2017 ජුනි 03 වන සෙනසුරාදා

2018 මැයි මාසය?

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

මැයි මාසයේදී සිදු වූ දරුණු ස්වභාවික ව්‍යසනයක වේදනාත්මක අත්දැකීම් පිළිබඳව අපි 2016 වසරේදීත් කතුවැකි ලියුවෙමු. එවැනි ව්‍යසන වළක්වාගත නොහැකි වුවද ඒවායේදී සිදුවන ජීවිත හා දේපොළ හානිය අවම කරගැනීමට හැකියාව තිබූ බවද එහිදී සඳහන් කළෙමු. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තිබෙන්නේ ආපදාවක් සිදුවීමෙන් පසුව නිදහසට කරුණු කීමට නොව, සිදුවිය හැකි ආපදාවලදී රට පෙර සූදානමක තැබීමට බවද පැවසුවෙමු. නමුත් ඉන් හරියටම වසරකට පසුව 2017 වසරේ මැයි මාසය අගභාගයේදීත් ඒ කරැණු එලෙසම පවසන්නට වීම කොතරම් අභාග්‍යයක්ද? නමුත් එය එසේ සිදුවී තිබේ. මේ නිසාම 2018 මැයි මාසය සම්බන්ධයෙන් දැන් සිටම කනගාටු වීමට ප්‍රමාණවත් තරම් හේතු තිබෙන බව අපේ හැඟීමය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පිහිටැවෙන්නේ 2004 සුනාමියට පසුව ඇති වූ ඉහළ පෙළේ කතිකාවක එක් ප්‍රතිඵලයක් වශයෙනි. ස්වභාවික විපත්ති වශයෙන් මහ වැසි, කුණාටු සහ කඳු නායයාම් පමණක් අසා පුරුදුව සිටි අපි ඊට වඩා බරපතළ අනතුරු ස්වභාව ධර්මය විසින්ම දායාද කිරීමට ඉඩ තිබෙන බව සුනාමි ව්‍යසනයේදී දැනගතිමු. කල් තබා කෙරෙන අනතුරු ඇඟවීම්, හදිසියකදී වහාම ඉවත්ව යා හැකි ප්‍රදේශ සළකුණු කිරීම් පමණක් නොව එවැනි අවස්ථාවලට මුහුණදෙන ජනතාවට අත්‍යාවශ්‍ය වන භාණ්ඩ එක්රැස් කර තැබීම වැනි සියලු කරුණු කැටිකරගෙන ආපදා කළමනාකරණයට විද්‍යාත්මක ප්‍රවේශයක් ලබාගැනීමට ක්‍රියා කරනු ලැබීය. අවශ්‍ය අණ පනත්ද සම්මත කෙරිණි. ආපදා කළමනාකරණයටම වෙන් වූ අමාත්‍යාංශයක්ද ස්ථාපිත වන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටය. එහෙත් මේ පියවර එකක්වත් මේ ව්‍යසනයේදී ජනතාවගේ පිහිටට ආවේ නැත. කොතැනක හෝ බරපතළ වැරැද්දක් සිදුවී ඇති බවට වෙනත් සාක්ෂි අවශ්‍යද? නැත.

සුළු උදාහරණයකට අපට ඉන්දියාව සහ බංග්ලාදේශය ගත හැකිය. සුනාමියෙන් පසුව ස්වභාවික ව්‍යසනවලදී පූර්ව සූදානමක් තිබිය යුතු බවට එම රටවල්ද නීති රීති සම්මත කර ගත්තේය. අදාළ ආයතනද පිහිටුවා ගනු ලැබීය. එපමණක් නොව ඒවා ක්‍රියාවේද යොදවා තිබේ. අපේ රටට වින කළ (මෝරා) වැසි කුණාටුව බංග්ලාදේශයට යන බවට අනාවැකි පළවෙද්දී එරට අදාළ බලධාරීහු කල්තබාම වැසියන් ඉවත් කිරීමට පියවර ගත්හ. මෙරටටත් වඩා දරුණු සුළි සුළං සමඟ මහ වැසි වැටුණත් එරටින් මරණ වාර්තා වූයේ 05ක් පමණි. බංග්ලාදේශය ආපදා කළමනාකරණය අතින් සිටින්නේ අපට වඩා ගව් ගණනක් ඉහළින් බව පැවැසීමට වෙනත් අටුවාටීකා අවශ්‍ය නැත.

