නොදෙන්නෙමි කිසිවක්ම
ආදරය හැරෙන්නට
නොඉල්ලමි කිසිවක්ම
ආදරය හැරෙන්නට
ආදරෙයි... ස්තූතියි... දැන් ඉතින් සමුගන්න... අවසනක් නැති කිසිවක්ම නැත. එහෙත් අවසන් වන කිසිවක් කිසිදා කෙළවර නොවන වග මම දනිමි. සංසාරය විශ්වාස කරන හෙයින් මම කිසිදා මරණය විශ්වාස නොකරමි. ඉතින් කිසිදා කිසිවක් කෙළවර නොවන ලෝකයක ඇයි අපි අවසානයක් ගැන කතා කරන්නේ....
එහෙත් සපැමිණෙන සියල්ලන් සහ සියල්ලක් දිනෙක නික්ම යා යුතුමය. අතැර යා යුතුමය. සමුගැනීමකින් සමුගැන්විය යුතුමය.
නිශ්චිතය එයයි. නියත දහමට අවසඟව නොයන දිලිසෙන යථාර්ථයද එයයි. දිලිසෙන දෙපයින් ඇවිදින මිනිසුන් ඒ දිලිසෙන දෙපයින්ම බිම් මට්ටමේ පය තබා ඇවිද යද්දි අනේක වාරයක් නොදන්නා වාරයක් ඒ යටිපතුල් මත කටු ඇනී ලේ ගැලී රිදුම් දෙන්නට ඇත. එහෙත් තුවාල මත ගලන ලේ බිඳිති කැටි වී ඒ ලේ මතුම රතු මල් පිපෙනා වස්සාන මුණනොගැසුණු ජීවිත කාර්තු අපට හමුනොවුණිදැයි මම නොදනිමි. එවන් දුෂ්කරම ජීවිත කාර්තුන් අප හැරගියේදැයි අපට මුණනොගැසුණේදැයි මම නොදනිමි. එහෙත් එය එසේ වී නම් එය ජීවිතය නොවිය යුතුය. එහෙයින් සියලු හිස්තැන් සහ අවකාශ ස්නේහෙයන් සිඹ බලන ඇසිල්ලක ජීවිතයේ රස හමුවෙතැයි මම විශ්වාස කරමි.
ඉතින් විසිඑක් වසරක මුද්‍රිත මාධ්‍ය ජීවිතයේ දස වසරක් ඉරිදා ලංකාදීපයත් සමඟ ගෙවාලූ ඉනික්බිති දෝතට බාර කළ දේශය සමඟ ගෙවුණු දොළොස් වසරක කාලය පුරා හදසර සමඟ ආත්මීය ආලයකින් ළෙන්ගතු වූ දොළොස් වසරක කාලය පුරා ආදරයත් ආදරයෙන් උපන් ප්‍රේමයත් සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන පෙම්බර සුපෙම්බරත්වයෙන් හදවතට තිළිණ කළ මතක සුවිසැරිය විසල් වෙත්. එය කිසිදා කාල යාත්‍රාවේ කිසිදු තත්ත්පරයකට හොරකම් කළ නොහැකි, හංඟාගත නොහැකි, වසන් කළ නොහැකි තරමට මගේ පපුවේ උණුහුම්ම ගැඹුරුම තැනට දැනෙන මතක මහ කන්දකි. සොඳුරුතා මෙතෙකැයි ඔබට කියන්නට මම කිසිදා නොදන්නා අනන්තයකි. දම්පාට හැන්දෑවක කවියක් සේ මා හදවත කැටපත් පවුරක් කොට මා ලියාලූ ආත්මීය සංධ්වනියක ප්‍රතිබිම්බයේ දිලුණු කවිකාර සිතුම් බොහොමයකි. ඉතින් කාල ද්වාරයෙන් එපිටට කිසිදා විසිකර දමන්නට නොසිතෙන ලෝබකමකින් සහ ස්නේහයකින් ඒ මතක මහ කන්දරාවම මම තුරුල් කරගමි. නැවත නැවතත් සිඹ බලමි. “මගේ ගැන වෙනම කලා අතිරේකයක් කළේ හදසර විතරයි” ලූෂන් බුලත්සිංහල රසවතාණන් දිනක් එසේ කීය. “මගේ අයියා වෙනුවෙන් ටැබ්ලොයිඩ් එකම වෙන් කළේ හදසර විතරයි” සුදත් ඇන්තනී කලාකරුවා දවසක් එසේ කීය. ලද මල් බොහෝ වෙත්. ඒ මේ මල් මතක ද්විත්වයක් පමණ.
