මම මේ තත්ත්පරයේත් ඔව් මේ තත්ත්පරයේත් තවත්, තව තවත්, ඔව් තව තවත් සිතමින් සිටිමි. ශිව දෙවිඳුන්ගේ ආශිර්වාදයේ අනුහස ඔහුගේ නර්තන ආත්මය සරා අංශුමාත්‍රයෙන් අංශුමාත්‍රයට තැවරී ඇතැයි සිතෙන තරමට වචනයේ පරිසමාප්ත අරුතින්ම ඔහු නර්තනවේදියෙකි. රවිබන්ධු විද්‍යාපති නම් නර්තනාත්මක පෞරුෂය කෙසේ නිර්වචනය කරන්නේදැයි සිතාගත නොහැකි තරමට ආචාර්ය රවිබන්ධු විද්‍යාපති නර්තනය ළය ලෙය හා යා කරගත් හුස්මක් මත තවරා එයම ආත්මය කරගත් අපූරු මිනිසෙකි.
නර්තනය යනු චලනයේ චිත්තවේගීය වටිනාකම් ප්‍රකාශ කරන කලාව නම්, ඒ කලාව තුළ රවිබන්ධු විද්‍යාපති මුද්‍රාව ස්වර්ණවත් වන්නේත්, සුවිශේෂී වන්නේත්, නර්තනය ස්ව අනන්‍ය භාෂාවක් ලෙස තම ගවේෂණාත්මක දෘෂ්ටිය සහ අධ්‍යනය ඔස්සේ ගොඩනගාගෙන ඇති අයුරු විස්මය දනවන්නක් ලෙස මට හැඟී යන හෙයින්මය. චිත්‍රසේන සහ වජිරා ගුරු සෙවණේ නර්තනයේ අල්පප්‍රාණයේ සිට මහාප්‍රාණය දක්වා අක්ෂරයන්ද, පියාසර ශිල්පාධිපති සහ පුංචි ගුරු සෙවණෙන් සාම්ප්‍රදායික බෙර වාදනයද හැදෑරූ මේ අප්‍රමාණ නර්තනවේදියා ඉන්දියාවේ කේරළ කලා මණ්ඩලම්හි කතකලි නර්තන සම්ප්‍රදායේ රසභාව සොයා ගිය කතකලි නළු නර්තන ශිල්පියෙකි. තවද හින්දුස්ථානි සංගීතය ද තම හැදෑරීම් පරාසයේ එක් වින්‍යාසයක් බවට පරිවර්තනය කරගත් ආචාර්ය රවිබන්ධු විද්‍යාපති නර්තනය තුළ අනන්ත මුද්‍රාවක් බවට පත්වන්නේ තාල රිද්මයෙන් සේම කතකලි වන් අතිශය ගැඹුරු සහ අතිශය සුමට නර්තනයෙන්ද උඩරට නර්තනයේ අභිමානවත් භවලීලා ප්‍රකම්පනයන්ගෙන්ද ස්ව නර්තන රීතීන් සහ නර්තන ආත්මය සුපෝෂණය කරගනිමින් ස්ව විශ්වය තුළ නැවුම් හුස්මක් සමඟ නැවත උත්පත්තියක් ලබා ඇතැයි සිතෙන නිසාමය.
මම අප්‍රමාණ නර්තනයන් දැක ඇත්තෙමි. නැට්ටුවන්, නර්තන ශිල්පීන්, නර්තනවේදීන් දැක ඇත්තෙමි. එහෙත් නර්තනය වනාහි කුමක්දැයි මගේ නිර්වචනය තුළ මම දකින නර්තනවේදියා, ජීවමානව මා ඇස් අස සදිසි කළ එකම නර්තනවේදියා ආචාර්ය රවිබන්ධු විද්‍යාපති වග මම අභිමානයෙන් ලියා තබමි.
මම එසේ කියන්නේ ඇයි?
