2018 ජනවාරි 13 වන සෙනසුරාදා

මරණයයි ’’A’’ තුනයි එකට බදාගත් ශෙහාන්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 170

කප්පරක් තරම් බලාපොරොත්තු තම දෑස් ඉදිරියේ ගොඩගැහෙද්දී ඒ බලාපොරොත්තු එක නිමේෂයකින් බිඳී ඉහිරී යාමේ කම්පනයෙන් මවුපිය දෙපළක් අදටත් දෑස්වලින් වැටෙනා කඳුළුත් සමඟ ඉකිබිඳ හඬති. ශාලිත ශෙහාන් දසුන් පෙරේරා... මේ පුංචි පවුලට ගෙන ආ සතුට එකල සුළුපටු නොවීය. නමුත් වසර දහනමයක් පිරෙද්දී ඔහු ගෙන ආ දෝමනස්සයන්ද අප්‍රමාණය. අද ශාලිත ශෙහාන් මළවුන් අතරය. නමුත් අම්මාගේත් තාත්තාගේත් පුංචි නංගීගේත් ලෝකයේ තාමත් ඔහු ජීවමානය. හදිසි හෘදයාබාධයකින් මෙලොවින් සමුගත්තද ශෙහාන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය තවමත් ඔහු එනතුරු බලා හිඳී.

ක්‍රිශාන්ත පෙරේරාගේත්, ලසන්තා රණවීරගේත් ජීවිතවලට එකතුවුණු ශාලිත ශෙහාන් දසුන් පෙරේරාගේ තනි නොතනියට වසර කිහිපයකට පසුව නෙත්මි පෙරේරා පවුලට එකතුවිය. කුඩා කල පටන්ම ශෙහාන් මව්පියන්ට කීකරු, සෙනෙහෙබර දරුවෙක් විය.

කළුතර මහා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ ශෙහාන් පාසල් ගුරුවරුන්ට කීකරු දරුවෙක් වූවේය. එමෙන්ම පාසලේ මිතුරන්ට ඔහු හිතහොඳ මිතුරෙක් විය.

මගේ පුතා මුලින්ම ගියේ කළුතර මහ විද්‍යාලයට. පුතා එක වසර ඉඳන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගත්තේ ඒ පාසලේ. පුතා ඉස්කෝලෙදී බාහිර ක්‍රියාකාරකම් බොහොමයකට සහභාගි වුණා. ක්‍රිකට් ගැහුවා. ඉස්කෝලේ කනිෂ්ඨ තූර්යවාදක කණ්ඩායමේ වගේම ජ්‍යෙෂ්ඨ තූර්යවාදක කණ්ඩායමෙත් හිටියා. එයා කළුතර විද්‍යාලයේ කෙඩෙට් කෙනෙක්. පුතා කළුතර විද්‍යාලයේදී තමයි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියෙ. O/L විභාගයෙන් පුතා ඉහළින්ම සමත් වුණා... ශෙහාන්ගේ පියා පැවසීය.

තම පුතණුවන් වියෝවී මේ වනවිට මාස තුන ගෙවී හමාරය. නමුත් පිය සෙනෙහස අදටත් එදා වගේමය. ක්‍රිශාන්ත තම පුතුගේ වියෝවෙන් ඒ අතීතය දිගහැර ගියද අදටත් ඔහු ඉකිගසා හඬයි. එදා දණ ගහ ගහ තම පියාගේ ඇඟිලි තුඩෙන් ජීවිතේ නැගිටින්නට අත්වාරුවක් වූ ශෙහාන් කාලයත් සමඟ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව අම්මාත්, තාත්තාත් තුරැලු කරගෙන සතුටු වුණ ඒ අතීතයට අදටත් ඒ තාත්තාගේ දෑස ඉදිරියේ පෙනේ. නමුත් ඒ හැමදෙයක්ම අද මිරිඟුවකි.

පුතා විභාගය කරලා ගෙදර ආවේ රජෙක් වගේ. එදා අපි හතර දෙනාටම හරි සතුටුයි. පුංචි කාලේ ඉඳන්ම එයා හරිම ආසාවෙන් හිටියේ නීතිඥවරයෙක් වෙන්න. ටික කාලයක් ගියාට පස්සේ එයා කිව්වා මම දේශපාලනය කරනවා කියලා. ඒත් අපි මුකුත් කිව්වේ නෑ. ආයෙත් ටික කාලයක් ගියාට පස්සේ පුතා කිව්වා මම දිසා විනිසුරු මහේස්ත්‍රාත් කෙනෙක් වෙනවා තාත්තේ කියලා... උසස් පෙළ ඉගෙන ගන්න අපි පුතාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කළා. පුතා ඒ ඉස්කෝලේදීත් හොඳට ඉගෙන ගත්තා. කෙඩෙට්වලට පුතා දියතලාවට පවා ගියා. පුතා කලා සංගමේ හිටියා. සාහිත්‍ය සංගමේ හිටියා....

ශෙහාන්ගේ පියා පැවසීය.

කොළඹ රාජකීය විද්‍යාලයේදී ශෙහාන් කලා විෂය ධාරාව හැදෑරුවේය. කුඩා කල සිටම බලාපොරොත්තුවක්ව තිබූ නීතිඥ ධුරය වෙත ළඟාවන්නට හොඳම මාර්ගය එය ලෙස ශෙහාන් සිතන්නට ඇත.

පුතා හරි කීකරු දරුවෙක්. එයා මටයි එයාගේ අම්මටයි හරි ආදරෙයි. ඒ වගේම එයා එයාගේ නංගිටත් හරි ආදරෙයි. සමහර වෙලාවට අපි අපේ දුවට කියනවා පුතා වගේ හැදෙන්න... පුතා වගේ ඉගෙන ගන්න එහෙම කියලා. මගේ පුතා ඒ වෙලාවට හරි ලස්සනට හිනාවෙනවා. අම්මගෙයි මගෙයි හිත රිද්දවල නෑ. අපේ විතරක් නෙමේ එයා කාගේවත් හිත රිද්දවන්න කැමැති නෑ. පුදුමාකාර හොඳ ගතිගුණ මගේ පුතාට තිබුණේ. එයා හරි ආසයි සෙල්ලම් කරන්න. ඇඟ වෙහෙසන්න... බාහිර වැඩවලට ඉස්කෝලේ කොච්චර ඉදිරිපත් වුණත් සහභාගි වුණත් එයා එයාගේ අධ්‍යාපන කටයුතු අඩාල කරගත්තේ නෑ. ඒ නිසා ඉස්කෝලේ ගුරුවරු පවා මගේ පුතාට ආදරෙයි. කිසිම ලෙඩක් දුකක් නැතිව හිටපු මගේ දරුවට වෙච්චි දෙයක්... ක්‍රිශාන්තට ඒ දිනය හොඳටම මතකය.

සැප්තැම්බර් 25 වැනි දින ලසන්තාගේත්, ක්‍රිශාන්තගේත්, නෙත්මිගේත් ජීවිතවල ආලෝකය නිවී ගියේය. හැමදාමත් ශෙහාන් තම මවටත් පියාටත් උදෑසන මෙන්ම රාත්‍රියේ නින්දට යාමට පෙරත් දෙපා අල්ලා වඳී.

සැප්තැම්බර් විසි පස්වැනිදා උදේ පහයි විසිපහට මං ගෙදරින් වැඩට යන්න කලින් පුතා ඇඳෙන් නැගිටලා මගේ කකුල් දෙක අල්ලලා දණගහලා වැන්දා. හැමදාම මගේ පුතා මට වඳින්නේ කකුල් දෙක අල්ලලා වුද්දිකාරෝ අලිංගිත්වා.. ගාථාව ඉවර වෙනකන්ම කියලයි. අනේ මගේ රත්තරන් පුතා එදත් මගේ කකුල් දෙක අල්ලලා ගාථාව ඉවරවෙනකන්ම කියලා වැන්දා. එයා වැඳලා නැගිට්ටට පස්සේ මම මගේ පුතාගේ මූණත් ඉම්බා. මාත් එක්ක පුතා කතාත් කළා. ඊටපස්සේ මම වැඩට ගියා. පුතා ආයෙත් ඇඳට ගිහින් තිබුණා. මම ගෙදරින් ගිහින් විනාඩි දහයක් යන්නත් කළින් ආරංචි වුණා පුතා ඇදගෙන වැටිලා කියලා.... පුතා ඇඳට ගිහින් නිදාගෙන. එයාට එහෙම්මම නින්ද යන්න ඇති. එහෙම්මම ඇඳෙන් බිමට වැටිලා තිබුණා. මුලින්ම පුතාගේ මරණයේදී විවෘත තීන්දුවක් තමයි දුන්නේ. නහර කැටිගැහිලා ලේ හිරවීම් කිසිදෙයක් වෙලා තිබුණේ නෑ. ඊට පස්සේ ආපු තීන්දුව වුණේ මාසයක් ඇතුළත පුතාට හෘද වස්තුවට වෛරසයක් ඇතුළුවෙලා. හෘද වස්තුවේ පේශි ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තිබුණා කියලා. පුතා නැතිවෙලා තිබුණේ හෘදයාබාධයකිනුයි....

ක්‍රිශාන්ත ඒ අමිහිරි මතකය අවදි කළේය.

පුතා එයාගේ නංගිට හරි ආදරෙයි. දුව ඉගෙන ගන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයේ. දුවත් හරි දක්ෂයි. මගේ පුතා උසස්පෙළ ලියලා ඇවිල්ලා එයාගේ A/L පොත්පත් වලින් නංගිට ඉගෙන ගන්න ඕන පොත් නංගිට දුන්නා. අනිත් පොත් ඔක්කොම මේසෙන් අයින් කළා. මම ආයෙත් පන්ති යන්නේ නෑ තාත්තා.... මට ෂුවර් මට ඒ තුනක් තියෙනවා. මම ඉංග්‍රීසි පන්තියකට විතරයි යන්නේ* කියලා කිව්වා. පුතාගේ මේසේ පෑනෙන් මම දවසකට අනිවාර්යයෙන් පැය අටක් පාඩම් කරනවා... මම අනිවාර්යයෙන්ම ලංකාවේ Art වලින් වැඩිම ලකුණු ගත්තු දෙසීය පනහ අතරට යනවා කියලා ලියලා තිබුණා. ඒක මම දැක්කේ පුතා අපිට නැතිවුණාට පස්සෙයි

ශෙහාන්ගේ ඒ බලාපොරොත්තුව අවසානයේදී හැබෑ වූවේය. විභාගයට මුහුණ දී රජකු වාගේ ගෙදර පැමිණි ශෙහාන් අ.පො.ස. උසස්පෙළ “ඒ” සාමාර්ථ තුනක් සහිතව ඉහළින් සමත් වූ බව දැනගන්නට ජීවතුන් අතර සිටියේ නැත. එමෙන්ම නීති පීඨයට ඇතුළත් වීමේ සම්පූර්ණ සුදුසුකම්ද ඔහු හිමිකරගෙන තිබුණද ඒ වනවිට ඔහු මෙලොව හැර ගොසිනි.

තමන්ගේ සාර්ථකත්වය දැකබලා සතුටුවන්නට ශෙහාන්ට වාසනාව නොලැබුණි. තම පුතා තුරුලු කරගෙන සතුටු කඳුළු වගුරන්නට සිටි ලසන්තාටත්, ක්‍රිශාන්තටත් දුක විතරක් ඉතිරි කර ශෙහාන් යන්නට ගියේය. ආවොතින් යායුතුයි නොගොසින් යළි එන්නට බැරිය. සියල්ල අවසානයේ සනාතන දහම එය නොවේද?

පාසල් දරුවන්ට හෘදයාබාධ හැදෙන්නේ කලාතුරකින්

- වෛද්‍ය නාමල් විජෙසිංහ

ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක පීඨය

කුඩා දරුවන්ට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉතාම අඩුයි. කුඩා දරුවන්ට හෘදයාබාධ ඇතිවන්නේ විවිධ රෝග, තත්ත්වයන් හේතුවෙන්. විශේෂයