2019 මාර්තු 09 වන සෙනසුරාදා

ජනාධිපතිතුමාට ඡන්දය දීපු අපේ අය ඉන්නෙ හිතේ අමාරුවෙන්

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 74

• මහින්ද මහත්තය ජනාධිපතිකම නැති කරන්නෙ එයාට තරග කරන්න බැරි නිසා

• වාහන බදු දැම්මේ රටට හොඳ වාහන ජනප්‍රිය කරන්නයි

• පෞද්ගලික අංශයටත් සහන මල්ලක් දෙනවා

• රාජපක්ෂ ආණ්ඩු කාලේ ණයකාරයයි සාක්කිකාරයයි දෙන්නම නැතිවුණා

• රාජපක්ෂ ආණ්ඩුව අයවැය පොරොන්දුත් කඩකළා

• කුඩු අහුවෙන්නෙ අපේ වැඩපිළිවෙළ නිසයි

රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර

පසුගියදා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා විසින් අයවැය ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයට අනුව මෙය මොන වගේ අයවැයක්ද?

හැම ක්ෂේත්‍රයකටම සහන දුන්න අයවැයක්. රටේ ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න තියෙද්දී රටේ සංවර්ධනය සඳහා වැඩිපුර මුදල් යොදවපු අයවැයක් මේක. විශේෂයෙන් සඳහන් කරන්න ඕන රජයේ සේවකයින්ට පඩි වැඩි කළා. මේ ආණ්ඩුව පිහිටෙව්ව දවසේ ඉඳන් අද වෙනකොට රජයේ සේවකයින්ට පඩි දෙගුණ වෙලා තියෙනවා. ඒ වගේම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවයට බිලියන 12ක් වගේ මුදලක් වෙන්කරලා තියෙනවා. හිතන්න සමෘද්ධිය විතරක් ලක්ෂ 6කට අලුතින් දෙන්න තීන්දු කරලා. තරැණයන්ට තරුණියන්ට නිවසක් හදාගන්න ඒ සිහිනයට අතදෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අධ්‍යාපනයටයි, සෞඛ්‍යයටයි ඉතිහාසයේ වැඩියෙන්ම මුදල් වෙන්කරලා තියෙන්නේ. ඒ නිසා වැඩියෙන්ම සහන දුන්න අයවැයක්.

ඔබ ඔහොම කිව්වාට විපක්ෂයෙන් චෝදනා එන්නේ මෙය සම්පූර්ණයෙන් ජනතාව මුලා කිරීමේ අයවැයක් කියලයි?

ඔය පොහොට්ටුවේ අයට කියන්න දෙයක් නැතිවුණාම කියන දේවල්නේ. ඒ ගැන වැඩිය හිතන්න නරකයි. අපට අහන්න තියෙන්නේ පොහොට්ටුවේ අයගෙන් වැරැද්ද තියෙන්නේ කොතැනද කියලයි.

ඔබ කිව්වා විශාල ජයග්‍රහණයක් කියලා සමෘද්ධිලාභීන් වැඩි කිරීම. ඇත්තටම සමෘද්ධි ලාභීන් වැඩි කිරීමෙන් පේන්නේ දුප්පත්කම වැඩිවෙලා බව නේද?

ඒකට හේතුව වෙලා තියෙන්නේ පසුගිය ආණ්ඩු කාලය පුරාම සමෘද්ධි ව්‍යාපාරය දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරලා තිබුණා. නමුත් සමෘද්ධිය ලැබිය යුතු පිරිසක් සිටියා. උදාහරණයක් ලෙසට මොණරාගල, මන්නාරම, පුදුකුඩුඉරිප්පු වගේ රටේ විහිදිලා තිබුණ ගම් ප්‍රදේශ තිබුණා සමෘද්ධි නොලබා. ඒ අයට සමෘද්ධිය දෙන්නයි අසාධාරණයට ලක්වෙලා තිබුණු අයට සමෘද්ධිය දෙන්නයි මේක වැඩි කළේ.