නර්තනය යනු භෞතික චලනයන්ගේ සහ රිද්මයන්ගේ හුදු සම්මිශ්‍රණයක් පමණක් ලෙස මම කිසිදා නොදකිමි. එය ජනරංජනීය හෝ මනමෝහනීය කලාවක් පමණක් ලෙස මම කිසිදා විවරණය නොකරමි. එය ආත්මීය ආලය සහ මනෝභාවයන් හා පාදක වූ ආධ්‍යාත්මික ශික්ෂණයක් සහ භාවිතාවක් තුළ සවිඥානිකව භෞතිකමය හැඩතල හා සෞන්දර්යවාදී රිද්මයන් තුළට ඒකාත්මික වූ සුන්දරම භාවනාත්මක කලාවක් ලෙස ඉඳින් මම අර්ථ දක්වමි.
මෙතැනදි මට කිසිදු වෙසෙකින් මඟහැර යා නොහැකි සටහනක් මුණගැසේ. එනම් නෘත්‍ය වීමංසා නමින් රවිබන්ධු විද්‍යාපති උපදේශකත්වය මූලිකව මහාචාර්ය ආරියරත්න ඇතුගල සම්පාදනය කළ ග්‍රන්ථයේ පෙරවදන තුළ මහාචාර්ය ඇතුගල රවිබන්ධු විද්‍යාපති කවුරුන්දැයි පහදන්නට දැරූ ප්‍රයත්නයේ වදන් වියමනයි.
සිරුරේ චලනය රිද්මානුකූලව භාවිත කරන තාක්ෂණික නැට්ටුවන් කොතෙකුත් අප දැක ඇත. ඔවුහු කිසියම් අවකාශයක් පුරවති. රවිබන්ධු විද්‍යාපති තම සිරුරේ ප්‍රකාශන චලනයන් මත පදනම්ව සීමිත අවකාශයක සිට රිද්මයානුකූලව ප්‍රකට කරන සවිඥානිකත්වය ප්‍රබලය. එබැවින් ඔහු හුදු චලනය පදනම් පිළිගත් ක්‍රියාවලියක නොව මිනිස් ප්‍රකාශනයක යෙදේ. එය රවිබන්ධු විද්‍යාපතිට විශේෂිත නර්තන චලන රිද්මය සමඟ මුසුවූ මානව ගුණ සමුදායක් ලෙස හැඟේ. ඔහුගේ සෞන්දර්යාත්මක වූ පරිපූර්ණ ශාරීරික ක්‍රියාකාරකම් භෞතික සංඝට්ටනයකට වඩා සහනශීලී රිද්මයානුකූල භාවපූර්ණ සංඝට්ටනයක් බවට පත් කරයි.
ඔහු තාක්ෂණිකව නොව, ඔහුගේ උරුමය වන්නේ “වින්දනයට හසුකොට ප්‍රේක්ෂකයන් පෝෂණය කිරීමයි.” ඔහු ඔහුගේ නර්තන “තාක්ෂණය දිව්‍යමය තත්වයක් ලෙස ගෙනේ.” “පූජනීය දේ දෙස බැලීමට, ප්‍රශ්න කිරීමට හා සම්ප්‍රදායන්ට අභියෝග කිරීමට” ඔහුගේ නිර්මාණ ශක්තිය බල කරයි. තාක්ෂණය යන පදයට වඩාත්ම සුදුසු අර්ථකථනය වන්නේ කුසලතා සහ පෞද්ගලික ගුණාංගවල සංයෝජනය යන්නයි. එවැනි සැසඳීමකට රවිබන්ධු මිස අනෙකෙක් හමු නොවේ.
එනයින්ම ඔහුගේ නර්තනය සැමවිටම ඔහුටම අනන්‍ය භාවකත්වයක් දරයි. එය චිත්‍රසේන වැන්නකු ළඟ පැවති ගුණයකි. පවතින නර්තන අවකාශය, වේලාව හා එම කාලය පාලනය වන බල ව්‍යුහයන් මත ඔහු නර්තනය මහා කලා නිර්මාණ ව්‍යවහාරයක් ලෙස අර්ථ ගන්වයි. ඔහු නැරඹීමකට වඩා කියැවීමකට ඉඩ සලසයි. රවිබන්ධු විද්‍යාපති දකින සැණින් මහත් නර්තන පෞරුෂයෙන් හෙබි බව හැඟේ. ඒ ජනප්‍රිය චරිතයක් ලෙස නොව එක්තරා අයුරක සමාජ උරුමයක් ලෙසිනි. එවැනි හැඟීමක් යම් අයකුට දිනාගැනීම පහසු නොවේ. ඔහු කවුරුන්දැයි කියන්නට සම්මාන පිරික්සන්නට වුවමනා නොවේ.