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අප තවමත් සිටින්නේ තුන්වැනි ලෝකයේත් පහළම තැනක බවට හොඳම නිදසුනක් මෙවර කළුතර දිස්ත්‍රික්කයේ සිදු වූ විපතේදීද දැනගන්නට ලැබිණි. කළුතරට මේ තරම් විශාල විනාශයක් සිදුවූයේ කුකුළේගඟ දොරටු විවර කරන බවට පූර්ව ආපදා අනතුරු ඇඟවීමක් සිදුනොකිරීම හේතුවෙන් බව උපාය මාර්ගික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස් ධර්මකීර්ති මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි. එම ජලාශයේ බැම්ම කැඩීයාමට පෙර එහි දොරටු විවර කිරීමට ඉංජිනේරුවරුන් තීරණය කරන විට එය අවට ප්‍රදේශවල ජනතාවට සන්නිවේදනය කිරීමේ වගකීම පැහැර හැරීම නිසා ජීවිත රැසක් අහිමි වූ බවද ඔහු සඳහන් කර තිබිණි. මේ සඳහා එම ඉංජිනේරුවරුන්ට පිළිතුරක් තිබෙනු ඇත. එය වෙනම කතාවකි. එහෙත් ආපදා කළමනාකරණය අතින් අපේ රට සිටින්නේ තවමත් ළදරු අවධියේ බව පැවැසීමට මේ සිදුවීම පමණක් ප්‍රමාණවත්ය.

දැන් සියල්ල සිදු වී හමාරය. අහිමි වූ ජීවිත යළි ලබාදීමට හැකියාවක් නැත. විනාශ වූ ඇතැම් දේපොළද යළි කවදාවත් ලබාගත නොහැකි වන පිරිසක්ද ඉතිරිවනු ඇත. සමහරුන් කරමින් සිටි රැකීරක්ෂා සහ කර්මාන්ත කඩා වැටී තිබේ. අඩුම වශයෙන් මින් ඉදිරියට හෝ හානි අවම කරගැනීමේ උපාය මාර්ග කල්තබා හඳුනාගෙන ඒවා ක්‍රියාවේ යෙදවීම අවශ්‍යය. ඒ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සියල්ල පණගන්වා තබාගැනීමට කටයුතු කිරීම රජයේ වගකීමකි.

අපේ රටේ ස්වභාවික ආපදා වශයෙන් කුණාටු සහ වැසි සිදුවන කාලසීමාවන් තිබේ. නිරිතදිග (මැයි - ජූනි) සහ ඊසානදිග (ඔක්තෝබර් - නොවැම්බර්) මෝසම් සුළං සක්‍රීය වන කාලසීමාවලදී මෙසේ වැඩි වශයෙන් දරුණු සුළං තත්ත්වයන් සහ මහ වැසි ඇදහැලීම් සිදුවෙයි. එම මාසවලදී අදාළ ප්‍රදේශවල ජනතාව ඔවුන්ට වටහාගත හැකි ආකාරයට දැනුම්වත් කළ හැකිනම් හානිය අවම කරගැනීමට බැරිකමක් නැත. ඒ සඳහා ජනතාවගේ සහාය ලැබීමද මෙහිදී ඉතාම වැදගත් වෙයි.
මෙහිදී ජනතාවගේ පැත්තෙන්ද අඩුලුහුඬුකම් තිබෙන බව පිළිගත යුතුය. ඔවුන් බොහෝ විට කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් දක්වන්නේ උදාසීන ප්‍රතිචාරයකි. ඇතැම් විට ඒවා විහිළුවට පවා ලක් කරන අවස්ථා තිබේ. නමුත් එම විහිළුවෙන් ඇස් රතු විය හැකි බව පමණක් නොව සදාකාලිකවම ඇස් වැසී යාමට ඉඩ තිබෙන බව ඔවුන් වටහාගන්නේ නැත. පසුගිය වසරේ මැයි මාසයේදීද ඉදිරි දිනවල මහ වැසි ඇතිවිය හැකි බවට නිකුත් කළ කාලගුණ අනාවැකිය කෙරෙහි කිසිවකු හෝ සැලකිල්ලක් නොදැක්වූ බව ඒ දිනවලම කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කියා තිබිණි. එයට කන් නොදීම නිසා සිදු වූ විනාශයේ ප්‍රතිඵල තවමත් දැකිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙවරද මැයි මාසයේ අග සතිය වන විට මහ වැසි ඇතිවිය හැකි බව කළින් කියා තිබිණි. ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ට කිවහැක්කේ වැසි වැටෙන බව පමණක් බවත් වැටෙන වැස්සේ ප්‍රමාණය දැක්වීමට අවශ්‍ය උපකරණ තමන්ට නැති බවත්ය. මහ වැසි වැටෙනු ඇතැයි කී පමණින් එය අනතුරු ඇඟවීමක් ලෙස ගණන් නොගත හැකි වුවද ආපදා කළමනාකරණයෙහි අප ප්‍රශස්ත මට්ටමකින් ක්‍රියාත්මකව සිටියා නම් සහ පසුගිය වසරේ අත්දැකීම් ගැන සැලකිලිමත්ව සිටියා නම් නිසැකවම මේ වසරේ සිදු වූ හානිය අවම කරගත හැකිව තිබිණි. 2018 මැයි මාසයේදීත් එය එසේ නොවනු ඇතැයි අපි ප්‍රාර්ථනය කරමු. 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00