2018 ජුලි 07 වන සෙනසුරාදා

කොටි පිට නැග්ග විජයකලාට තනතුර අහිමි වෙයි

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 233

♦ එල්.ටී.ටී.ඊය නගාසිටුවන්නට එ.ජා.පය සූදානම් නැතැයි රනිල් කියයි
 මන්ත්‍රී මරික්කාර්ගෙන් විජයකලාට අලුත් නවාතැනක්
♦ 16 කණ්ඩායමට මහින්දගෙන් ලොකු පිළිගැනීමක්
 විජේකලා ජාතියෙන් සමාව ගත යුතු යැයි ජ.වි.පෙන් ප්‍රකාශයක්
♦ මහින්ද ගෝඨා පොහොට්ටුවට: මහින්ද බැසිල් වියත් මඟට

විජයකලා මෙම ආන්දෝලනාත්මක කතාව කළේ රජයේ ස්වදේශ හා විදේශ අමාත්‍යවරුන් ඉදිරිපිටදීය. ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ අමාත්‍ය තිලක් මාරපන, උතුරේ මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් හා දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ද මෙම අවස්ථාවට එක්ව සිටියෝය. එහෙත් මෙහිදී කතා කළ තිලක් මාරපන හෝ වජිර අබේවර්ධන යන මහත්වරුන් විජයකලාගේ කොටි කතාවට පිළිතුරැ දුන් බවක් වාර්තා වී නැත. තිලක් මාරපන මහතා සිය කතාවේදී කීවේ දකුණේ ජනතාවට මෙන්ම උතුරේ ජනතාවටත් සමානව සලකා පුළුපුළුවන් ලෙස සාධාරණය ඉටුකරන බවය. වජිර අබේවර්ධන අමාත්‍යවරයා කීවේ උතුරේ මෙන්ම දකුණේද පසුගිය කාලවල භීෂණකාරී වාතාවරණ පැවති බවය. උතුරේ ජනතාවට සැකයෙන් හා බියෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු යැයි කී අමාත්‍ය වජිර භීෂණයට උඩගෙඩි දෙන අදහස් සමාජගත නොකළ යුතු බව පෙන්වා දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ කොටි කතාව සමාජය දැඩි ලෙස කැළඹූ පුවතක් විය. සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ එම කතාවට දැඩි ලෙස අප්‍රසාදය පළ කළේය. රන්ජන් රාමනායකගේ සිට මර්වින් සිල්වා දක්වා විවිධ තරාතිරම්වල දේශපාලකයෝ විජයකලා අමාත්‍යවරිය විවේචනය කළෝය. රන්ජන් රාමනායක මාධ්‍ය හමුවකදී සුපුරුදු රංගන විලාශය ප්‍රකට කරමින් විජයකලාට දුරකතන ඇමතුමක් ගෙන මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කරනු පෙනිණි. තමන් එහිදී වූ ආතතිය නිසා එම කතාව කළ බව එහිදී විජයකලා කීවාය. කොටි නගාසිටුවීමක් අපේක්ෂා නොකළ බවද ඇය කීවාය. එවිට රන්ජන් කීවේ මේ කතාව නිසා ආණ්ඩුව දැඩි අර්බුදයකට මුහුණපා ඇති බවයි.

කෙසේ හෝ ඒ වන විටත් විජයකලා අමාත්‍යවරිය කොළඹ නොපැමිණ යාපනයේම රැඳී සිටියාය. භික්ෂූන් වහන්සේලාගේ සංවිධාන ගණනාවක්, නීතිඥ සංගම් හා තවත් දේශපාලන සංවිධාන ගණනාවක් ඇමැතිනියගේ කතාව ගැන පොලීසියට පැමිණිලි කරමින් ඇය රාජ්‍යද්‍රෝහී වෙමින් බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙන් පෙනීසිටින බවට චෝදනා කළහ. ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී.ල.නි.ප ඇතැම් ජ්‍යෙෂ්ඨයෝ කෙළින්ම එ.ජා.ප ආණ්ඩුවේ බෙදුම්වාදී පිළිවෙත විජයකලාගේ කටින් පැන්න බව කියමින් එ.ජා.පයට දැඩි විවේචනවලින් පහර දුන්හ. විජයකලාගේ කතාව උණුසුම් වෙද්දී එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇය අමතා මේ ගැන ප්‍රශ්න කොට වහා කොළඹට පැමිණ අගමැති රනිල් හමුවන්න යැයි දැන්වීය. ඇයගේ කතාවෙන් ආණ්ඩුව දැඩි ප්‍රශ්නවලට මුහුණදෙන බවද ඔහු කීය.

කෙසේ හෝ මේ ප්‍රශ්නයේ ගින්න පත්තු වූයේ අඟහරුවාදා උදෑසන මැතිසබය රැස්වූ අවස්ථාවේය. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අධ්‍යාපන ඇමැති සහ එ.ජා.ප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ගෙන් මේ ගැන ප්‍රශ්න කළ විට විජයකලාගේ ප්‍රකාශය රජයේ ස්ථාවරය නොවන බව අකිල පැවසීය. ඇය ආතතිය නිසා මෙම කතාව කීවේ යැයි දැනගන්නට ඇතැයි කී විට මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කළේ ඇයට ආතතිය නම් තමන්ගේ මැතිවරණ කොට්ඨාසයේ ඇති අංගොඩ පිස්සන් කොටුවට ඇතුළත් කළ යුතු වගයි. මේ ආකාරයට මැතිසබයේ පටන්ගත් ආරවුල මහා ගාලගෝට්ටියක් බවට පත් විය. විමල් වීරවංශ, දයාසිරි ජයසේකර ආදීන් වේගවත් හා හැඟීම්බර කතා කරමින් කතානායක කරු ජයසූරිය මහතා විජයකලා ගැන වහා නෛතික පියවර ගත යුතු යැයි කීවෝය. ඇය ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් මැතිසබයේ දිවුරුම් දී බෙදුම්වාදී සංවිධානවලට උඩගෙඩි දීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂය තරයේම කීය. දෙමළ ජාතික සන්ධාන නායක හා විපක්ෂ නායක සම්පන්දන් මහතා මේ ගැන අදහස් දක්වන්නට නැගී සිට ක්ෂණයකින් අසුන් ගත්තේ තත්ත්වය බරපතළ නිසාය. කතානායක කරු ජයසූරිය මහතා අපහසුතාවට පත්ව සභාව කල්තබමින් පාලනය කරගන්නට උත්සාහ කළේය. එහෙත් කරුගේ වචනවලට කන් නොදුන් මන්ත්‍රීවරු ගාලගෝට්ටි කරමින් සෙංකෝලයද උදුරාගන්නට තැත් කළහ. අවසානයේ සභාවට දැඩි ලෙස අවවාද කළ කතානායකවරයා සභාව කල්තබා පිටව ගියේය. අනතුරුව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාට විශේෂ ලිපියක් යොමුකරමින් විජයකලා අමාත්‍යවරියගේ ප්‍රකාශයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබේද? එසේ නම් ඇයට එරෙහිව ගත හැකි නීතිමය පියවර නිර්දේශ කරන්නැයි කතානායකවරයා ඉල්ලා සිටියේය.

විපක්ෂ මන්ත්‍රීවරුන් ඇය මැතිසබා වරප්‍රසාද කමිටුවට කැඳවා ප්‍රශ්න කොට පියවර ගන්නැයි කීය. ඒ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය විජකලාට පණිවුඩයක් යවමින් සඳහන් කළේ මේ ගැන වගඋත්තර කීමට වඩා තමන් හමුවන ලෙසයි. මේ පසුබිමේ පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවූ එජාපයේ පසුපෙළ මන්ත්‍රින් වන චමින්ද විජේසිරි, හේෂාන් විතානගේ, තුෂාර ඉඳුනිල් ආදින් විජයකලා වහා තනතුරින් පහකළ යුතු බව කීහ.

ඒකාබද්ධය පක්ෂය සහ රජයෙන් ඉවත් වූ ශ්‍රීලපනිප මන්ත්‍රීන් කණ්ඩායම ප්‍රථම වරට එක්ව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වීය. ඒ සඳහා අඟහරුවාදා සවස මෙම මන්ත්‍රී පිරිස විජේරාමයේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණියහ. මෙම මන්ත්‍රීන් හා හිටපු ජනාධිපතිවරයා අතර පොදු මන්ත්‍රී හමුවට පෙර වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. එය තිබුණේ අනුර යාපා හිටපු අමාත්‍යවරයාගේ නිවසේය. එහිදී තීන්දු කළේ දෙපක්ෂය අතර සමගියට හානිවන කතා හෝ ප්‍රකාශ ඉදිරිපත් නොකර එක්සත් ගමනකට පාර කැපෙන ලෙස හැසිරිය යුතු බවය.