ඉතින් මේ කතාබහ කලක් මුළුල්ලේ නර්තනයෙන් මා වසඟ කළ ආචාර්ය රවිබන්ධු විද්‍යාපති නම් ඒ අපූරු නර්තනවේදියා සමඟය.
නර්තනයේ උරුමය ඔබේ ජීවිතය හා යා වන්නේ ලේ උරුමයන් යා කරගෙනමයි. එහෙම නේද?
මගේ තාත්තා සෝමබන්දු විද්‍යාපතිගේ උරුමයෙන් මට එන්නේ චිත්‍ර කලාව. 1940 දශකයේ තරම් ඈතකට ගියාම ලංකාවේ නර්තන වස්ත්‍ර කලාවේ ආරම්භක පුරෝගාමියා විදිහට මගේ තාත්තා මට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක්. බෙල්ලන්විල විහාරයේ බිතු සිතුවම් තාත්තාගේ චිත්‍ර ශිල්පය පිළිබඳ දැනුම කැටි වූ අවසන් පුස්තකයයි. අම්මාගේ පාර්ශ්වයෙන් මට ලැබුණේ පරම්පරා හත අටක් ඈතට විහිදෙන උඩරට නැටුමේ හරසාරයයි. තාත්තාගේ පරම්පරාවේත් තියෙනවා පහතරට නැටුම් උරුමයත්. නමුත් තාත්තා නැටුම් ඉගෙනගත්තට කටයුතු කළේ චිත්‍ර ශිල්පියෙක් විදිහට. තාත්තා විසිවැනි සියවසේ රංග කලා වස්ත්‍ර කලාවේ පුරෝගාමියා විදිහට තමයි සම්භාවනාවට පාත්‍ර වන්නේ. ඇත්තටම රංග කලා වස්ත්‍ර නිර්මාණය සම්බන්ධව තාත්තා හඳුන්වා දුන් ශෛලිය ව්‍යාකරණයක්. අදටත් එය උඩරට පහතරට සබරගමු වේදිකා හැඩතල මවන්න සමත් වුණා. ඒ වගේම මුද්‍රා නාට්‍ය ඇඳුම් නිර්මාණකරණයේදී තාත්තා දේශීයත්වය ආසියානුත්වය සහ බටහිර මුද්‍රා නාට්‍යමය මූලයන් ඒ හා සම්බන්ධ කරගත්තා. අම්මාගේ තාත්තා තමා අල්ගම කිරි ගණිත ගුරුන්නාන්සේ. එයා තමයි චිත්‍රසේන, පණිභාරත, චන්ද්‍රලේඛා ඒ ආදී නර්තන කලාවේදීන්ගේ මුල් ගුරුවරයා. පුංචි කාලයේ ඉඳන්ම අපේ ගෙදර තාත්තා චිත්‍ර අඳිනවා. අම්මා මාලතී අල්ගම නටනවා. පණිභාරත මගේ අම්මගේ ඥාති සහෝදරයා.