ඉතින් ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය ළඟට මා ඊළඟට විශ්වාස කරන දෙය නම් සොබාදහම සහ දෙවියන්ය. ජීවිතය මහ කන්දක් සේ තරණය කළ යුතු වග මම දනිමි. කැකුළක් මලක් වී පිපෙන තත්ත්පරය ඇසට නොපෙනුණත්, ගලන ගඟක, ඇළක දොළක රිද්මයේ වෙනස සවනතට නොදැනුණත්, කටු නොඇනෙන්නට නටුව මඟහැර මල සිඹින්නටත් මම දනිමි. කටුවක් ඇනුණාත් රිදුම් දරා ඉවසාගෙන මලෙහි පෙති මත ගල්වාලූ සුවදත් පැහැයත් නෙතින් සොරකම් කර මලට නොරිදෙන්නට හදවතේ තවරන්නටත් මම දනිමි. මක් නිසාද යත් ජීවිතයේ සුන්දරම තැනිතලා මුණගැසෙන්නේ එවන් නිම්නයන් බොහෝ දුෂ්කර මං ගෙවාලූ ඉනික්බිති හමුවෙන ඇසිල්ලේදීය. ඉතින් එවන් නිම්න හමුවූ වගත්, හමුවන වගත් සොබාදහම සහ දෙවියන් යන අසමාන සර්ව බලධාරී තීරකයන්ට ලොව කිසිවක් කිසිදා අවසඟව නොයන වගත් මම ඉඳුරාම දනිමි...
ඉතින් සමුගැනීම තරම් නිශ්චිතයක් තවත් කොයිබින්ද?
එක්කෝ සමුගත යුතුය...
නොඑසේනම් සමුදිය යුතුය...
ද්වාරයෙන් ද්වාරයට නැවුම් සුළඟකට හමා එනු පිණිස දොරගුළු හැරිය යුතුමය.
ගෙවී ගිය කාලය දොළොස් වසරකි. ඒ දොළොස් වසරේ හැම තත්ත්පර අංශමාත්‍රයකටම මම ඉතින් ආදරේයැයි කියමි... ස්තුතියැයි කියමි....
ඒ හැම තත්ත්පරයකම මම නැවත නැවතත් ආදරයම තවරමි. ඒ දොළොස් වසර පුරා රැඳුණු හැම හිතකටම පිරිනැමූ හැම ආශිර්වාදයකටම හැමදාමත් හැම හුස්මකදීත් දැනෙන්නටම ආදරේයැයි කියමි. ස්තූතියැයි කියමි...
ඒ සියල්ල සම්මිශ්‍රණය කළ උණුසුම්ම හාදුවක් පා කර එවමි.
ඒ දොළොස් වසර මුළුල්ලේ කර්තෘ සංසද සම්මාන, ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන විස්සකට ආසන්න සංඛ්‍යාවකින් දේශයත් හදසරත් අපි සම්මානනීය කළෙමු. ඒ සම්මානනීය වූ හැම මොහොතකම අප හා සබැඳි හැම කෙනෙකුටම, හැම යාන්ත්‍රණයකටම, හැම ආදරයකටම, හැම ආශිර්වාදයකටම අපි කෘතවේදී වූයෙමු.
ඒ කෘතවේදීත්වයේ තරම කොතැක්දැයි කිසිදා නොඅසන්න.
මේ සපැමිණ ඇත්තේ ඒ දේශයට මේ හදසරට අපි ආදරයෙන් ඔව් ආදරයෙන්... ආදරයෙන් ඔව් ආදරයෙන් සමුගැනීම තිළිණ කරන මොහොතයි.
මතක ශේෂ කර අතැර යන මොහොතයි.
ඉතින්...
දැන් ඉතින් සමුගන්න...
එහෙත් ආදරය යනු ආදරයම මිස අන් කවරක්ද?
ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද?
ඉතින් ජීවිතය දැනෙන්නම ආදරය ඇති තැනක නම් පිරිමදින්නට රිදුම් නැත...
ඉතින් අපි ආදරයෙන්ම වෙන්ව යමු.
• සංජීවිකා සමරතුංග