යහපාලන ආණ්ඩුව පටන් ගත්තේ වැස්සේ නොතෙමී යන්න පුළුවන් විදිහේ රෝද හතරේ වාහනයක් ගන්න ඉඩ සලසනවා කියලා. හැබැයි ආපු හැම අයවැයකින්ම වාහන මිල ඉහළ නැංවූවා. වැඩේ කතාවට විතරයි නේද?

අපි ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහනවල මිල අඩු කළා. අපිට උවමනා කරන්නේ පරිසරයට ගැලපෙන පරිසරයට හානියක් නොවන විදිහේ ප්‍රවාහන පද්ධතියක් රට තුළ හදන එක. ඒක නිසා තමයි ඔය ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් වාහනවල මිල අඩු කළේ.

එතකොට පැට්‍රල් ඩීසල් වාහනයක් ගන්න එක හොඳ නැද්ද?

මෙහෙමනෙ. අනාගතේ පෙට්‍රල් ඩීසල් වාහන නැතිවෙනවා. ලෝකෙම දැන් ක්‍රමානුකූලව හැරෙමින් යන්නේ. ඉතින් ඇයි අපි ආපස්සට යන්නේ. ඉස්සරහට යනවා මිසක්.

මෙවර අයවැයෙන් රාජ්‍ය අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමුකළා. හැබැයි පෞද්ගලික අංශයේ පිරිස් ගැන එහෙම අවධානයක් නැහැ. ඇයි ඒ?

එහෙම නෑනේ. අපි පෞද්ගලික අංශයේ කට්ටියටත් සහන මල්ලක් දෙනවානේ. අපි පෞද්ගලික අංශයේ අයගේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න, නිවසක් හදාගන්න වගේ දේවල් සඳහා විශාල අත්වැලක් ලබාදීලා තියෙන්නේ. හිතන්නකෝ සහන පොලියට දෙන ණය කොච්චරද කියලා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා කියපු දෙයක් තමයි මේ අයවැය කොළේ වහලා ගැහිල්ලක් කියලා. ඇත්තටම එහෙම නේද?

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේම කළේ ඔය එතුමා කියන කොළේ වහලා ගැහිල්ල. ජනතා සහන දෙනවා කියලා කළේ බඩු මිල වැඩිකරපු එක. විශේෂයෙන් අපේ රජයේදී තමයි උද්ධමනය අඩු වුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ණය වුණේ ගන්න මිනිහා විතරක් නෙමෙයි. එය අත්සන් කරපු සාක්කිකාරයොත් ණයකාරයෝ වුණා.

විශේෂයෙන්ම මේ අයවැය බලද්දි බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි අයවැය ක්‍රියාත්මක කරන්න භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවද කියන එක?

රටක පාලනය ගෙනියන්න නම් තියෙන මිනිහාගෙන් අරගන්න ඕන. අරගෙන නැති මිනිහාට අතේ බෙදෙන්න ඕන. අපි බදු ආදායම වැඩිකරලා තියෙන්නේ. ඒ වගේම අපනයන ආදායම වැඩිකරලා තියෙන්නේ. ඒ අපේ රජයේ ප්‍රතිපත්ති නිසා. ඒ දේවල්වලින් තමයි ආණ්ඩුව අරගෙන යන්නේ. විශේෂයෙන් දකුණු ආසියාවේ අඩුම බදු ගහන රට අපේ රට. අපනයන ආදායම අඩුම රට අපේ රට. ඒ නිසයි මේ වගේ අයවැයක් ඉදිරිපත් කරන්න හැකිවුණේ.

දැන් ඔබ කියනවා ඉහළින් ඉන්න අයගෙන් තමයි බදු අය කරගන්න ඕන කියලා. හැබැයි ඒවා කඩා වැටෙන්නේ දුප්පත් මිනිහාගේ හිසට නේද?

එහෙම වෙන්නේ නැහැ. මේ රටේ බදු ගෙවන්න ඕන බොහෝ දෙනෙක් ඉන්නවා බදු නොගෙවන. අපි දැන් බදු ෆයිල් හැමකෙනාටම විවෘත කරමින් යනවා. ඒ නිසා බදු ආදායමක් ගන්නේ නැතිව කොහොමද රටක් දුවන්නේ. නැත්නම් සාක්කුවෙන් දාලා දුවන්නයැ.

