හරි භයානකයි. බැරිවෙලාවත් තව්හිද් ජමාද් මවුලවි කෙනෙක්ට ජනාධිපතිකම ගියොත් මොකද වෙන්නෙ?”

“ඉතින් හොඳයිනෙ. මුළු සිරිලංකාවම ස්වර්ගෙට ගෙනියයි....” සමහරු ඒ කතාවට සිනාසුණහ. එහෙත් කීප දෙනෙක් රවා බැලූහ.

“මේක මෝඩ ජෝක්ස් දාන වෙලාවක් නෙවෙයි. ඕවා හොඳයි ෆේස්බුක් එකේ පිනුම් ගහන මෝඩයින්ට.” මිත්‍ර සභාව මොහොතකට නිහඬ විය.

සවස්වරුවේ, කාර්යාලයේ පුස්තකාලයට ගිය මම පරණ සඟරා මිටියක් ගෙන පෙරළා බලන්නට වීමි. එහි එක් සඟරාවක හමුදා විහිළු තීරයකි. තවත් සඟරාවක දිව්‍ය ලෝක විහිළුය. තව සඟරාවක පිටුවක් පුරා අරාබි සහ අයි.එස්. විහිළු කතාය.

අපගේ ‘හී සරය’ උපහාසය නමැති දුන්නෙන් විදෙන්නක් බැවින්, ඉන් එකක් දෙකක්, එහාට මෙහාට කර හෝ සිරි ලාංකික කර ඉදිරිපත් කිරීමට සිතුවෙමි.

පිටේ බෝම්බයක් බැඳගත් අයි.එස්. ත්‍රස්තවාදියෙක්, සිරියාවට ආසන්න මුහුදු තීරයේ ගමන් කරමින් සිටියදී, හදිසියේ ආ විශාල රළ පහරකට හසු වී, මුහුද මැදට ගසාගෙන ගියේය. ඒ මොහොතේ ගමන් කරමින් තිබූ බෝට්ටුවක සිටි ධීවරයෙක් ඔහු ගලවා ගැනීමට ඉදිරිපත් විය. එහෙත් අයි.එස්. ත්‍රස්තයා එය ප්‍රතික්ෂේප කළේය.
“එපා... එපා.... දෙවියන් වහන්සේ මාව බේරගනීවි...” ධීවර බෝට්ටුව පසෙකට ගමන් කළේය.

ඊට මොහොතකට පසු, එතැනින් යමින් තිබූ නෞකාවක කප්පිත්තා, ත්‍රස්තයාගේ දිවි රැකදීමට සැරසුණේය.

“ඕනෑ නෑ. මට දෙවියන් වහන්සේ උදව් කරාවි.” නැවද ඉවතට යාත්‍රා කළේය.

ඊළඟ මොහොතේ, පිට බැඳි බෝම්බයත් සමඟින් ත්‍රස්තවාදියා මුහුදේ ගිලී මළේය. නරකාදියට යන අතරමගදී, කෙටි විරාමයකදී ඔහුට දෙවියන්වහන්සේ දක්නට ලැබුණි.

“අනේ දෙවියන් වහන්ස... මම ඔබවහන්සේ වෙනුවෙන් දිවි නසා ගැනීමට පවා සූදානම්ව හිටපු කෙනෙක්. ඇයි මාව බේරගත්තෙ නැත්තෙ?” අයි.එස්. ත්‍රස්තයා, දෝෂාරෝපණය කළේය.

දෙවියන් වහන්සේ, සරදම් සිනාවක් පාමින් මෙසේ කීවේය.

“මෝඩයා! මං තමුසෙට බෝට්ටුවකුයි, නැවකුයි දෙකක්ම එව්වා. ඒවයෙ නැග්ගෙ නැතුවට මං පලිද?”

...............................................
ස්වර්ග රාජ්‍යයට අලුතින් පැමිණි පුද්ගලයකු දැක ගැනීමට විශාල දෙව් පිරිසක් රැස්ව සිටිනු දැක මවිතයට පත්, එහි වැඩම කර සිටි පූජකතුමෙක්, දෙවියන්ගේ මාධ්‍ය ප්‍රකාශක හමුව ඒ ගැන ප්‍රශ්න කළේය.

“කවුද ඒ අමුත්තා? මොකද මේ තරම් සෙනඟ?”

“මිනිහා අයි.එස්. කාරයෙක්.... ඒ වගේ ත්‍රස්තයො ස්වර්ගෙට එන්නෙ කලාතුරකින්නෙ. ඒකයි, ඔය සෙනඟ...”

“ඉතින් දෙවියනේ, අයි.එස්. කාරයෙක් ස්වර්ගෙට එන්න මොකක්ද කරපු පුණ්‍යකර්මය?”

“මිනිහ මරාගෙන මැරිල තියෙන්නෙ, දේශපාලනඥයො දෙසීය ගාණකුත් එක්ක!”

දෙවියන් වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශක සිනාව මැඬගෙන පිළිතුරු දුන්නේය.

► කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00