කලාව නම් මහ පවුර කේන්ද්‍ර කරගත් මනරම් මතක මන්දිරය නම් සිතුවම්කරණයෙහි අම්මා නටන නැටුමක, අම්මා වැයූ බෙර පදයක, තාත්තා ඇඳි චිත්‍රයක විසල් මාත්‍රා රැඳී ඇති’යුරු අදටත් රවිබන්ධු විද්‍යාපති සිහිපත් කරන්නේ ස්නේහයෙනි. මළනුවන් ලේඛනයත් චිත්‍රයත් ආත්මකොට ගනිද්දී රවිබන්ධු චිත්‍රයට, බෙරයට නර්තනයට ප්‍රාණසම ස්නේහයෙන් පෙම් බැන්දේය. පොත පත කියවූ සෝමබන්ධු විද්‍යාපති තාත්තා ශේක්ෂ්පියර් නාට්‍ය, ග්‍රීක නාට්‍ය, මහා භාරතය, රාමායනය, සද්ධර්මරත්නාවලිය කියවූයේය. විසල් පොත් එකතුවක් ඒ තාත්තා සන්තකයේ තිබූ අතර, ඒ පොත් පත් තම විවිධ විෂය දිශානතින් හා යා වූයේය.
රවිබන්ධුගේ ළමා වියේ ඒ නිවස විවිධ කලාකරුවන්ට තෝතැන්නක් වූ තැනකි. පණිභාරත, වජිරා, චිත්‍රසේන, අමරදේව, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම, ලයනල් අල්ගම, සුමනදාස ඇල්විටිගල, මේ ආදී සෝමබන්ධු විද්‍යාපති සමකාලීනයන් සහ හිතමිත්‍රයන් නිතරම ඒ ගෙදරට පැමිණියහ. ආවෝ ගියෝ වූහ. ඒ ආ ගිය නාමාවලියෙන් මට ලියන්නට නොහැකිව මඟහැරුණු නම් බොහෝමයක් ඇති වග මම දනිමි. අද රවිබන්ධු තම ආදරණීය බිරිඳ සමන්ති හා එක්ව රංග වස්ත්‍රාභරණ නිර්මාණය කරන අයුරින්ම එදා රවිබන්ධුගේ අම්මා හා තාත්තාත් එක්ව රංග වස්ත්‍ර නිර්මාණය කළහ.
චිත්‍රසේන වජිරා ඇදුරු සෙවණේ ඔබ ශිෂ්‍යයෙකු වෙනවා. ඒ තීරණාත්මක අතීතය කොහොම හැඟීමක්ද දැන් ඔබේ හිතට දනවන්නේ?
1972 දී මට අවුරුදු 13 දී තමා මම එතෙන්ට ගියේ. තාත්තා එක්ක එයාලගේ තිබුණු ඇසුර, සමීපත්වය නිසා මම එයාලට කතා කළේ චිත්‍රසේන අංකල්, වජිරා ඇන්ටි කියලා. අමරදේවතුමා මට හැමදාම අමරදේව මාමා වුණා. ඒ විදිහට මට හැමදෙනාම මාමලා නැන්දලා වුණා. ඒ අය මහා පෞරුෂ බව මම දන්නවා. ඒත් සමීපත්වය නිසා මම කතා කළේ එහෙම. චිත්‍රසේනයන් අපේ කාලය වෙද්දි ප්‍රායෝගිකව නැටුම් උගන්වන එක නතර කරලා එතුමා ඉගැන්නුවේ සංකල්පනාත්මක දේවල්. වජිරා මැතිනිය තමා උඩරට නැටුම්, පහතරට, ගොඩහරඹ ඉගැන්නුවේ. රංග වස්ත්‍රයත් මදින නවන හැටි පවා ඇය ඉගැන්නුවා. ඒ අතර න්‍යායාත්මකවත් සංකල්පනාත්මකවත් අපිව පෝෂණය කළා. එතැන සාම්ප්‍රදායිකත්වය හා නූතනත්වය මිශ්‍ර වුණා කදිමට. මුළු දවසම අපි කලායතනයේ. ප්‍රසංගයක් නැටුවොත් රෑ එහෙ නැවතිලා පහුවදාට ගෙදර ආවේ.
එදා ආදරණීය පෙම්වතිය අද ස්නේහබර බිරිඳ හමුවුණෙත් එතැනදිමයි නේද?
ඔව් සමන්ති අවුරුදු හතේ ඉඳන් එතැන නටපු කෙල්ලක්.