ඔබලාගේ ආණ්ඩුව ආපුදා ඉඳන් කීවේ ඍජු බදු වැඩි කරනවා මිසක් වක්‍ර බදු වැඩකරන්නේ නැහැ කියලා?

අපි ඍජු බද්ද විතරක් නෙමෙයි වක්‍ර බදුත් වැඩිකරලයි තියෙන්නේ. අපි අලුත් ආණ්ඩුවකට යන ගමන් ඉන්නේ. ඒ නිසා දෙපැත්තට අදිනවා. බලමු මොකද වෙන්නේ කියලා.

තව පිරිසක් කියනවා මේ අයවැය ඉදිරියේ මැතිවරණය පෙනි පෙනී ඉදිරිපත් කරපු අයවැයක් කියලා. මේවා වාචිකව විතරයි කරන්න පුළුවන් කියලා?

ඒක බොරුවක්නේ. අපි 2015 ඉදිරිපත් කළ යෝජනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට කළා. වෙන ආණ්ඩු වගේ නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයලා දුන්න පොරොන්දු ඉෂ්ට කරපු කට්ටියක් නෙමෙයි.

මෙතෙන්දි කතාවෙන දෙයක් තමයි මෙවර අයවැයේදී ජනාධිපතිවරයා සඳහා වෙන්කරන ලද වැය ශීර්ෂය එජාප මන්ත්‍රීවරු පිරිසක් පරාජය කරනවා කියලා. මේක එක්සත් ජාතික පක්ෂයේ තීන්දුවක්ද?

මම හිතන්නේ එහෙම වෙන එකක් නැහැ. ඔය මන්ත්‍රීවරුන්ගේ හිතේ අමාරුවට කරන ප්‍රකාශ. මොකද හේතුව ජනාධිපතිවරයා ගේන්න මහන්සි වුණේ එජාප මන්ත්‍රීවරු. ඉතින් ඒ මන්ත්‍රීවරුන්ට හිතේ අමාරුවක් ඇති. මොකද ජනාධිපතිවරයා ඉන්නේ එතුමා එලවන්න හදපු මන්ත්‍රීවරු පිරිසක් එක්ක. ඒ නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. හැබැයි තව දෙයක් කියන්න තියෙනවා. ජනාධිපතිවරයාත් එක්සත් ජාතික පක්ෂය ගැන ධනාත්මකව හිතන්න ඕන.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය කොහොමද මේ වැඩේට?

කවදාවත් අගමැතිතුමා ඔය වගේ දේවල්වලට හා කියන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ජනාධිපතිවරයාට අගමැතිතුමා බැණලාවත් නැහැ. ඕක ඔය මන්ත්‍රීවරු හිතේ අමාරුවට කරන දෙයක්.

මේක ඔබතුමාලගේ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ඇතුළේ එක එක දේවල් එක එක කෙනාට ඕන හැටියට කියන්න පුළුවන්ද?

නෑ එහෙම කරන්න බැහැ.

මේක ඉදිරි මැතිවරණයක් අරමුණු කරගෙන කරන වැඩක් නම් ජනාධිපතිවරයාට විරුද්ධව එවැනි දේවල් කිරීම තුළින් මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්ද?

ජනාධිපතිතුමාත් තමන් පත් කරපු පිරිස වෙනුවෙන් කල්පනාකාරීව වැඩ කරන්න ඕන. එහෙම වැඩකළා නම් මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. එහෙම වගකීමක් නැතිව වැඩකරපු නිසා තමයි ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ.

විපක්ෂයේ බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ අයවැය ජයග්‍රහණය කරන්න බහුතරයක් ආණ්ඩුවට නෑ කියන එක. ඇත්තටම ජයග්‍රහණය කරන්න අමාරුද?

එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මතකනෙ විරැද්ධ පක්ෂයේ ඔය කට්ටිය තමයි අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංගය ගෙනාවේ. ඒත් ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැනේ. ඊට පස්සේ බලෙන් ආණ්ඩුව අල්ලා ගත්තා. ඒකත් අපි ජයග්‍රහණය කළා. දැන් පෙනෙනවානේ. ඒක නිසා අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඍජුවම ආණ්ඩුවට එකතුවෙලා ඉන්නවා. තව පිරිසක් එකතුවෙන්න ඉන්නවා. ඒ නිසා අපේ ජයග්‍රහණය ගැන සැකයක් නැහැ.

අපි හැමදාම දැකපු දෙයක් තමයි විශේෂයෙන් ජනතාවගේ බඩු මිල පහත හෙළීම. නමුත් මේ අයවැයේදී එහෙම බඩු මිල පහත හෙළීමක් දැක්කේ නැහැ. ඇයි ඒ?

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කන බොන දේ අඩු කරපු ආණ්ඩුවක්. අපි පහුගිය කාලේ පුරාම ඒ දේ කළා. නමුත් මේ අයවැයේදී අපි කිසිම භාණ්ඩයක මිලක් ඉහළ නැග්ගුවේ නැහැ. තාම ස්ථාවර මට්ටමක භාණ්ඩ මිල තියාගෙන යන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. පේනවානේ මත්පැන් වගේ දේවල් විතරයි අපි වැඩ කළේ.

ජනතා විමුක්ති පෙරමුණත් මහින්ද රාජපක්ෂ මහත්තයත් අතර මේ වෙනකොට විධායකය අහෝසි කරන්න සාකච්ඡා යනවා. ඇයි එජාපය පේන්න නැත්තේ?

මෙහෙමයි එක්සත් ජාතික පක්ෂය තමයි හැමදාම විධායකය අහෝසි කළයුතුයි කියන තැන හිටියේ. ඒ දේ කරන්න හැමදාම උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂය. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ මහත්මයා, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔය ඔක්කෝම කිව්වේ විධායකය අහෝසි කරනවා කියලා. නමුත් කළේ නැහැ. නමුත් අද මහින්ද රාජපක්ෂ මහත්තයා ඔය සාකච්ඡාවට එන්නේ ඔහුට ජනාධිපති වෙන්න බැරි නිසා.

හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තේ ඉන්නවා පිරිසක් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නැතැයි කියන මතයේ?

ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනවාට කට්ටිය අකමැතියි.

ඇයි එක්සත් ජාතික පක්ෂයට මේකට මැදිහත් වෙන්න බැරි?

මැදිහත් වෙන්නේ කොහොමද මේ රටේ විධායකය ක්‍රියා කරන්නේ අපිටවත් රටේ ජනතාවටත් ඕන විදිහට නෙමෙයිනේ. ඒ නිසයි අපි ඊළඟ මැතිවරණයකින් අපේ ජනාධිපතිවරයෙක් පත් කරන්න හදන්නේ.

මේ වෙනකොට සමාජයේ කතාවෙන දෙයක් තමයි, ජනාධිපතිවරයා එක දිගට කුඩු අල්ලනවා කියලා. ඔබත් නීතිය හා සාමය භාරව හිටිය ඇමැතිවරයෙක්. ඇයි එජාපයට බැරිවුණේ මෙහෙම කුඩු අල්ලන්න?

මේක මේ අද ඊයේ කරපු දෙයක් නෙමෙයි. අවුරුදු ගණනක ප්‍රතිඵල. අපි සැලසුම් කරලා ක්‍රියාත්මක කරපු මෙහෙයුමක ප්‍රතිඵලයක් තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. විශේෂයෙන් කියන්න ඕන පහුගිය ආණ්ඩුවෙන් තමයි කුඩු ගෙන්නුවේ. කුඩු බෙදුවේ ආණ්ඩුවේම අය. වත්මන් ආණ්ඩුවේ කුඩුවලට සම්බන්ධ අය කවුරුත්ම නෑ. ඒ නිසා නිදහසේ වැටලීම් කරන්න පුළුවන්. සංඛ්‍යාලේඛන අනුවත් දවසින් දවස කුඩු අත්අඩංගුවට ගැනීම් වැඩිවෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ අපි හදපු සැලසුම් නිසා.

හැබැයි ඔබලාට අල්ලා ගන්න බැරිවෙච්ච මධූෂ්වත් පොලිසිය ජනාධිපති භාරගත්තායින් පස්සේ ඇල්ලුවා?

මධූෂ් අල්ලපු විදිහ ගැනයි ඒ සැලසුම් ක්‍රියාත්මක වුණු විදිහ ගැනයි මම ප්‍රසිද්ධියේ කතාකරන්න කැමැති නැහැ. ඒක කරපු අයත් දන්නවා, අහුවුණු අයත් දන්නවා කොහොමද ඒක ක්‍රියාත්මක වුණේ කියලා. ඔය ගැන තොරතුරු හොයාගත්තේ පහුගිය කාලේ ඉඳන්. ජනාධිපතිවරයාත් යම්කිසි වැඩකොටසක් කරන්න ඇති. නමුත් ඒ දේ ක්‍රියාත්මක වුණේ පහුගිය කාලේ ඉඳන්.

ජනාධිපතිවරයා මත්කුඩු මර්දනය කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩය දෙන්න තීන්දු කරලා තියෙනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?

ඇත්තටම රටක නීතිය තද වෙන්න ඕන.

මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා මැති ඇමැතිවරු කොකේන් පානය කරනවා කියලා. ඔබතුමාත් කොකේන් බොනවාද?

අනේ මම කොකේන් දැකලාත් නෑ. බීලාත් නෑ. එතුමටත් මට කියන්න තියෙන්නේ වගකීමකින් තොරව ප්‍රකාශ කරන්න නරකයි. එහෙම ඉන්නවා නම් වහාම ඒ ගැන පොලිසියට දැනුම් දෙන්න ඕන. තැන් තැන්වල කියන්නේ නැතිව එතුමාට තිබුණා හොරෙන් ගිහිල්ලා පොලිසියට දැනුම් දෙන්න.

හැබැයි දැන් රටේ යන්නේ එජාපෙ මන්ත්‍රීවරුන් බොරු කයිවාරු ගහනවා කියලා?

හැබැයි එතුමාගෙන් මම ඇහුවාම එතුමා නම් කිව්වේ එජාපයේ කවුරුත් මේකට සම්බන්ධ නැහැ කියලා. මම නම් මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ.

ජනාධිපතිවරයා කියනවා මේ වසරේ මැතිවරණයක් එනවා කියලා. එජාපය සූදානම් මොනවගේ මැතිවරණයකටද?

රටේ තිබ්බ ජනවරම ජනාධිපතිවරයා විසින් පසුගිය දවස්වල වෙනස් කළා. දැන් ජනතාවගේ අදහසත් වෙනස්. ඒ ජනවරම පරීක්ෂා කරන්න පුළුවන් ජාතික මැතිවරණයකට විතරයි. ඒ සඳහා ළඟම මැතිවරණය ජනාධිපතිවරණයයි. ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕන දැන් ජනතාවගේ මතයත් වෙනස් කියලා. ඒ නිසා අපි කියන්නේ ඉක්මනින් ජනාධිපතිවරණයකට යා යුතුයි.

මහ මැතිවරණයක් හොඳ නැද්ද?

ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහමැතිවරණය නෙමෙයිනේ තිබුණේ. ඒ නිසා ඉස්සෙල්ලා තියන්න ඕන ජනාධිපතිවරණය.

ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සූදානම්?

අපි ඒ වෙලාවට තීන්දු කරනවා අපේ අපේක්ෂකයා කවුද කියලා.

ඒ කියන්නේ නායකතුමා නෙමෙයිද අපේක්ෂකයා?

හදිසි වෙන්න එපා. අවශ්‍ය වෙලාවට කවුද අපේක්ෂකයා කියලා අපි කියන්නම්. මොකද හැම මැතිවරණයකම අපේක්ෂකයා එන්නේ අන්තිම මොහොතේ. ඒ නිසා ඒක දැන්මම ඕන නැහැ.

►ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00