2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

පියපුතු සුසංයෝගයෙන් ඉතිහාසගත කළ කංචන බතික්

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 80

අප ඉඳහිට යුග කිහිපයක සිට පැවතුණු ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ගේ අතීත වර්තමාන කතා එකිනෙක ගලපා බලනවා. නව ව්‍යවසායකයන්ට එම කතා පුවත් හරහා විශාල දැනුමක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අද කතාවත් එවන් වූ ව්‍යාපාරයක් පිළිබඳවයි.

අද වන විට මේ ව්‍යාපාරය හැඳින්වෙන්නෙ kanchana batik and handicraft යන නාමයෙන්. බතික් ගැන ඇල්මක් තියෙන හැමෝම දන්නවා කංචන බතික් කියන්නෙ ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රමුඛ පෙළේ සන්නාමයක්. 1969 ආරම්භ වුණු මේ ව්‍යාපාරය දැන් මෙහෙයවන්නෙ ප්‍රදීප් කංචන ගජනායක මහත්මා විසින්. වැඩිදුර තොරතුරු දැනකියා ගන්න අපි ඔහු හා සංවාදයක් ඇතිකර ගත්තා.

“1969 දී මගේ පියා තමා ව්‍යාපාර නිර්මාණය කරලා තියෙන්නෙ. මගේ පියා ඒ කාලේ වැඩ කරමින් ඉඳලා තියෙනවා කොළඹ රාජකීය විද්‍යාලයේ ආර්ට් මාස්ටර් කෙනෙක් එක්ක. ඔහු ඉන්දුනීසියාවෙන් ආපු බතික් සම්බන්ධ පොත් කිහිපයක් ගෙනත් දීලා. ඒ පොත්පත් බලාගෙන මේ දෙන්නා උත්සාහ කරලා තියෙනවා මේ කටයුත්ත කරන්න. පසුව නාවල කොස්වත්තෙ මේ අය ව්‍යාපාරය ආරම්භ කරලා."

කංචන බතික් ගොඩනැගූ යූ.පී. විමලසේන මහතා ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය ආරම්භ කිරීමට පුරෝගාමී වූ ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිප දෙනා අතරින් කෙනෙක්. ඉතාමත් තීරණාත්මක කාල පරාසයක අභියෝග රැසක් හමුවේ ක්‍රමයෙන් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න විමලසේන මහතා සමත්වෙලා තියෙනවා.

“ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන කලාභූෂණ සම්මානය බතික් වෙනුවෙන් ලැබූ පළමුවෙනියා බවට පත්වුණේ මගේ පියා. ඔහු ජනාධිපති සම්මාන, විශ්මකර්ම සම්මාන ඇතුළු සම්මාන රුසකට හිමිකම් කියනවා. පසුගිය වසරවලදීත් ව්‍යාපාරයක් විදිහට අපි විවිධ ඇගයුම්වලට පාත්‍ර වුණා."

ශ්‍රී ලංකාවේ චිර ප්‍රසිද්ධ බතික් සන්නාමයක් වූ කංචන බතික් ඉතිහාසය පුරාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ට, විදේශීය රාජ්‍ය නායකයන්ට සිය සේවාව සපයා තිබෙනවා. අදටත් දේශපාලනඥයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු රටේ ප්‍රමුඛ පෙළේ බොහෝ දෙනකුගේ තේරීම කංචන බතික්. 

“තාත්තා ව්‍යාපාරය ආරම්භ කරද්දි කංචන බතික් කියන නම යොදලා තියෙන්නේ තාත්තාගේ සහ අම්මගේ නම්වල අකුරු එකතු කරලා. මම ඉපදුණාට පස්සේ මට යොදල තියෙන්නෙ ව්‍යාපාරයේ නම." 

කෙසේ වෙතත් අධ්‍යාපනය අතහැරීමෙන් පසු පවුලේ ව්‍යාපාරය බාරගනු වෙනුවට වෙනත් රැකියාවක් තෝරා ගැනීමට කංචන ගජනායක මහතා කටයුතු කර තිබෙනවා. හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ඇතුළු ඇතුළු රැකියා කිහිපයක්ම කළත් ඒ කිසිවකින් ඔහුට තෘප්තිමත් වෙන්න හැකිවෙලා නෑ. 

“බතික් කර්මාන්තය කියන්නේ බොහොම වෙහෙස මහන්සිවෙලා කරන්න ඕනෑ කර්මාන්තයක්. මේ කර්මාන්තයත් එක්ක මගේ පියා ඇතුළු පිරිස අධික වෙහෙසකින් වැඩ කරන විදිය මම දැක්කා. ඒ නිසාම මේ ව්‍යාපාරය බාරගන්න මට මුලදී ලොකු කැමැත්තක් තිබුණෙ නෑ."

පවුලේ අයගෙන්ද බලකිරීමක් නොවූ නිසාවෙන් වෙනත් රැකියාවක නිරත වුණු  කංචන ගජනායක අවසානයේ අවබෝධ කොටගෙන තිබුණේ තමන්ගේම ව්‍යාපාරයක් සිදු කිරීම වඩාත් සුව පහසු බවයි. වෙනත් කෙනකු යටතේ වැඩ කිරීම වෙනුවට පියාගේ ව්‍යාපාරය සමඟ එකතු වීමට ඔහු තීරණය කළේ ඒ අනුවයි.