වසර නවයක් මුළුල්ලේ චිත්‍රසේන වජිරා සෙවණේ එකදිගටම නර්තනය ඉගෙන වෙස් බැඳි ගෞරවය ලද රවිබන්ධු ඉනික්බිතිත් ඒ නවාතැන හැර නොගියේය. සැබවින්ම සතියේ දවස් හතම ගෙවුණේ නැටුමත් බෙරයත් සමඟමය.
ඉගෙනගන්නා කාලයේ මම වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට නොගියට අද මම පොත පත ඔස්සේත්, ප්‍රායෝගික නර්තනය ඔස්සේත් හොයා ගිය දැනුම බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට සරසවි දරුවන්ට බෙදා දෙනවා ගුරුතුමාණෝ එසේ පවසති.
දැනුමෙහි තීරකයා දැනුම මිස අන් කිසිවක් නොවන වගට ආචාර්ය රවිබන්ධු විද්‍යාපති යනු එක් සංනිදර්ශනයක් පමණි. ආධ්‍යාත්මික භාවනාවත්, භෞතික චලනයත් සමබරව එක් නොවන තැන ඉපදෙන සමබර නර්තකයා උදෙසා මා දන්නා ජීවමාන කදිම සංනිදර්ශනයද ඔහුමය.
බෙරය කියන වාද්‍ය භාණ්ඩය ඇයි පපුව ගැඹුරින් අපිව අවුස්සන රිද්මයක් දනවන්නේ... කොහොමද බෙරයට එහෙම කරන්න පුළුවන් වුණේ කියලා මම ඇහුවොත් මොකක්ද ඔබ දෙන උත්තරය?
ඒ සම්බන්ධතාවය ඍජුවම එන්නේ අපේ හදගැස්මත් එක්ක. මානවයා කියන්නෙ ඉතා ප්‍රබල සන්නිවේදනාත්මක සත්ත්වයෙක්. හදගැස්මේ රිද්මය උඩ තමයි අපි මහ පොළොවෙ අඩිය තියලා ඇවිදින්නෙත්. බෙරයකින් කරන පළමු දෙය රිද්මය ප්‍රකාශ කිරීම.ඒ රිද්මය හදවතේ රිද්මයට සමානයි. ඒ නිසා මානවයාට බෙරයත් එක්ක තියෙන්නේ කඩන්න බැරි විශ්වීය බැඳීමක්. ඒකයි බෙරය ඒ තරම් දැනෙන්නෙ.
නර්තනයේත් බෙරයේත් රිද්ම නර්තන සංධ්වනිය ආචාර්ය රවිබන්ධු විද්‍යාපති ඔස්ට්‍රේලියාවේ දරුවන් වෙතටද දැන් සජීවීවම රැගෙන යයි. සැබැවින්ම එදා මෙදා තුර ඒ රසදීප ඔහු දේශයෙන් දේශයට සෙමෙන් බැතින් දල්වාලූ ගුරු පහනකි. පහනින් පහන් දස දහසක් නොව අසංඛ්‍යයක් පහන් දැල්වූ පහනකි. පුතු ජිතේන්ද්‍ර විශ්වබන්ධු බෙර නැටුම් හදාරා වෙස් බැඳ නළුවෙක් වෙසින්ද රඟමින් දැනට ඇමෙරිකාවේ ශාස්ත්‍රපති උපාධිය හදාරණ අතර, දියණිය අම්රිතා ශ්වේතාම්බරී ඉන්දියාවේ බරණැස විශ්වවිද්‍යාලයට ගියේ කතක් නැටුමින් ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරන්නටය.
ඉඳින් ලෙයට ලෙය බැඳුණු ඒ සෑම බැඳීමකම බෙරයත් නර්තනයත් මුහු වූ අපූරුව...
ඉතින් ආයුබෝවන් ගුරුතුමනි ගුරු...
තවත් පහනින් පහන් දල්වන්නට සුරක්ෂිත වූ ගුරු දා දවස් ඔබ වෙතම සපැමිණෙත්වා!
• සංජීවිකා සමරතුංග
• ගයාන් අමරසේකර