2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මැයි දිනයේ කට්ටියක් කරණමේ?

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 278

මැදියම් රැයේ යෙදී තිබුණු නැකැත් හේතුවෙන් වැඩිපුරම තැතිගත්තෝ දේශපාලනඥයෝ වූහ. කුමන නැකත සුබ වේදැයි නොදත් නිසාවෙන් බොහෝ දේශපාලනඥයෝ නැකැත් දෙකටම කිරි උතුරුවන්නට කටයුතු කළෝය. ඇතැමෙක් ගම්බිම් බලා ගියද තවත් දේශපාලනඥයන් සැලකිය යුතු ප්‍රමාණයක් අවුරුදු නිවාඩුව වෙනුවෙන් විනෝද චාරිකා යොදාගෙන තිබුණි. අවුරුද්ද නිමාවත්ම මැයි දින උත්සව සංවිධානය කිරීම වෙනුවෙන් දේශපාලනඥයෝ  කරදර වූහ. තීරණාත්මක මැතිවරණ වසරේ මැයි දිනය සිය පක්ෂවල ශක්තිය ප්‍රදර්ශනය කිරීමේලා වැදගත් අවස්ථාවක් ලෙස දේශපාලන පක්ෂ සලකන බව පෙනී ගියේය.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීමට සඳහා තෝරාගෙන තිබුණේ ඔහු කවදත් ඇළුම් කරන නුවරඑළිය නගරයයි. ජනපති සමඟ හිතවත් මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම නුවරඑළි ගමනට එක්ව සිටියහ. මෙහිදී ජනාධිපතිවරයා නුවරඑළියේ වසන්ත සැණකෙළිය හා සම්බන්ධ උත්සව කටයුතුවලටද සම්බන්ධ විය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලස්සනවීමේ රහස හෙළිදරව් කිරීමද අපූරු සිදුවීමක් විය. නුවරඑළිය මීපිළිමානේ බක්මහ උළෙලකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු බඳිමින් ඔහු මේ පිළිබඳ හෙළි කළේය.

අවුරුදු උත්සව භූමියේ තරග නරඹමින් සිටි ජනාධිපතිවරයා අසලට ගිය නිවේදිකාව ඔහු වෙත ඉදිරිපත් කළේ තරමක අමුතු පැනයකි.

''ඔබතුමා මෙච්චර ලස්සන වුණේ කොහොමද?"

මෙවන් ප්‍රශ්නවලට අපූරු පිළිතුරු ලබාදෙන ජනාධිපතිවරයා ක්ෂණිකවම ඊට පිළිතුරු බැන්දේය. 

''මම සුදු වුණේ යූ.එන්. පී. එකට බැදිලා.''

මෙම පිළිතුරත් සමඟ උත්සව සභාවම සිනහ සාගරයක ගිලී ගිය අතර මේ අසලම රුඳී සිටි නිවේදිකාව කීවේ තවදුරටත් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමට නොයන බවකි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ නුවරඑළියේ මේ ගමන සඳහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස ද එක්ව සිටි බවයි. එම ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු වන නමුත් ඔහු නියෝජනය කළේ විමල් වීරවංශ පාර්ශ්වයයි. කෙසේ වෙතත් සිංහල අලුත් අවුරුද්දේ ජනපති හා සමීප වීම නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා පැනිල්ලකට සූදානම්වීමක් ලෙස ඇතැමුන් අර්ථ දක්වා තිබුණි.

මේ අතරවාරයේ එළැඹෙන මැයි දිනය වන විට සිය දේශපාලන ස්ථානගත වීම තීරණය කිරීමට මේ වන විටත් දෙපැත්ත මාරු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් මන්ත්‍රීවරුන් සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. කිහිප දෙනකු සජබයෙන් එක්සත් ජාතික පක්ෂය වෙතත්, ආණ්ඩුව සමඟ රුඳී සිටි කිහිප දෙනකු සමගි ජන බලවේගය සමඟත් ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ එක්වනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය දෙසින් අපූරු ආරාධනාවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වෙත සිදු කළේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගයේ බණ්ඩාරයි.

ඔහු කීවේ සමගි ජන බලවේගයේ බලය ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන වැනි කිහිප දෙනකු අතට පත්ව ඇති බවකි. සජිත් ප්‍රේමදාස දැන් හර්ෂලා, ඉරාන්ලා, කබීර්ලා, තලතලා වගේ අය තුට්ටුවකටවත් මායිම් නොකරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“එහෙම නම් තමන් මායිම් නොකරන තැනක ඔබ කුමට රුඳී සිටිනවාද? අලුත් අවුරුද්දේ මම ඔබට කියනවා, හොඳ ප්‍රාර්ථනා එක්ක එකතු වෙන්න. තලතා, කබීර්, හර්ෂ, ඉරාන්, රනිල් වික්‍රමසිංහ සමඟ අතිනත ගන්න. අරගෙන මේ ගොඩනගාගෙන යන රට තව ශක්තිමත් කරන්න එකතු වෙන්න.”

