2024 මැයි 04 වන සෙනසුරාදා

රස්සා කරන්නට නොව රස්සා දෙන්නට දරුවන්ට උගන්වමු

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 165

 කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම 

කර්මාන්ත අමාත්‍යංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ස්ථාපිත කරනු ලැබූ "පාසල් ව්‍යවසායකත්ව කව" වැඩසටහන පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබේ. ඊට හේතු වී ඇත්තේ ව්‍යවසායකත්වය පිළිබඳ පාසල් දරුවන් කෙරෙන් පිළිබිඹු වන්නට පටන්ගෙන ඇති උනන්දුවයි.

මෙවන් තත්ත්වයක් යටතේ මෙම ව්‍යාපෘතියේ අරමුණු සහ ඉලක්ක පිළිබඳව සංවාදයක් සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සරංග අලහප්පෙරුම මහතාව අපි සම්බන්ධ කර ගතිමු.

අප සංවාදය ආරම්භ කළේ මෙවන් වූ ව්‍යාපෘතියක් නිර්මාණය කිරීමට හේතු වූ සාධක විග්‍රහ කර ගනිමිනි.

“අපේ රට පසුගිය කාලයේ බරපතළ විදියට ආර්ථික අර්බුදයට මුහුණ දීමට විවිධ හේතු සාධක තිබුණා. අපිට නොපෙනුණු, අපි අවධානය යොමු නොකරපු කාරණාවක් තමයි අපේ රටේ ව්‍යවසායකයන්ගේ ප්‍රමාණය අඩුවීම. අපේ රටේ ශ්‍රම බලකායෙන් ව්‍යවසායකයන් ඉන්නෙ සියයට 2.8 ක්. ඒක ඉන්දියාවේ 14% ක්, බංගලාදේශයේ 11% ක්, වියට්නාමයේ 19% ක්, තායිලන්තයේ 28.5 ක් විතර වෙනවා. ඇත්තෙන්ම ව්‍යවසායකයෝ අඩු රටක ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කරන්න බැහැ."
පරම්පරා ගණනාවක සිට අප රටේ දරුවන්ට වැඩිහිටි පරම්පරාව විසින් පවසා ඇත්තේ හොඳ රස්සාවක් කිරීමට හොඳින් ඉගෙන ගත යුතු බවයි. ඒත් මේ වන විට හොඳ රස්සා කිරීමට හොඳින් ඉගෙන වැඩිහිටියන් බවට පත්වුණු දරුවන්ට පවා රුකියා ලබාදීමට ව්‍යවසායකයන් ප්‍රමාණවත් පරිදි රට තුළ නොමැත.

“අද අපිට රස්සා දෙන අය ඉන්නෙ කොරියාවේ හෝ මැදපෙරදිග හෝ ලෝකයේ වෙනත් තැනක. ඒ රටවල්වල රුකියා ලබා දෙන්නෙ ආණ්ඩු නෙවෙයි, ඒ රටවල්වල ජීවත්වෙන ව්‍යවසායකයෝ. ඔවුන් එහෙම කරන්නෙත් තමන්ගේ ශ්‍රම බලකායට රුකියා ලබා දීලා අවසන් වෙලා."

කෙසේ නමුත් මේ වන විට අප රටක් ලෙස අපේ ශ්‍රම බලකායටවත් රුකියා ලබාදීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටියි. මෙවන් වටපිටාවක් තුළ 2030 වනවිට අවම වශයෙන් රටේ ශ්‍රම බලකායෙන් 10% ක පමණ හෝ ව්‍යවසායකයන් නිර්මාණය කර ගැනීමේ අරමුණින් "පාසල් ව්‍යවසායකත්ව කව" ව්‍යාපෘතියට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රවේශය ලබාගෙන ඇත.

“ව්‍යවසායකත්වය පිළිබඳ වැඩිහිටියන්ගේ අවධානය යොමු කිරීමත් වැදගත්. නමුත් ඊටත් වඩා මෙම තත්ත්වය නිවැරදි කරන්න පුළුවන් දරුවන් එක්ක, පාසල් එක්ක එකතු වෙලා. කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන්ගෙ සංකල්පයකට අනුව  පාසල් ව්‍යවසායකත්ව කව වැඩසටහන 2023 වසරේ ජූනි 27 අපි ආරම්භ කළා. මේ හරහා අපි දරුවන්ට ප්‍රේෂණය කරමින් ඉන්නවා රස්සා කරන්න නෙවෙයි, රස්සා දෙන්න ඉගෙනගමු සංකල්පය."

ඒ අනුව මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරන්නේ අනාගතයේදී රට තුළ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමයි. ඒ අනුව මෙම වැඩසටහන දිවයින පුරා පාසල් හාරසීයකට වැඩි ප්‍රමාණයක මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. දරුවන් දොළොස් දහසකට අධික ප්‍රමාණයක් ඉතා කැමැත්තෙන් මීට සම්බන්ධ වී සිටිති.

