2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

හිතෙන දේවල් කියාගන්න බැරි වෙද්දී අබේ වේදනාවෙන් ඇඬුවා

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:31 181

අපි ඔබේ ළමා කාලයේ සිට මේ කතාබහ පටන්ගමු.. ඒ සුන්දර ළමා කාලය කවදාවත් අමතක කරන්න බැහැ නේද..?
අනේ ඔව්.. ඇත්තටම ඒක සුන්දර ළමා කාලයක්. ඉස්කෝලේ යන කාලෙදී මගේ කටහඬ හරිම ගොරෝසුයි. ඒ නිසා පාසලේ දී ගීත ගායනා කරන්න සහභාගි නොවුණත් විවිධ ප්‍රසංගවල නර්තනය ඉදිරිපත් කරන්න, විවිධ ඇඳුම් තරගවලට වගේ දේවල්වලට ඒ කාලෙදී මම සහභාගි වුණා. මගේ හඬ ගොරෝසු නිසා පාසලේ දී පහළ පන්තිවල ඉඳිද්දී මම ගීත ගායනාවලට ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි ඒ කාලෙ දී මම ඔය කොලු වැඩ තමයි කළේ. ටිකක් දඟයි. ඉස්කෝලෙ බයිසිකල් පැද්දා. සරුංගල් ඇරියා. බට්ටා පැන්නා. අහල පහල ළමයි එක්ක සෙල්ලම් ගෙවල් හැදුවා. ඒ දේවලුත් එක්ක තමයි මගේ ළමා කාලය ගෙවිලා ගියේ. ඇත්තටම අද කාලේ ඉන්න දරුවන්ට ඒ වගේ ළමා කාලයක් තියෙනවද කියලත් හිතෙනවා. ඒ තරමටම අපේ ළමා කාලය හරි අපූරුවට ගෙවිලා ගියා. මගේ මම්මගෙන් මම වැඩිපුරම ගුටිකෑවෙත්, බැණුම් ඇහුවෙත් බයිසිකල් පදින්න ගිහින් වැටිලමයි. සමහරදාට බයිසිකල් පැදලා කකුල් තුවාල වෙනවා. ඒත්.. මම්මා බණීවි කියලා ගවුමෙන් තුවාලය වහගෙන ගෙදරට ඇවිත් සද්ද නැතිව හිටපු දවසුත් තිබුණා.

ඔබ පවුලේ හතරවැනියා. එහෙම නේද..?
ඔව්.. අපේ පවුලේ දරුවන් හය දෙනෙක් ඉන්නවා. මල්කාන්ති අක්කයි කුමාර අයියයි මට වඩා ගොඩක් වැඩිමල්. ඒ නිසා මම ඒ දෙන්නා එක්ක සෙල්ලම් කළේ නැහැ. පවුලේ තුන්වැනියා වුණේ නිර්මලා අක්කා. එයයි මායි අතර පරතරය අවුරුදු තුනයි. පස්වැනියා සකුන්තලා. හයවැනියා මනෝජ් මල්ලි. මම වැඩිපුරම සෙල්ලම් කළේ නිර්මලා අක්කා එක්කයි. පුංචිම කාලේ මම දඟ වැඩ කළාට හරි අහිංසකයි. නිර්මලා අක්කා ටිකක් දඟයි. ඒ නිසා එයා ඒ දවස්වල හැමවෙලේම මාව යට කරගන්න තමයි බලන්නෙ. ඒවා දුරදිග ගෙනියන දේවල් නෙමෙයි. අපි චූටි කාලෙදී අපේ පප්පා හැමදාම වැඩ ඇරිලා එද්දී අපිට ක්‍රීම් කේක් වගේ මොනව හරි කැවිලි වර්ගයක් අරගෙන එනවා. මුලින්ම මනෝජ් මල්ලිටයි සකුන්තලා නංගිටයි දුන්නට පස්සෙ අනිත් කෑලිවල ලොකුම කෑල්ල ගන්නෙ නිර්මලා අක්කයි. ඒ නිසා එයාට හැමවෙලේම ලොකු කෑල්ල දීලා මම අනිත් කෑල්ල අරගෙන පැත්තකට වෙනවා. මට තාම මතකයි එයාට ලස්සන කබඩ් එකක් තිබ්බා. ඒ කබඩ් එකේ තමයි නිර්මලා අක්කා ඒ කැවිලි පවා හැංගුවේ. සමහර දවස්වල අපි දෙන්නා ඔය දේවල්වලට රණ්ඩුත් වෙනවා. ඒ වගේ වෙලාවට දෙන්නම මමීගෙන් ගුටිත් කනවා. මට තාම මතකයි අපේ පප්පා අපි පොඩි කාලෙ දී අපට හොරිබල් ඇන්ඩ් ටෙරිබල්* කියලා නම් දෙකකුත් දාලා තිබුණා. මම ටෙරිබල්. නිර්මලා අක්කා හොරිබල්. ඉතින් පප්පා අපිට හයියෙන් කතා කරද්දී අපි නම ඇහෙද්දී කොහේ හිටියත් දුවගෙන ආවා.

ඔබ ඉගෙන ගත්තෙ..?
මම කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. ඒක මිශ්‍ර පාසලක්. පාසලේ දී මම ක්‍රීඩාවලටත් සම්බන්ධ වුණා. මම වොලිබෝල් කණ්ඩායමේ නායිකාව වුණා. පාසලේ දී බයිසිකල් පැද්දා. ක්‍රීඩාවට මම හරි කැමතියි.

ක්‍රීඩාවට කැමති වුණු, ගීත ගයන්න හැකියාවක් නොතිබුණු ඔබ ගායිකාවක් වුණේ කොහොමද..?
මම අවුරුදු දොළහෙ දී නන්දා අක්කා (නන්දා මාලනී) අපේ ගෙදරට ඇවිත් රුවැති ළඳක් ගීත නාටකයට මම්මගෙන් මාවයි නිර්මලා අක්කයි ඉල්ලුවා. එතන දී තමයි නන්දා අක්කා මගේ සැඟවිලා තිබුණු හැකියාව හොයාගෙන මට සින්දු කියන්න අවස්ථාව ලබා දුන්නෙ. නන්දා අක්කා පුහුණුවීම් කරලා මගේ හඬ හැසිරෙව්වා. ඒ විදිහට කරපු පුහුණුවීම් එක්ක ටිකෙන් ටික මගේ හඬ ගායනයට සැකසුණා.

පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද..?
ටිකක් තේරෙන වයසට ආවට පස්සෙ මගේ ලොකුම හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්නයි. මම රටවල්වල සංචාරය කරන්න, ඒ රටවල්වල අපූරු තැන් දැකබලා ගන්න හරියට ආස කළා. මට තාම මතකයි ඉස්සර ඔය රටවල්වල ලස්සන තැන් තියෙන පින්තූර දැක්කම අනේ.. මටත් මේ තැන් බලන්න යන්න තිබුණානම් කියලා අනන්තවත් හිතිලා තියෙනවා. කාලයක් ගියාට පස්සෙ මට ගුවන් සේවිකාවක් වෙන හීනය අතහැරුණා. නමුත් ගායිකාවක් වෙලා මට ඒ අවස්ථාව උදාකර ගන්න පුළුවන් වුණා. කිසිම වියදමක් නැතුවම මම අබේ එක්ක රටවල් විසි පහකට විතර ගිහින් තියෙනවා. ලස්සන තැන් දැකබලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ගුවන් සේවිකාවක් නොවුණත් ගායිකාවක් විදිහට මට ඒ වාසනාව උදා වුණා. පුංචි කාලෙ දී මගේ තිබුණු හීනය එක පැත්තකින් හරි සැබෑකර ගන්න මට පුළුවන් වුණා.  

ගීත ගායනා නොකරපු නෙරංජලාට ගීත ගායනයට අවස්ථාව ලැබෙද්දී ගෙදරින් යන්න අවසරය දුන්නද..?
ඔව්... ඒ වෙද්දී මට වයස දොළහයි. නිර්මලා අක්කට පහළොවයි. 

කොහොමටත් අපේ පප්පයි මම්මයි දෙන්නම කලාවට හරි කැමතියි. ඒ වෙද්දිත් මල්කාන්ති අක්කා කලාවට සම්බන්ධ වෙලයි හිටියෙ. අපේ ගෙදරත් වාද්‍ය භාණ්ඩ තිබුණා. පප්පටත් වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. හැමදාම අපි ඉස්කෝලෙ ගිහින් ඇවිත් හවස හයට යාඥා කරලා අපි කට්ටියම එකතුවෙලා ගීතිකා ගායනා කළා. ඒ කාලෙදිත් මල්කාන්ති අක්කයි නිර්මලා අක්කයි හොඳට ගීතිකා ගායනා කළා. මම සංගීතයට ආසා කළා. නැටුම්වලට ආසා කළා. කොහොම හරි නන්දා අක්කා කතා කළාට පස්සෙ අපි රුවැති ළඳක් ගීත නාටකයට සම්බන්ධ වුණා. පස්සෙ නන්දා අක්කා පොඩ්ඩ පොඩ්ඩ මගේ හඬ අවදි කරලා මගේ හඬ පැහැදිලි කරලා ගත්තා. සුනෙත් ගෝකුල අයියා ඒ කාලෙ දී අපිට කථකලි නැටුම් ඉගැන්වුවා. රුවැති ළඳක් ගීත නාටකය රට වටේම පෙන්නුවා. එතකොට මම හරි පොඩියි. මට තාම මතකයි සමහර දවස්වලට නන්දා අක්කා වාහනයෙ යද්දී මාව එයාගේ ඔඩොක්කුවේ වාඩි කරවාගෙන තමයි එක්කගෙන ගියේ. මට එයා හරි ආදරෙයි.