පසුගිය සතියේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ දෙනා කනගාටුවට පත් කළ වියෝව වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ නික්ම යාමයි. 1960 මැයි මස 3 වැනිදා උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම මිය යන විට 64 වැනි වියේ පසුවිය.

පාලිත තෙවරප්පෙරුම 2002 වසරේ පැවති මැතිවරණයෙන් දේශපාලනයට පිවිසි අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් වූයේ මනාප 7,000ක් ලබා ගනිමිනි. පසුව බස්නාහිර පළාත් සභාවටත් අනතුරුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් තේරී පත්වූ පාලිත තෙවරප්පෙරුම මහතා ජනහිතකාමී අව්‍යාජ දේශපාලනඥයෙක් ලෙස බොහෝ ආදරය දිනා ගත්තේය. අලුත්ගම දර්ගා නගරයේ සිංහල මුස්ලිම් ගැටුම, කළුතර දිස්ත්‍රික්කයට බලපෑ මහා ගංවතුර තත්ත්වයන් සහ පසුගිය කොවිඩ් වසංගත සමයේ තෙවරප්පෙරුම මහතාගේ ජනතා සේවය බොහෝ දෙනකුගේ පැසසුමට ලක් විය. 

අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ තෙවරප්පෙරුම මහතා 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කොට ලැබූ පරාජයෙන් අනතුරුව  සක්‍රීය දේශපාලනයෙන්ද ඈත් විය. තම පුතුගේ වියෝව සහ මෙම සිදුවීම් හේතුවෙන් ඔහු අවසන් සමයේ සිටියේ දේශපාලනය පිළිබඳ තරමක කලකිරීමකිනි.

දකුණේ සිදුවන අර්බුද අතරේ පසුගිය සතියේ  උතුරේ දේශපාලනයේද තරමක කැළඹිලි සහගත තත්ත්වයක් වාර්තා විය. දෙමළ ජාතික සන්ධානය අභ්‍යන්තරයේ පැවති අර්බුද නිසාවෙන් මෙවර උතුරේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පැහැදිලි නොවුණි.

“විග්නේෂ්වරන් තමා දාන්න තීරණය කරලා තිබුණේ"

ඇතැම් ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා බොහෝ දුරට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සමඟ කරළියට පැමිණීමට ඉඩ ඇති බවකි. කෙසේ වෙතත් එය සාර්ථක පිළියමක් නොවන බවත් විග්නේෂ්වරන් රනිල් වික්‍රමසිංහ වෙත පක්ෂපාතී වීමට ඇති ඉඩකඩ බොහෝ බවත් උතුරේම ඇතැම් පාර්ශ්ව සඳහන් කරන්නට විය.

“ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට තමයි දැන් ලොකු බලයක් තියෙන්නේ. එයා යන පැත්තත් එක්ක ඡන්ද තීරණය වෙන්න පුළුවන්."

උතුරේ සාම්ප්‍රදායික දේශපාලන නායකයා වූ ආර්. සම්පන්දන් මහතා මෑත කාලීනව දේශපාලනයෙන් දුරස්වීමත් සමඟ උතුරේ නායකත්වය පිළිබඳ ගොඩනැගුණු අර්බුදය මෙම මත ගැටුමට හේතු වී ඇති බව කියැවේ.

“අපි දකුණෙන් ආපු විවිධ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සහාය දැක්වූ නමුත් බලාපොරොත්තු ඉටු වුණේ නෑ. ඒ නිසා අපි උතුරෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනෑ."

දෙමළ ජාතික සන්ධානයේ නායකත්ව අපේක්ෂාව පෙරදැරිව සිටින ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළේ මෙවන් අදහසකි.

කෙසේ වෙතත් සුමන්තිරන්  මන්ත්‍රීවරයා මීට ඉඳුරා වෙනස් අදහසක් මතු කොට තිබේ. ඔහුද පසුගිය දිනවල පක්ෂ නායකත්වය සඳහා තරග කොට තිබුණි.

“උතුරේ විවිධ අපේක්ෂකයෝ විවිධ අවස්ථාවල ඉදිරිපත් කළා. එයාලට ජනතා ආකර්ශනයක් ලැබුණේ නෑ. උතුරෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම තුළ දකුණේ වෙනස් තත්ත්වයක් ඇති කරන්න තමා මේ උත්සාහ දරන්නේ."