සවස 6.00ට ඒකාබද්ධයේ මන්ත්‍රින් හා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රි කණ්ඩායමේ මන්ත්‍රින් 14 දෙනෙක් හමුව සඳහා එක්වූහ. ඒකාබද්ධය අත්පොලසන්දී මෙම මන්ත්‍රින් පිළිගත්හ. පසුගිය දිනවල දෙපක්ෂය අතර එකතුව විවේචනය කළ දයාසිරි ජයසේකර සහ දැඩි නිහඬ බවකින් ක්‍රියාකළ දැනට විදේශ ගතව සිටින එස්.බී. දිසානයක මන්ත්‍රිවරු දෙදෙනා මෙම සාකච්ඡාවට පැමිණ සිටියේ නැත. ඉතා සුහද ලෙස පැමිණි 14 දෙනා පිළිගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඉදිරියේදී එකට කටයුතු කරන බව මුලින්ම ප්‍රකාශ කළහ. අද දින එස්.බී. හා දායාසිරි පැමිණ නැතත් කණ්ඩායමේ මන්ත්‍රින් ගණන 70ක් පමණ වන නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතුයැයි 16 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු වන අනුර යාපා මහතා මුලින්ම යෝජනා කළේය. එය මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව අනුමත කළ බව වාර්තා විය. ඒ සඳහා අදාළ මන්ත්‍රින් හැත්තෑ දෙනාගේ අත්සන් සහිත ලිපියක් වහාම කතානායකවරයා වෙත ඉදිරිපත් කරන්නට ද ඒකාබද්ධයේ මන්ත්‍රි කණ්ඩායම තීන්දු කළේය. මෙයින් ඉදිරියට 16 කණ්ඩායම යනුවෙන් මන්ත්‍රි කණ්ඩායමක් නැතැයි එහිදි පැවසු මහින්ද රාජපක්ෂ මහතා දැන් අපි 70 කණ්ඩායමක් යැයි විශේෂයෙන්ම සඳහන් කළේය. 

විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතා භාරගත යුතු බවට මන්ත්‍රි කණ්ඩායම යෝජනා කළ අවස්ථාවේ රාජපක්ෂ මහතා කීවේ තමන් තනතුරු අපේක්ෂාවෙන් දේශපාලනය නොකරන බවය. නමුත් සුදුසු අවස්ථාවේ සුදුසු තීන්දුවක් ගන්නට සූදානම් යැයි ද ඔහු පැවසීය. තම කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව දැන්ම අදහස් පළ නොකරන ලෙස ඉල්ලා සිටි හිටපු ජනාධිපතිවරයා ඒවා කතා කරන්නට යාමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන බවද කීය. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නය තමන් විසඳාගෙන ඇති බැවින් එතැන අර්බුදයක් නැතැයි ද මහින්ද වැඩිදුරටත් පැවසීය. සුදුසු අවස්ථාව එළඹුණු පසු අපේක්ෂකයා කව්ද යන්න තමන් විසින් ප්‍රකාශයට පත්කරන්නේ යැයි රාජපක්ෂ මහතා කීය.

පළාත් සභා මැතිවරණය ඉක්මනින් ලබාගැනීමටත්. රජයට එරෙහි විරෝධතාවක් ලිප්ටන් වට රවුමෙන් ආරම්භ කරන්නටත් ඒ සමඟම තීන්දු කෙරිණි. කෙසේහෝ මේ සුහද හමුව අවසානයේ මාධ්‍යය එතනට කැඳවූ මහින්ද රාජපක්ෂ මහතා සැමදෙනා එකට සිටින ඡායාරූප ගන්නට අවසර දුන්නේය. එහිදී මහින්ද මාධ්‍යවේදීන්ට කීවේ “මේ අපේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රිතුමා හොඳට පින්තූර අරන් පෙන්නන්න” කියායි. අනතුරුව කේක්, සැන්ඩ්විච්, කට්ලට්, හැලප, කැවුම්, කෙසෙල් ගෙඩි සහිත තේ මේසයක් පිරිනැමීමෙන් පසු මන්ත්‍රි හමුව හමාර විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මහනුවර හන්තාන ප්‍රදේශයට ගියේ වතුකර ප්‍රජාවට සින්නක්කර ඉඩම් පැවරීමේ ඔප්පු ප්‍රදානය සඳහාය. එහිදී ජාතික ආරක්ෂක ප්‍රශ්න ගැන අගමැතිවරයා විග්‍රහයක් කළේය. ඔහු පැවසුවේ ජනතාවට බලපාන ප්‍රශ්න සිය ආණ්ඩුව සඟවන්නේ නැති බවය. පොල් හාල් ඇතුළු බඩු මිල ගණන් පසුගිය කාලයේ ඉහළ යාමෙන් රජය කෙරේ ජනතාව අප්‍රසාදය පළකළ බැවින් ප්‍රාදේශීය සභා ඡන්දයේදී විපාක විඳින්නට සිදුවූ බව කීය. එහෙත් තම රජය ජනතාවට බොරැ නොකියා සත්‍ය ප්‍රකාශ කොට ආර්ථීකය හරි පාරට ගත් බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ සියලු ප්‍රශ්න තම රජය විසඳුවේ අධික ණය බරක් ද දරාගනිමින් එම ණය ගෙවමින් යැයි කී වික්‍රමසිංහ මහතා ඉදිරි මාස 18 දී රටට වේගවත් ලෙස සංවර්ධන ප්‍රතිලාභ හිමිවනු ඇතැයි ද කීය.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ගිය බදාදා විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරියගේ කතාව ගැන කරුණු පැහැදිලි කරමින් රජයට නැවතත් කොට සංවිධානය බලයට ගෙනඒමට වුවමනා නැතැයි කීය. කොටි සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බවත් වත්මන් රජය ඒකීය රාජ්‍යය පිළිගන්නා බවත් පැවසූ අගමැතිවරයා උතුරේ ජනතාවට දේශපාන විසඳුමක් ලබාදීම තම අරමුණ යැයි ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය කළදා සවස විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය කොළඹට පැමිණ අරලිය ගහ මැදුරේදී අග්‍රාමාත්‍යවරයා මුණගැසුණි. තමන් විසින් කරන ලද ආන්දෝලනාත්මක කතාව ගැන නිදහසට කරුණු කියන්නට විජයකලා අගමැති හමුවට පැමිණ සිටියාය. එහෙත් මෙම හමුවේදී ඇය කී දේ මාධ්‍යයට වාර්තා නොවීය. නමුත් විජයකලාට තාවකාලිකව හෝ රාජ්‍ය ඇමැති තනතුරින් ඉවත් කරන ලෙස රජයට බලපෑම් එල්ලවී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශක විජිත හේරත් සඳහන් කළේ මේ කතාව ගැන විජයකලා ජාතියෙන් සමාව ගතයුතු වගයි. රජය නියෝජනය කරන මහජන නියෝජිතයකු ප්‍රබල ඇමතිවරැන් 2ක් ඉදිරිපිට කළ ප්‍රකාශය හෙළාදකින බවද ඔහු පැවසීය. දැන් තිබෙන්නේ රටේ අරාජික තත්ත්වයක් යැයි කී විජිත හේරත් මන්ත්‍රිවරයා එක් පැත්තකින් හිට්ලර් ඉල්ලන විට අනික් පැත්තෙන් ප්‍රභාකරන් ඉල්ලනවා යැයි පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සමඟ බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) කාර්යාලයට පැමිණියේය. ගෝඨා එහි ගියේ ප්‍රථම වරටය. බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂ නියෝජිතයෝ මෙම දෙපොළට නෙළුම් පොහොට්ටු පිරිනමා පිළිගත්හ. මෙම හමුවට මහාචාර්ය ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි ආදි මැතිඇමැතින් ගණනාවක්ම පැමිණ සිටියහ. ඉදිකර තිබූ වේදිකාවේදී පැමිණ සිටි හිතවතුන් අමතා කතා කළේ මහින්ද රාජපක්ෂ මහතා පමණි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා කීවේ මෙතෙක් අපේ නායකයන් බෙදී සිටින බව ප්‍රචාරය කළ අයට අද හොඳ පිළිතුරක් ලැබෙනු ඇති බවයි. ජනතාව විපක්ෂය ඉල්ලනවිට විපක්ෂයේ ප්‍රධානින්ට නඩු පවරා ඇතැයි මහින්ද කීය. බැසිල්, ගෝඨා, මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන ආදීන්ට නඩු පැවරීමෙන් ආණ්ඩුවේ මර්දනකාරි පිළිවෙත පැහැදිලි බවත් ජනතාව ඉදිරි මැතිවරණවලදී මේවාට පිළිතුරු දෙනු ඇති බවත් ඔහු කීය.