“අපි මේ දරුවන්ට අවශ්‍ය දැනුම, පෙළඹවීම, අවශ්‍ය ක්‍රියාකාරකම් ලබා දෙනවා. ඒ වගේම ව්‍යවසායකත්වය පිළිබඳව උනන්දුව දක්වන දරුවන්ට පදක්කම් ලබාදීමේ වැඩසටහනකුත් මාර්තු මාසයේදී අපි ආරම්භ කළා. අපේ අපේක්ෂාව ව්‍යවසායකත්ව සංස්කෘතියක් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම."

අතීතයේ සිටම පාසල් තුළ වෙළෙඳපොළ ක්‍රමය පිළිබඳ දරුවන් දැනුවත් කිරීමට පොළවල්, අලෙවිකරණ වැඩසටහන් ආදිය විටින් විට සංවිධානය වී තිබේ. කෙසේ නමුත් මෙම නව ව්‍යවසායකත්ව සංස්කෘතිය නිර්මාණය වීමත් සමඟ තමන්ගේ මුල් නිෂ්පාදන අලෙවිකරණයට ඉතා කෙටි කාලයක් තුළ පාසල් දරුවන් දියුණු වී ඇත. තමන්ගේම නිෂ්පාදන සිදුකරන දරුවන්, කුඩා කර්මාන්ත ආරම්භ කරනු ලැබූ දරුවන් පිළිබඳ තොරතුරු රුසක් මේ වන විටත් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන පාසල් තුළින් අප වෙත වාර්තා වෙමින් තිබේ.

“අපි පුහුණුව ලබාදීමත් සමඟ පාසල් තුළ දරුවන් විවිධ නිෂ්පාදන සිදු කරමින් විකුණන්න පටන්ගෙන තිබෙනවා. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරපු ප්‍රදර්ශනවල පවා දරුවන් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කරමින් අලෙවි කළා. මේ වෙනකොටත් තමන්ගේම ව්‍යාපාර ආරම්භ කරපු දරුවන්, සිය නිෂ්පාදන අපනයනය කරන දරුවන් පාසල් තුළ අපිට හමුවෙනවා."

මෙරට රුකියා ලබාදෙන ප්‍රධානතම ව්‍යවසායකයා බවට පත්ව සිටියේ රජයයි. එහෙත් පවතින ආර්ථික වටපිටාව තුළ තවදුරටත් රුකියා උත්පාදනය කිරීමේ ශක්‍යතාව රජය සතුද යන්න ගැටලුවකි. එම නිසාම ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් රුකියා ලබාදෙන නව ව්‍යවසාය පරපුරක් රට තුළ නිර්මාණය විය යුතුමය. සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසගේ උත්සාහය ඒ සඳහා අවශ්‍ය ව්‍යවසායකත්ව සංස්කෘතිය පාසල තුළින්ම නිර්මාණය කිරීමයි.

පාසල් හැරයාමත් සමඟ මෙම ව්‍යවසායකත්වය ප්‍රිය කරන දරුවන් අත නොහැර ඔවුන් දිරිගන්වමින්, ආරක්ෂා කරමින් ඉදිරියට රුගෙන යාමේ වගකීමද මෙම ව්‍යාපෘතිය පවරාගෙන තිබීම අගය කළ යුතුය. 

“අපි කර්මාන්ත සංවර්ධන අරමුදල ආරම්භ කරලා තියෙනවා. අපි මේ දරුවන්ගේ සාර්ථක ව්‍යාපෘති සඳහා සියයට හයක පොලියට ණය ලබාදීම කරනවා. පසුගියදා සිදුකෙරුණු පදක්කම් ප්‍රදානයට සමගාමීව, ආරම්භයක් විදිහට දරුවන් දෙදෙනෙක්ට එම ණය ලබාදීමටත් අපි කටයුතු කළා. ඊට අමතරව මේ දරුවන් පාසලෙන් ඉවත් වීමත් සමඟ ඔවුන්ට අවශ්‍ය වන තාක්ෂණය, වෙළෙඳපොළ සියල්ලම සම්බන්ධීකරණය කර දීමේ වගකීමත් අපි දරනවා."

ඉදිරි වසර දෙක තුළ දිවයින පුරා පාසල් 5000ක මෙම ව්‍යාපෘතිය සාර්ථකව කිරීමේ අපේක්ෂාව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම මහතා තුළ පවතී. ඒ සඳහා මේ වන විටත් දිවයිනේ පාසල් රුසක් තමන්ගේ උනන්දුව කැමැත්ත ප්‍රදර්ශනය කර තිබේ.

“තව වසර තුන හතරකින් මෙම දරුවන් පාසල්වලින් එළියට ආ පසු රට තුළ ව්‍යවසායකත්වයේ පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා."
සැබැවින්ම පාසල් ව්‍යවසායකත්ව කව යනු බලාපොරොත්තු සහගත ජාතික වැඩසටහනකි. මෙම වැඩසටහනේ සාර්ථකත්වය ඉඳුරාම අප දිවයිනේ අනාගතය තීරණය කිරීමේ ප්‍රමුඛ සාධකයක් වනු ඇත.