මේ අනුව ජනාධිපතිවරණය අභියස උතුරේ දේශපාලනයද ක්‍රමයෙන් වියවුල් සහගත එකක් බවට පත්වන ලකුණු ඉස්මතු වෙමින් තිබේ. කෙසේ වෙතත් ඉතාමත් නුදුරේම දකුණේ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයේදී උතුරේ සහාය ලබාගැනීම පිළිබඳ සාකච්ඡා අරඹනු ඇතැයි ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ තමන්ගේ මැයි දින රුලි පැවැත්වීමට ස්ථාන වෙන්කර ගැනීම සඳහා ඉකුත් සතියේ කටයුතු කරමින් සිටියේය. මේ අතර බොහෝ දේශපාලන පක්ෂ මහා මාර්ග ඇතුළු ප්‍රධාන ස්ථානවල සිය මැයි රුලි පැවැත්වීම සඳහා අවසර ඉල්ලා තිබුණි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ දේශපාලන පක්ෂ නියෝජිතයන් කැඳවා මැයි දින රුලි සහ පෙළපාලි පැවැත්වීම පිළිබඳ අවසන් තීන්දු ගනු ලැබීය. 

මෙහිදී බොහෝ පක්ෂ මැයි රුලි පැවැත්වීම සඳහා මහා මාර්ග ඉල්ලීම සුවිශේෂී තත්ත්වයක් විය. ජාතික ජන බලවේගයට නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගයක් කොළඹ මැයි රැලිය වෙනුවෙන් ලැබුණු අතර, සමගි ජන බලවේගයේ ඉල්ලීමද ඉටු විය.
සමගි ජන බලවේගය මෙවර ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පැවැත්විය යුතුය යන හැඟීමෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග මේ අතර තහවුරු කරයි. ආසන්න වශයෙන් ලක්ෂයකට අධික පිරිසක් සිය මැයි රැලියට සහභාගි කරවීම සජබ අවශ්‍යතාවයි.

මේ අතර පොහොට්ටුවේ මැයි රැලිය සඳහා කැම්බල්පිටිය වෙන්කර ගැනීමට පොහොට්ටුව සමත්ව සිටී. ඔවුන්ද සිය තරම පෙන්වීමට මෙවර මැයි රැලිය යොදාගන්නා බව ආරංචි මාර්ග තහවුරු කරයි. 

“තිස්සෙන් එහෙම කට්ටිය ගේන්න සෑහෙන්න වියදමක් දරන්න වෙනවා. බස් එකකට ලක්ෂයකට අධික වියදමක් යනවා."

පසුගිය හිස තෙල් ගාන නැකැත යෙදුණු දා ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීවරයා හමුවූ අවස්ථාවක නාමල් රාජපක්ෂ මෙවන් කතාවක් කියා ඇතැයි වාර්තා සඳහන් කළේය.

“අපි නම් මේ පාර මැයි දින රුලි හතරක් සංවිධානය කරනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ නම් අපිට නෑ."

ආරංචි අනුව නාමල් හමුවේ නලින්ද කියා ඇත්තේ එවන් කතාවකි.

මේ අනුව බලන විට එළඹෙන මැයි මාසය ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධ තීරණාත්මක මාසයක් වනු ඇත. ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් පිළිබඳ අපේක්ෂාවෙන් පසුවන ජනාධිපතිවරයා, මැයි මස මැදදී සිය අපේක්ෂකත්වය පිළිබඳ තීරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද කියැවේ. එසේම ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් නිල දේශපාලන මෙහෙයුම් රුසක් මැයි මාසය තුළදී ඇරුඹෙනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හමුවේ නිර්මාණය වී ඇති අර්බුදය හමුවේ, එම පක්ෂයෙන් කැඩී ගිය කොටස් කිහිපයක් සමගි ජන බලවේගය සහ ලංසා කඳවුරේ නව සන්ධානය සමඟ එක්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදයේ තීරණාත්මක සිදුවීම් කිහිපයක් ගිය සතියේ වාර්තා වූයේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පනවා තිබූ පක්ෂ සභාපතිත්වය තහනම දීර්ඝ කිරීමට අධිකරණය කටයුතු කරනු ලැබීය.

පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත දන්වා තිබුණේ සභාපතිවරයාගේ අනුදැනුමින් තොරව රුස්වූ මධ්‍යම කාරක සභාවේ පත්වීම් නීත්‍යානුකූල නොවන බවකි. මේ අතර පක්ෂයේ නව පත්වීම් ලද පිරිසද මැතිවරණ කොමිසම වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබුණි.