බදාදා උදෑසන නෙළුම් පොහොට්ටු කාර්යාලයට ගියේ මහින්ද සහ ගෝඨාය. එදිනම සවස 7.00 මහින්ද සහ බැසිල් ගෝඨාගේ වියත්මග කාර්යාලයට පැමිණියේ කෙටි උත්සවයක් සඳහාය. ගෝඨාභය ඇතුළු පිරිස මහින්ද සහ බැසිල් ඇතුළු පිරිස සුහදව පිළිගත්හ. එහිදී ද මහින්ද රාජපක්ෂ මහතා කෙටි දෙසුමක් කළ අතර ආණ්ඩුවේ ඇමැතිවරුන්ම කොටි සංවිධානය නගාසිටුවන්නට කතා කරන්නේ නම් ආණ්ඩුවේ තරම හිතාගතහැකි යයි ඔහු පැවසීය.

යාපනයේ දී සිදුකළ අර්බුදකාරී කතාවෙන් පසු කොළඹට පැමිණි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ ඇය ඉතා කනගාටුවෙන් හා ආවේගශීලීව කරුණු දක්වා ඇතැයි වාර්තා වෙයි. කෙසේ හෝ අග්‍රාමාත්‍යවරයා මෙහිදී විජයකලාට දන්වා ඇත්තේ ඇයගේ කතාවෙන් ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති නිසා එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහ තමන්ගේ අදහස ඇය සම්බන්ධ පරීක්ෂණය හමාරවන තෙක් තනතුරින් ඉවත් විය යුතු බවය. අවසානයේ ඇය ඊට එකඟ වූවාය.

පසුව විජයකලා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කොට ඉල්ලා අස්වීමට සිතා සිටියද අවසන් මොහොතේ ඒ සියල්ල අවලංගු කොට බ්‍රහස්පතින්දා සවස ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට සහ කතානායකවරයාට යැවීය. ඒ සමඟ විජයකලා ප්‍රකාශ කළේ තමන් පිළිබඳව පැවැත්වෙන විමර්ශනවලට සහාය දීම සඳහා මෙකී තීන්දුව ගත් බවය. ඇතැම් මාධ්‍ය තමන්ගේ කතාව විකෘති කර තිබුණත් ලංකාදීප පුවත්පත එය නිවැරදිව පළකර තිබූ බවද ඇය කීවාය. ජාතිවාදය වැපිරීම හෝ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම තමන්ගේ අරමුණ නොවූ බවද තනතුරින් ඉවත් වෙමින් විජයකලා මහේෂ්වරන් පැවසුවාය.

ඒ අතර කතානායක කරු ජයසූරිය මහතාගේ දැනුම් දීම අනුව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා මෙම සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාට ගිය බදාදාම නියම කර තිබිණි. පොලිස්පතිවරයා ඊට අපරාධ අංශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පත් කළේය. ඉදිරි දිනවල මෙම ප්‍රකාශයේ හඬපට උතුරෙන් ගෙන්වාගෙන පරීක්ෂා කර බලා හිටපු ඇමැතිනි විජයකලාගෙන් ප්‍රශ්න කොට විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද නියමිතය. ඉන් අනතුරුව පරීක්ෂණ වාර්තා නීතිපතිට යොමුකෙරේ. එම වාර්තා පදනම් කරගෙන කතානායකවරයාගේ නියමය පරිදි නීතිපතිවරයා යෝග්‍ය නීතිමය පියවර ගනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00