“මම ව්‍යාපාරයට එන්නේ 2000 වගේ. ඒ වෙනකොට ලංකාවේ බතික් කර්මාන්තය තිබුණේ පීක් එකේ. ඒ වගේම ඉතාම ඉහළ ප්‍රමිතියක් මේ කර්මාන්තය ඇතුළෙ තිබුණා. ශ්‍රී ලංකාවේ සංචාරය කරපු විදේශිකයන්ගෙන් බතික්වලට ඉහළ ඉල්ලුමක් තිබුණා. අපේ ප්‍රමිතිය තමා ඒකට ලොකුම හේතුව බවට පත්වුණේ."

කංචන ගජනායක මෙම කර්මාන්තයට උරදීමට පටන්ගත් යුගය බතික් කර්මාන්ත විෂයට අභියෝග රැසක් මතු වූ යුගයක්. ඒත් කිසිවිටක ඉන් පසුබට නොවූ ඔහු සිය පියාගේ අඩි පාරේ යමින් ව්‍යාපාරය ක්‍රමිකව වර්ධනය කරන්න කටයුතු කළා. ඒ අතර සමස්ත කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ජාතික වශයෙන් විශාල මෙහෙවරක් කරන්නත් ඔහු ඉදිරිපත් වුණා.

“මේ කර්මාන්තය අද විෂයයක් විදියට උගන්වන තත්ත්වයට අපි අරගත්තා. අධ්‍යාපන අමාත්‍යාංශය එක්ක එකතුවෙලා විෂය නිර්දේශ පවා සකස් කළා. මේ අතර මට අවස්ථාවක් ලැබුණා රටේ ජනාධිපතිවරයා හමුවෙලා මේ කර්මාන්තය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. පසුකාලීනව බතික් අමාත්‍යංශයක් පවා නිර්මාණය වෙන්න අපි සිදු කළ මැදිහත්වීම් හේතු වුණා."

ඉහළම තත්ත්වයේ බතික් නිර්මාණ සිදුකරන අතර ඉහළම තත්ත්වයේ බතික් නිර්මාණකරණය පිළිබඳ  පුහුණුවක් ලබා දෙන ආයතනයක් බවට දැන් කංචන බතික් ඇන්ඩ් හෑන්ඩ්ක්‍රාෆ්ට් පත්වෙලා තියෙනවා.

“මට ඇමෙරිකානු තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධවෙලා කර්මාන්තය සම්බන්ධ උපදේශකයෙක් විදිහට වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. එහිදී ඇමෙරිකානු තානාපතිතුමිය ඇමෙරිකානු වෙළෙඳපොළට අපේ බතික් අරගෙන යන්න අපිට අවස්ථාව හදලා දුන්නා. අපි අපනයනය ආරම්භ කරලා තියෙනවා. යුරෝපයේ රටවල්වලටත් කුඩා ප්‍රමාණයෙන් අපනයනය සිදුවෙනවා."

තම පියා සමඟ එකතු වී වැඩ කළ විශ්වාසදායක පාරිභෝගිකයන් පිරිසත්, පියා සමඟ එක්වී කර්මාන්තයේ නිරත වූ අත්දැකීම් සහිත ශිල්පීනුත් මෙම ව්‍යාපාරයේ දියුණුව සඳහා විශාල දායකත්වයක් සැපයූ බව කංචන ගජනායක මහතා සඳහන් කරනවා. මේ වන විටත් 35 කට අධික සේවක සංඛ්‍යාවක් මේ ව්‍යාපාරය තුළ රුඳෙනවා. ඔහු සඳහන් කරන ආකාරයට ව්‍යාපාරයේ ශක්තිය තමා මේ පිරිස.

“මම දැන් කාලයක ඉඳන් බතික් උගන්වන ගුරුවරයෙක් විදියටත් වැඩ කරනවා. ඒ වගේම අපි දිගින් දිගටම කර්මාන්තයේ ප්‍රමිතිය ආරක්ෂා කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. ප්‍රින්ටට් බතික් ආගමනයත් එක්ක කර්මාන්තය ඇතුළේ විශාල ගැටලු නිර්මාණය වුණා. ඇත්තෙන්ම දැන් ප්‍රමිතිය සම්බන්ධවත් ගැටලු තියෙනවා. අපි උත්සාහ කරන්නේ මේ කර්මාන්තය ආරක්ෂා කරමින් දියුණු කරන්න."

කංචන බතික් ගොඩනැගූ යූ.පී. විමලසේන මහතා මේ වනවිට විශ්‍රාම සුවයෙන් කටයුතු කරනවා. එහෙත් දැනටත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නිර්මාණ  සඳහා අසූ වියැති ඔහු දක්වන්නේ සුවිශේෂී දායකත්වයක්. සමස්තයක් ලෙස යුග දෙකක් කරා ගමන් කරන කංචන බතික් කර්මාන්තය ශිල්ප කලාව පදනම් කරගත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්ත සලකුණක්.