2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

පිටරටින් එන මිස්කෝල් ජාවාරම

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

තාක්ෂණ දියුණුවත් සමඟ අපේ එදිනෙදා වැඩ පහසුවට දෝතපුරා මදි නොකියන්නට අලුත් ගැජට්-බැජට්  ලැබුණු බව ඇත්තකි. හැබැයි ඒ සමඟම නොසිතූවිරූ අලකලංචි රැසක්ද ඇතෙක් බරට ලැබී හමාරය. මොබයිල් දුරකතනද එවැන්නකි. දැන් ඕනෑම කෙනෙක් අත මොබයිල් දුරකතන දක්නට හැකිය. අඩු ගාස්තු පැකේජ, එකම ජාලය තුළ නොමිලේ ඇමතීමට පහසුව, වැනි විවිධ වෙළඳ උපායන් නිසා දැන් ඕනෑම මොහොතක අවශ්‍ය අනවශ්‍ය හැමදෙයකටම දුරකතන ඇමතුම් ගැනීමට කිසිවෙක් පසුබට වන්නේ නැත. මේ නිසාම එම පහසුකම් එලෙස රිසිසේ භූක්ති විඳින අය මුලාකොට ගසාකන ජාවාරම්ද නිමක් නැත. එබඳු අලුත්ම ජාවාරමක් ගැන අනතුරු ඇඟවීමක් පසුගිය සතියේ සමාජජාල ඇතුළු මාධ්‍ය අතර සංසරණයට ලක්විය. ඒ අලුත්ම ජාවාරම තමන් නොදන්නා කලින්  නුපුරුදු  නොරට අංකයකින් එන “මිස්කෝල්” එකක් අනුව ක්‍රියාත්මක වන්නකි.

මෑතකදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමින් නිකුත් කළ නිවේදනයක් මගින් මේ “මිස්කෝල්” ජාවාරම පිළිබඳ අනතුරු අඟවා තිබුණි. එහි සභාපතිවරයා එම නිවේදනය මගින් පැහැදිලිකර ඇත්තේ “වරක් නාද වී නවතින ඇමතුම්” ඔස්සේ සිදුවන සංවිධානාත්මක මුදල් ගසාකෑමක් වන මේ වංචාව ගැන  ඔවුන්ට තොරතුරු සැලකියයුතු ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. එම තොරතුරුවලට අනුව මේ “මිස්කෝල්” බොහෝවිට පැමිණ ඇත්තේ විදෙස් රටක සිට බව පෙන්වන අංකයකිනි.වරක් නාදවී නවතින එම ඇමතුම් රැගෙන ආ අංකවලට නැවත ඇමතූ බොහෝදෙනා මේ ජාවාරම් කරුවන්ට හසුවී ඇදහිය නොහැකි මට්ටමේ බරපතළ බිල්පත් ගෙවීමට සිදුවීමේ අලකලංචියට මුහුණ පා ඇත. සමහරුන්ගෙ පෙරගෙවුම් කාඩ්පතේ ඉතිරිව තිබූ සබ්බසකලමනාවම සුද්ධ වී ගොසිණි. මේ ජාවාරමට සම්බන්ධ යැයි සැකසහිත එවන් දුරකතන ඇමතුම් ලැබෙන රටවල් සඳහා වූ කේත අංක කිහිපයක්ද වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියන ආකාරයට එම කේත අංක ලෙස, +21,+22, +24,+25,+33,+60, +81,+90,+91, +92,+96,+97,041, හඳුනාගෙන ඇත. ඔවුන් අනතුරු අඟවා ඇත්තේ මෙවන් පිටරටක කේත අංකයක් සහිතව එන සැකසහිත සහ මුළුමනින්ම ආගන්තුක වරක් නාදවී නවතින එම ඇමතුම් රැගෙන ආ අංකවලට නැවත ඇමතීමෙන් සහමුලින්ම වළකින ලෙසටය. දැනට ලොවපුරා ව්‍යාප්තියක් දක්වන මේ සල්ලි පිල්ලි යවන සංවිධානාත්මක අලුත් ජාවාරමෙන් ගැලවීමට හැකි දැනට ඇති  පහසුම උපක්‍රමය එයයි.

මේ ජාවාරම අපට - මේ රටට අලුත් වුවත් ලෝකයට නම් අලුත් එකක් නොවේ. ලොවපුරා දිනපතා මේ ජාවාරමට ගොදුරුව ඇදහිය නොහැකි “තඩිබිල්” ගෙවන්නට සිදුව අමාරුවේ වැටුණ පිරිස බිලියන ගණනකි. අමෙරිකාවේ 2018 වසරේ වාර්තාවකට අනුව බිලියන 34.8ක් පමණ වූ “මිස්කෝල්” තොගයක් ප්‍රෝඩාකාරී ලෙස භාවිත වී තිබේ. ලෝකයේ සෙසු රටවලින් ලැබෙන වාර්තාද එයට නොදෙවෙනිය. ජංගම සෙල් දුරකතන භාවිතවන ලොව සෑම අස්සක් මුල්ලක් නෑරම මේ ප්‍රෝඩාකාරී මූල්‍ය වංචාව ක්‍රියාත්මකය. එය හැඳින්වීමට දැන් අපූරු නමක්ද කළඑළි බැස තිබේ. ඒ නම “Wangiri” යන්නය. “වන්ගිරි” ජපන් යෙදුමකි. ඉංග්‍රීසියෙන් එහි අරැත ‘one and cut’ යන්නය. එනම්  වරක් නාදවී නවතින යන අදහසය. දැන් ලොවපුරා මේ නම සුප්‍රසිද්ධය. මිනිසුන්ද සෑහෙන්නට දැනුම්වත්ය. එහෙත් වන්ගිරි ජාවාරමේ ගොදුරු බවට පත්වන පිරිසෙහි අඩුවක් දක්නටද නැත. ඇයි ඒ?

වන්ගිරි හෙවත් මිස්කෝල් ගොදුරු බවට මිනිසුන් පත්කර ගන්නට ජාවාරම්කරුවන් දඩමීමා ලෙස යොදා ගන්නේ සරල එහෙත් සියුම් මිනිස් හැඟීම් දෙකකි. ඉන් ප්‍රධාන වන්නේ මිනිසා තුළ ඇති සහජ කුතුහලයයි. දෙවැන්න නොරිස්සුම් ස්වභාවයයි.අතපසු වු ඇමතුමක් ගැන කියන “මිස්කෝල්” පණිවුඩයක් දුටු සැණින් එයට ඇමතුමක් දී ඒ කාගෙන්දැයි සොයා බලන්නට ඇතිවන සහජ පොදු පෙළඹවීම නිසා බහුතරයක් මේ ජාවාරමට ගොදුරුවෙති. එසේ එක්වරක් නාද වී නවතින ඇමතුම් නොතකා සිටින බවක් පෙන්වන්නේ නම් ජාවාරම්කරුවෝ දිගින් දිගටම “මිස්කෝල්” දෙන්නට ගනිති. වධයක් බවට පත්වෙති. එයින් ඇතිවන නොරිස්සුම් සහගත බව නිසාම හොඳවැයින් දෙකක් කියන්නට සිතා දුරකතන ඇමතුමක් දෙන අය නොදැනීම ඒ ඇසිල්ලේදීම ජාවාරමට කොටුවෙති. ජාවාරම්කරුවෝ මෙහිදී ඉතා සූක්ෂමව කටයුතු කරති. ඔවුන් ස්වයංක්‍රීය ඇමතුම් සහ ඩයල් යන්ත්‍ර භාවිත කරති. රොබෝ ඇමතුම් භාවිතා කරති. සමාජ මාධ්‍ය ජාලා හරහා සොරාගත් දුරකතන අංක ලැයිස්තු මිලට ගනිති. නැත්නම් රොබෝ ඩයලින් යන්ත්‍ර යොදා අහඹු ලෙස අංකවලට කතා කරති. අතේ ගෙන යා හැකි නිසා මේ යන්ත්‍රද කර ගසාගෙන එක රටක වැඩිකලක් නොසිට වෙනත් දෙසකට පැන යති. එමගින් ලුහුබඳින්නන් මඟහරිති.

මේ කොයි ආකාරයෙන් හෝ ඔවුන්ට අවශ්‍ය පිළිතුරු ඇමතුමක් ලබාගැනීමටයි. එයින් පසු එලෙස ඇමතුම ලබාදුන් තැනැත්තා හැකිතරම් වේලා දුරකතන ඇමතුම තුළ රඳවා ගැනීමයි. ඒ සඳහා වරින්වර හඬ ඇසෙන නෑසෙන ගාණට පිළිතුරු දීම හෝ පටිගත පණිවුඩ හරහා අංක එබීමට යොමුකරමින් සබඳතාව අල්ලාගෙන සිටීමට කටයුතු කිරීම වැනි උප්පරවැට්ටි යොදාගැනීමත් සිදුවෙයි. මේ අන්දමට ඇමතුමක් ගන්නට පෙළඹවීම මගින් ඔවුන් ඉහළ ගාස්තු අයකරන සබඳතාවකට අදාළ ඇමතුම සම්බන්ධ කරයි. අන්තිමේ ප්‍රතිඵලය වන්නේ පිටරට ඉහළ ගාස්තු සහ බදු අයකරන සබඳතාවකට සිය අවශ්‍යතාව නොමැතිව ගත් ඇමතුමක් සඳහා ලොකු බිලක් ගෙවා දමන්නටය.

මේ ජාවාරමට ගොදුරු නොවී සිටීමට නම් අනුගමනය කළයුතු ප්‍රධානම ආරක්ෂක උපක්‍රමය වන්නේ වරක් නාද වී නවතින එම ඇමතුම් රැගෙන ආ අංකවලට නැවත ඇමතුම් ලබා නොදීමයි. අනෙක් කාරණය නොදන්නා නුපුරුදු විදෙස්  අංකවලින් එන ඇමතුම් “බ්ලොක්” කර දැමීමයි. එවන් තැනකට වැරදී පෙළඹවීමකින් පිළිතුරැ ඇමතුමක් ගත්තා නම් ඒ බව ඔබේ සේවා සැපයුම් ආයතනය දැනුම්වත් කර අංකයද ලබාදී සහනයක් පැතීමයි. ඇත්තෙන්ම වඩාත් පහසුම ක්‍රමය නම් ඔබ විදෙස් ඇමතුම් ලබාගැනීමේ පහසුකම භාවිත නොකරන්නේ නම් දුරකතන සමාගමට දන්වා එම සබඳතාව පූර්ණ ලෙස ඉවත් කර දැමීමය.

  සුගත් පී. කුලතුංගආරච්චි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00