රුවැති ළඳක් ගීත නාටකයට සම්බන්ධ වෙද්දී ඔබට ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා..?
ඔව්.. 1967 අවුරුද්දෙදී මට ගුවන්විදුලියේ ළමා පිටියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතැනදීත් අපේ හඬ පුහුණුවීම් කරන්න අවස්ථාව ලැබුණා. ප්‍රසිද්ධ සංගීතවේදීන් මුණගැහුණා. හොඳ ගීත රචකයන් මුණගැහුණා. ගුවන්විදුලියෙනුත් අපිට හොඳ අත්තිවාරමක් ලැබුණා. 1972 වසර වෙනතුරැම මම ළමා පිටියේ හිටියා. ඉස්කෝලෙ ඇරිලා යුනිෆෝම් එක පිටින්ම අපි ළමා පිටියට ගියා. ඒ කාලේ ගීතා කාන්ති ජයකොඩි, ලංකා රාජිනී, දමයන්ති ජයසූරිය, ගාමිණී පෙරේරා, ලලිත් සිරිවර්ධන වගේ අයත් ළමා පිටියේ හිටියා. ඒ හැමෝම ඉස්කෝලෙ ඇරිලා දුවගෙන එන්නෙ ළමා පිටියටයි. ගීත නාටකවලට සහභාගි වුණා. ගුවන්විදුලියේ රංග පීඨවලට සම්බන්ධ වුණා. ඒ කාලේ ළමා පිටිය හරි පොහොසත්. ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවුණා. හොඳ ළමා ගීත බිහිවුණා. අපිටත් අත්තිවාරම ලැබුණෙ එතැනදියි. 1974 අවුරැද්දේ ගුවන්විදුලියේ ඒ ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයටත් මම ඉදිරිපත් වුණා. ඒ පරීක්ෂණයෙන් මම ඒ ශ්‍රේණියේ ගායිකාවක් හැටියට සමත් වුණා. ඔය කාලෙ දී මම වික්ටර් අයියගේ (වික්ටර් රත්නායක) ස ප්‍රසංගයේ වික්ටර් අයියත් එක්ක යුග ගීත ගායනා කළා. ඒකෙන් ලංකාව වටේම ගියා.

ඔබේ මුල්ම ගීත හතර ඉතා ජනප්‍රිය ගීත වුණා. ඒ පිළිබඳව කතා කළොත්..?
ඔව්.. පළවෙනි සරල ගී හතර වුණේ අකලට වට මහ වරුසාවක් වී, ලොව නිසසල වී නවතින මොහොතේ, ඉරිපිට ඇන්ඳ ආදර සිතුවම් සහ වික්ටර් අයියා එක්ක ගායනා කරපු සමාවන්න මට දමා යන්න ඔබ කියන ගීත හතරයි. ඒ ගීත ඉතා ජනප්‍රිය වුණා. අදටත් ඒ ගීතවලට මිනිස්සු කැමතියි.

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ

ඔබේ සැමියා වන අබේවර්ධන බාලසූරිය මුණගැහෙන්නෙ කොහොමද..?
මට අබේව මුණගැහුණේ මල්කාන්ති අක්කගේ මාර්ගයෙන්. අබේ මගේ අක්කව ගුවන්විදුලියෙන් හඳුනාගත්තා. ඔය කාලෙ දී අබේ සනත් අයියව මුණගැහෙන්න අපේ ගෙදර නිතරම ආවා. ඒ කාලේ මම ඉස්කෝලෙ යනවා. ඉතින් මුලින් මම එයාට අබේ අයියා කියලයි කතා කළේ. අවුරුදු දහයක් විතර අපේ ඇසුර තිබුණා. ඒක තමයි ආදරයක් වුණේ. ගුවන්විදුලියට ගියාට පස්සෙ අපේ ඇසුර තවත් වැඩි වුණා. මම ගුවන්විදුලියේ සහාය නිවේදිකාවක් විදිහටත් පසුව රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් කටයුතු කළා. 1984 අවුරුද්දෙ ඉඳන් 1989 වසර වෙනතුරුම මම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට කටයුතු කළා. අපි 1981 අවුරුද්දෙ විවාහ වුණා. මුලදිනම් අබේට අපේ පප්පලා කැමති වුණේ නැහැ. ඒකට එකම හේතුව වුණේ අපි දෙන්නා ආගම් දෙකක වීමයි. අබේ හොඳ බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු කෙනෙක්. අබේගේ අප්පච්චි ගම්මුලාදෑනි කෙනෙක්. අපි කතෝලික. මම පල්ලියෙන් පිට කසාද බඳිනවාට අපේ මම්මයි පප්පයි කැමති වුණේ නැහැ. අබේ පල්ලියෙ බඳින්න කැමති වුණෙත් නැහැ. අන්තිමේ දී අපිට මව්පියන්ගේ ආශිර්වාදය ලැබුණා.

මනමාලිය වී හෙට දවසේ
වෙන් වී යන්නම් යෙහෙළියනේ
මංගල ඇඳුමින් රිය පෙරහරකින්
පිටමං වෙනවා සොයුරියනේ

ගීත බොහොමයක් ගායනා කළ ඔබ සැමියාගේ වියෝවත් සමඟ ගීත ගායනය නතර කළා. ඒ වගේ තීරණයක් ගන්න හිතුණෙ ඇයි..?
2008 අවුරුද්දෙදී අබේගේ ශරීරයේ ස්නායු දුර්වල වුණා. ඒක පටන්ගත්තෙ එයාගේ උගුරෙන්. මුලින්ම එයා වචන පොඩ්ඩ පොඩ්ඩ ගොත ගහන්න පටන් ගත්තා. ඒ නිසා අපි ගිහින් පරීක්ෂා කර ගත්තා. ඒ වෙලාවේ තමයි මේක ස්නායු දුර්වලතා රෝගයක් කියලා වෛද්‍යවරැ කිව්වෙ. වෛද්‍යවරු කිව්වෙ අබේගෙ ජීවත්වෙන කාලසීමාව අවුරුදු පහයි කියලා. හැබැයි ඒක අබේ දැනගෙන හිටියෙ නැහැ. ටිකෙන් ටික අබේ දුර්වල වුණා. දිව පොඩ්ඩක් අසාමාන්‍ය වුණා. පොඩ්ඩ පොඩ්ඩ ගිලීමේ අපහසුතා ඇතිවුණා. කතා කරන එක නතර වුණා. ඊටපස්සෙ එයාට ඕන දේවල් මට ලියලා දුන්නා. එයා හිටියෙ හරිම දුකෙන්. එයා කට්ටිය ගෙදර එනවටවත් කැමති වුණේ නැහැ. කට්ටිය එක්ක කතා කරන්න බැරිවෙද්දී හිතට එන දේ කටින් කියාගන්න බැරිවෙද්දී එයා ඇඬුවා. 2010 අවුරුද්දෙ මාර්තු 26 වැනිදා අබේ නැතිවුණා. මම අබේ හඬ නැතුව දුක් විඳින තරම දැක්කා. මාව හොඳ නිර්මාණවලට යොමු කළේ අබේ. මගේ හෙවණැල්ල වුණේ අබේ. ඒ නිසා අබේ නැතිවුණු දවසෙම මම ගීත ගායනා කරන එක නතර කළා. අපි දෙන්නම සී.ඩී. දහ තුනක් කළා. මම ගත්තු තීරණය ගැන අදටත් මම පොඩ්ඩක්වත් දුක් වෙන්නෙ නැහැ. අදටත් මගේ ගීත ඉල්ලන හැම වෙලාවෙම මගේ අක්කලා දෙන්නගේ දුවලාට (අනුරාධා සහ සෙව්වන්දි) මගේ ගීත ගයන්නට අවසරය ලබා දීලා තියෙනවා. දැන් අබේ නැතිවෙලා වසර දහයකුත් ගෙවෙනවා. අපි දෙන්නා ගැයූ ගීත බොහොමයක් තියෙනවා. ඒ අතරින් ජනප්‍රිය ඒවා එකතු කරලා අබේ ගැන ලියවුණු පොතක් මුද්‍රණය කරන්න මම සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් මට උදව් කරන්න කිහිප දෙනෙකුත් එකතුවෙලා ඉන්නවා. ඒ නිසා මගෙන් අතපසු වුණු ඒ දේ මම ඉදිරියේ දී කරන්න බලාපොරොත්තු වෙනවා.

 

► Text - Dishani   /   Pic -  Sumudu

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00