මෙම දැන්වීම සම්බන්ධ ප්‍රතිචාර දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. ඉදිරියේදී සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවද සභාපතිවරයා පවසා තිබුණි. මේ අතර පක්ෂ මූලස්ථානයේ ලිපි ලේඛන අතුරුදන් වීමක් පිළිබඳව පොලීසිය වෙතද පැමිණිලි ලැබී තිබුණු අතර එම විමර්ශනද ඉකුත් සතියේ ආරම්භ විය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපාරික ධම්මික පෙරේරා ද පසුගිය සතියේ සිය ව්‍යාපෘති කිහිපයක් ජනගත කළේය. "පොහොසත් ගමක් පොහොසත් රටක්" යන තේමාව යටතේ ඔහු විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් පසුගියදා බිබිල සහ අකුරණ ප්‍රදේශ පාදක කරගෙන ආරම්භ වූයේය.

මේ හරහා දුගී දුප්පත් ගම්මානවලට පොදු මුළුතැන්ගෙයක් ලබා දී පහසුකම් සැලසීම සහ අධ්‍යාපනය සඳහා අවශ්‍ය පරිගණක මධ්‍යස්ථාන නිර්මාණය කිරීම ඇතුළු වැඩසටහන් රුසක් ක්‍රියාත්මක කිරීමට ධම්මික පෙරේරා බලාපොරොත්තුවෙන් පසුවෙයි. ඒ අනුව දිස්ත්‍රික්ක 24හිම ඉදිරියේදී නියමු ව්‍යාපෘති විසි හතරක් ආරම්භ වනු ඇත.

මෙම ව්‍යාපෘති එකින් එක කලඑළි දැක්වීමත් සමඟ පොහොට්ටුවේ කිහිප දෙනකුද ධම්මික පිළිබඳ ඉහළ අවධානයක් යොමු කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

“අපිට ඉදිරිපත් කරන්න ඕනෑ නම් ව්‍යාපාරිකයෝ, මාධ්‍ය ආයතන හිමිකාරයෝ වගේ ඕනෑ තරම් අය ඉන්නවා."

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා දැයි ඇසූ අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ පවා ධම්මික පෙරේරා පිළිබඳ ඉඟියක් ලබා දී තිබුණේ මේ හේතුවෙනි. කෙසේ වෙතත් පොහොට්ටුව ජනපති රනිල් වික්‍රමසිංහ වෙත පක්ෂපාතී කරගැනීමේ මෙහෙයුමද මේ වනතුරු නතර වී නොමැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුකාරවරුන් මාරු කිරීමේ තීරණයකට එළැඹ ඇතැයිද පසුගිය සතියේ දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. 

“වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාතට දාලා, හිටපු මන්ත්‍රී නසීර් අහමඩ්ට වයඹ පළාත බාර දෙන්න යනවා. දකුණු පළාතේ දැනට ආණ්ඩුකාර ඉන්න විලී ගමගේ විශ්‍රාම ගන්න යන්නේ." 

පසුගිය දිනවල විලී ගමගේ පිළිබඳ කැබිනට්ටුවේද කතාබහක් ඇතිව ඇතැයි කියැවේ.

“දකුණේ ආණ්ඩුකාරතුමා ඇමැතිවරුත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ නෑ"

මෙම නොහොඳ නෝක්කාඩු හේතුවෙන් ඔහුගේ විශ්‍රාම යාම සිදුවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර වයඹ පළාත සඳහා නසීර් අහමඩ් පත්කිරීමට එරෙහිව පළාතේ සංඝරත්නය විරෝධතා ගොනු කරමින් සිටින බවද දැනගැනීමට ලැබේ. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයේ පෙරමුණ ගෙන ඇතැයි කියැවේ.

“වයඹ පළාතට අන්‍යාගාමිකයෙක් ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීම එතරම් සුදුසු නෑ. අපි මේ සම්බන්ධව ජනාධිපතිතුමාට කරුණු දක්වනවා." 

මේ අනුව ආණ්ඩුකාර පත්කිරීම් සම්බන්ධව සිදුවන වෙනස්කම් හේතුවෙන් නව අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙනී යයි. 

“නසීර් අහමඩ්ව නැගෙනහිරට දාලා, වයඹට සෙන්තිල් තොණ්ඩමන් දාන්නත් අවස්ථාවක් තියෙනවා." 

මෙවන් කතාවක්ද දේශපාලන කරළියේ කණින් කොණින් ඇසෙන්නට පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් මැයි මස පළමු සතියේදී මේ හා සම්බන්ධ නිශ්චිත තීරණය අපට දැන ගැනීමට හැකිවනු ඇත.

I චමිඳු නිසල් ද සිල්වා