2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

අලුත් අවුරුද්ද ඔබට රටට හා ලොවට

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 241

 ස්වභාවික විපත් බහුල වේ 
 ලොව පුරා අලුත් වෛරස් රෝගයක් 

2024 වසරේ සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුදු උදාව රවි මීන රාශියේ  සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ සිදුවනු ඇත. 2024 අප්‍රේල් මස 13 වැනි දින රාත්‍රි නවය පසුවී විනාඩි 5ට රවි මේෂ රාශියට සංක්‍රමණය වේ. මෙවර සූර්ය සංක්‍රාන්තිය තුළින් අප රටට මෙන්ම ලෝකයටද, ඔබටද ඇතිවිය හැකි විශේෂ බලපෑම් පිළිබඳ විමර්ශනය කළ යුතු වේ. ඒ අනුව මුලින්ම අප රටට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමු.

මේ වසරේ නොසිතූ ආකාරයේ විපත් බහුල වනු ඇත. විශේෂයෙන් 2025 වසරේ අලුත් අවුරුද්දට පෙර අප රට තුළ ආන්දෝලනාත්මක සිදුවීම් රුසක් සිදුවනු ඇත. ගොවිතැන් කටයුතුවල නිරත වන අයට ශුභ ඵල අත්වන නමුත් එම ශුභ වකවානුව ඉතා කෙටි කාලසීමාවකින් නිමවනු ඇත. පතල් ආශ්‍රිතව කැනීම්වලදී වටිනා මැණික් හමුවනු ඇත. නොසිතූ මොහොතක ගංගා මුහුදු පිටාර ගැලීමක් මත භූමියට මෙන්ම දේපළවලටද ජීවිතවලටද හානි වනු ඇත. එකවර විශාල ප්‍රදේශයක් ගිලා බැසීමකට ලක්වීමක් හෝ නාය යෑමට පත්වීමක්ද වනු ඇත. ජනතා ආදරයට පත්වූ ගායිකාවකගේ මෙන්ම රංගන ශිල්පිනියකගේ අභාවයක්ද සිදුවනු ඇත. පවුල් ජීවිතවල සමගිය පළුදුවීම්ද පවුල් ආරවුල් මත ගැටුම් ද අපරාධ ක්‍රියාද ළමා හිංසනද ඉහළ යන අවුරුද්දක් වේ.

මෙම අවුරුද්ද තුළදී මැතිවරණයක් පැවැත්වීමට හේතු යෙදෙනු ඇත. නමුත්  ප්‍රබල රාජ්‍ය නායකයකුට මාරක ඇතිවනු ඇත. තවද ජනාදරයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටද තම ජීවිත ගමනින් සමුගැනීමට සිදු වේ. මහජනයා අතර වෛරස් රෝගයක් පැතිර යාම හේතුවෙන් රෝහල් පිරී යාමක් සිදුවන අවුරුද්දකි. ඒ හේතුවෙන් අසාමාන්‍ය ලෙස ජීවිත  නැතිවීම්ද වාර්තා වනු ඇත. යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියාද මහජන ප්‍රකෝප කිරීම්ද හදිසි කෝලහාල තත්ත්වයන්ද පහරදීම් ඝාතනය කිරීම්ද, පිපිරීම් ආදිය හේතුවෙන් ජන ජීවිත අඩාලවීම්ද විනාශ වීම්ද වාර්තා වන අවුරුද්දක් වනු ඇත. කුඩා දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් යම් යම් ආයතන රජය සමඟ එක්වී යම් යම් ක්‍රියාමාර්ග කරළියට නංවන අවුරුද්දක්ද වනු ඇත. පවතින රජයට අයහපත් තත්ත්වයකට මුහුණ දීමට සිදුවන අවුරුද්දක්ද වේ.

ලෝකයට සිදුවන බලපෑම පිළිබඳව අවධානය යොමු කිරීමේදී බලවත් රාජ්‍ය නායකයකුට තම දේශපාලන ගමනින් නික්ම යාමට සිදුවන අවුරුද්දක් වනු ඇත. හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් රාජ්‍ය නායකයකුට එල්ල වීමක්ද ප්‍රධාන ගොඩනැගිල්ලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමක්ද සිදුවන අවුරුද්දක් වේ. ලෝක ආර්ථිකයේ ද කඩා වැටීම් වාර්තා වනු ඇත. හඳුනා නොගත් වෛරස් රෝගයක් ලෝකයේ රටවල් අක්‍රමණය කරනු ඇත. කොරෝනා වැනි ශ්වසන අපහසුතා රෝග ලක්ෂණද ඇතිවනු ඇත. විශාල පරිමාණයේ රිට්ට මාපංක 7 ඉක්මවූ භූ චලනයක් වාර්තා වන අවුරුද්දක්ද වනු ඇත.
අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට

මේෂ - විදේශ ගතවීම් 

ඔබගේ ලග්නගතව උච්ච වෙමින් රවි බලවත් ගමනක යෙදෙමින් උදා වූ අලුත් අවුරුද්ද ඔබට යහපත් ඵල උදා කරනු ඇත. ඔබ කරන කටයුතුවල සාර්ථක ඵල අත්වන අතර ඔබගේ යම් යම් වැඩ කටයුතුවලට විරුද්ධවාදියෙක් ද ඇතිවන කාලයකි. තම මතය වර්ධනය කරගත හැකි වසරක් වන අතර තම දේ රැකගෙන කටයුතු කළ හැකි වේ. තම උත්සාහයෙන් වැඩ කටයුතු රුසක් ඉටු කරගත හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත අයට තරග ජයද අත් කරගත හැකි වේ. විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ අදහස් ඉෂ්ඨ වනු ඇත. විනෝදයෙන් සැහැල්ලුවෙන් වැඩ කරන වසරක් වන අතර විසිතුරු දේවල් වැඩි වශයෙන් මිලදී ගැනීම්ද කරනු ඇත. ශරීරයේ යම් පීඩා ඇතිවනු ඇත.

වෘෂභ - පොළොවෙන් ලාභ

ඔබට ද යහපත් ඵල උදා වනු ඇත. යම් යම් කටයුතුවලට නොබියව ඉදිරිපත් වන වසරක් වන අතර ඔබ ජනප්‍රිය බවට පත්වී අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අවුරුද්දක් වනු ඇත. ජලය ආශ්‍රිත පීඩා ඇතිවිය හැකි බැවින් ගංගා මුහුදු ආදියේ වැඩවල යෙදීමේදී පරිස්සම් වන්න. ආගමික කටයුතුවලටද වැඩි වශයෙන් යොමුවනු ඇත. භූමිය ආශ්‍රිතව කටයුතුවල නිරත වන අයට හා කෘෂි කර්මාන්තයේ යෙදෙන අයටද ඉතා ශුභ ඵල අත්වනු ඇත. හවුල් කටයුතුවල නිරත අයටද සමාජ සේවා කටයුතුවල හා ව්‍යාපාරවල නිරත අයටද ආර්ථික වාසි ඇති වේ. ඔවුන් ජනප්‍රිය වනු ඇත. විදේශගත වීමේ අපේක්ෂාද ඉටුවනු ඇත. ඇස්වල පීඩා ඇතිවන කාලයක් වේ.

මිථුන - දරුවකුගේ ජයග්‍රහණ

ඔබටද ඉතා ශුභ ඵල ගෙන දෙන අවුරුද්දක් වනු ඇත. 2024 අන් අයට ප්‍රිය වන දියුණුව අත්වන වසරක් වෙයි. දේශපාලන කටයුතුවල නිරත අයටද ඉතා ශුභ වන අතර තම පවුලේ දරුවකුටද ඉතා උසස් ජයග්‍රහණ හිමිවන අවුරුද්දක් වේ. ආගමික කටයුතු වෙනුවෙන්ද දුරබැහැර පූජනීය ස්ථාන වෙත යන කාලයක් වේ. භූමිය ආශ්‍රිත කටයුතුවල නිරත වී සිටින අයටද ඉතා ශුභ ඵල අත්වනු ඇත. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු වූ අයටද ඉතා සුබ වනු ඇත. මෙම වසර තුළදී විශාල වියදම් දැරීමේදී ඉතා කල්පනාකාරී විය යුතු අතර විශාල මුදල් හානිවීම් සිදුවන අවුරුද්දක් වේ. මුත්‍රා ආශ්‍රිත රෝග මතුවන අතර සෙම් ගති වැඩි වෙනවා ඇත.

කටක - දේශපාලනයට හොඳයි

එතරම් ශුභ ඵල අත් නොවන්නා වූ අවුරුද්දක් වේ. අන් අයට වැඩ කිරීමට ගොස් අමාරුවේ වැටෙන්නා වූ කාලයකි. ඔබට සමීපව සිටි මිතුරකු නිසා කරදර විපත් ඇතිවන අවුරුද්දක් වේ. යම් යම් කටයුතුවලට විරුද්ධවාදීන් ඇතිවීමත්, කරන කටයුතු අඩාල වීමත් සිදුවෙනවා ඇත. වැඩිපුර තමා ගැන සිතා කටයුතු කරන අවුරුද්දක්ද වේ. අවිවාහක අයට මංගල යෝග උදා වුවද ඒ ගැන හදිසි නොවිය යුතු වේ. නොගැලපෙන අය හමුවන අවුරුද්දක්ද වේ. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න යම්තාක් දුරට හෝ මගහැරී යන අවුරුද්දක් වනු ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් වන වසරකි. කකුල් හා අස්ථි ආශ්‍රිත පීඩා ඇතිවනු ඇත.

සිංහ - නීතිමය ගැටලු

මිශ්‍ර ඵල උදා කරන අවුරුද්දක් වේ. ඇතැම් කටයුතුවලට වැඩි වශයෙන් උනන්දුව දක්වනු ලබන්නා වූ වසරක් වේ. සේවා කටයුතුවලදී ඉතා යහපත් ඵල අත්වන අතර උසස් වීම්  අපේක්ෂා කළ අයට හා නව රැකියා අපේක්ෂා කළ අයටද නව බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වෙනවා ඇත. පතල් ආශ්‍රිත කැනීම්වලින් ප්‍රගතියක් අත්වන වසරක් වන අතර විශාල අන්දමේ මුදල් වියදම් කිරීම්වලින් පරිස්සම් විය යුතුය. විශාල මුදල් පාඩු ද සිදුවන අවුරුද්දක් වේ. ව්‍යාපාර කටයුතුවල නිරත වන අයට ශුභ ඵල අත්වුවද හදිසියේම ලාබ අඩුවීමක්ද සිදුවනු ඇත. ලියැවිලිවලට අත්සන් තැබීමේදී ඉතා පරිස්සම් විය යුතු අතර යම් ආකාරයක නීතිමය ගැටලුවකටද මැදිවනු ඇත. උදර හා මුත්‍රා රෝග මතුවනු ඇත.

කන්‍යා - ආගමට මුල්තැන

ඔබට එතරම් යහපත් වන වසරක් නොවනු ඇත. සිතට විවිධ වූ අදහස් ජනිත වනු ඇත. සතුන්ගෙන් හදිසි පීඩා මතුවිය හැකි බැවින් පරිස්සම් වන්න. කලා කටයුතුවල නිරත වී සිටින අයට ඉතා ශුභ වනු ඇත. ආගමික කටයුතුවලට මුල් තැන දෙන අවුරුද්දක් වනු ඇත. සේවා කටයුතුවලදී උසස්වීම්ද අත් කරගත හැකිවනු ඇත. ව්‍යාපාර කටයුතුවල නිරත අයට ශුභ ඵලද හිමිවනු ඇත. ඔබගේ කාලත්‍රයාට හදිසි විපත් මාරකද ගෙන දෙයි. පවුල් දිවියේද යම් යම් මත ගැටුම් පැන නගිනු ඇත. යම් යම් නොගැලපෙන අය තමා සමඟ මිතුරුකම් ඇතිකර ගන්නාමුත් කාලයක් වේ. හෘදය පීඩා ඇතිවනු ඇත.

තුලා - ව්‍යාපාරවලට ඉතා හොඳයි

ඔබට යහපත් ඵල උදා කරනු ඇත. කරන කියන කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. ව්‍යාපාර ආරම්භ කිරීමටද ඉතා ශුභ කාලයක් වේ. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. හදිසි කේන්ති ගති ඇතිවන අවුරුද්දක් වන අතර එය පාලනය කරගත යුතු වනු ඇත. බොහෝ විට තනි තීරණ ගනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. යම් හේතුවක් මත ඇපවීමක් සිදු කිරීමට සිදුවනු ඇත. හදිසි ශරීර පීඩාද ගෙන දෙන වසරක් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. යම් යම් කටයුතුවලට විරුද්ධවාදීන්ද ඇතිවනු ඇත. විදේශගත වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. වකුගඩු පීඩාවක් මතුවනු ඇත.

වෘශ්චික - අධ්‍යාපනය දියුණු වේ 

ඔබට මිශ්‍ර ඵල උදා කරනු ලබන අවුරුද්දක් වේ. ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමටද ශුභ වන වසරක් වේ. අවිවාහක අයට මංගල යෝග උදා වුවද ප්‍රේම සම්බන්ධතාවල නිරත අයට විවිධ බාධා ඇතිවන වසරක් වේ. සේවා ස්ථානය වෙනස් කිරීමට සිත් ඇති අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. දියුණුව අඩාල වන අවුරුද්දක් වන අතර ගමන්වලින්ද හදිසි ශරීර පීඩා මතුවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වන අතර කලා කටයුතුවලින්ද ඵල අත් කරගත හැකිවනු ඇත. ජලය ආශ්‍රිත පීඩා බහුල වන බැවින් පරිස්සම් වන්න. සෙම් රෝගද ඇතිවීමට ඉඩකඩ වැඩිය.

ධනු - පෙර පින් මතු වේ 

ඔබට යහපත් වන අවුරුද්දක් වේ. ඔබ කරන කටයුතු සාර්ථක භාවයට පත්වන අතර පෙර පින් මතුවන වසරකි. යම් යම් වැඩවල ප්‍රමාද වීම්ද ඇතිවන අතර උසස් වීම් බලාපොරොත්තු වූ අයට ශූභ ඵල ලැබේ. කීර්තියද අත්වෙයි. ඉඩකඩම් වාහන මිලදී ගැනීමටද ශුභ වන අවුරුද්දක් වේ. යම් යම් කටයුතුවලට නොබියව ඉදිරිපත් වෙනවා ඇත. තමා ගැන වැඩිපුර සිතා කටයුතු කරන වසරක්ද වේ. තමාගේම කටයුතු ඇරඹීමට ව්‍යාපාර දියුණුවක්ද ඇතිවන අතර කරන විභාගවලින් ජයග්‍රහණ ලබාගත හැකිවනු ඇත. ආගමික කටයුතුවලට බරව ක්‍රියා කළද හදිසි ශරීර පීඩා ගෙන දෙන වසරක් වේ.

මකර - වියදම් අධිකයි

ඔබට මිශ්‍ර ඵල උදා කරන්නා වූ අවුරුද්දක් වේ. ආගමික කටයුතුවලට නැඹුරු වීම වැඩිවන කාලයක් වන අතර සිතේ සහනය අඩුවනු ඇත. තම ධනය ඉතිරි කර ගැනීමට උත්සාහ දැරුවද වියදම් අධික වන අවුරුද්දක් වේ. යම් යම් තරග විභාග ආදියෙන් නොසිතූ ජයග්‍රහණ අත් කරගත හැකි වේ. පවුලේ ඥාතීන්ගෙන් වෙන්ව හුදෙකලාව කාලය ගත කිරීමට කැමති වන අවුරුද්දක් වේ. විදේශගත වීමේ බලාපොරොත්තු ඉහළ යනු ඇත. ඔබ කිරීමට යන ව්‍යාපාරික කටයුතු හෝ අලුතින් පටන් ගන්නා වූ වැඩවලට බාධා ඇතිවෙයි. පිටස්තර ප්‍රශ්න තමා වෙත එල්ල වන කාලයකි. විදේශගත අධ්‍යාපනයක් සඳහා යාමට අදහස් කර සිටින අයට එය ඉටු කරගත වනු ඇත. දෑස්වල පීඩා මතු කරයි.

කුම්භ - රැකියා උසස් වීම්

ඔබට සැම අතින්ම යහපත් අවුරුද්දක් වේ. ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වීමක් සිදුවන අතර රැකියාවේ උසස් වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉෂ්ඨ වනු ඇත. තරග විභාගවල නිරත අයට යහපත් ඵලද  අත්වනු ඇත. මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතුය. හදිසි ශරීර පීඩාද ඇතිවිය හැකිය.  කල්පනාකාරීව රිය පැදවීම්ද අවදානම් තැන්වල ගමන් කිරීමද නොකළ යුතුය.

මීන - වියදම් වැඩියි 

ඔබටත් මිශ්‍ර ඵල උදා කරන අවුරුද්දක් වේ. හදිසි කේන්ති ගති පාලනය කරගත යුතුයි. තමාගේ උත්සාහයේ තරමට ලැබෙන ප්‍රතිඵල අඩු අවුරුද්දක් වේ. අත්‍යවශ්‍ය අය ඇසුරට පත්වනු ඇත. විශාල අන්දමින් මුදල් වියදම් කිරීම් නොකළ යුතු අතර මුදල් පාඩු ඇතිවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ වූ අයගෙන් බාධා එල්ල වෙයි. විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙයි. හදිසි ශරීර පීඩා අනතුරු ඇතිවිය හැකි බැවින් රථවාහන ධාවනයේදී කල්පනාකාරී විය යුතු වසරක් වේ. අවිවාහක අයට තවදුරටත් මංගල යෝජනා ප්‍රමාද වනු ඇත. හෘදය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර ලබන අය පරිස්සම් විය යුතු අවුරුද්දකි.         

රාජ්‍ය සම්මානලාභී, ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජ්‍යොතිෂාචාර්ය 
රේණුක වික්‍රමසිංහ  
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය
28, ඔලබොඩුව, ගෝනපල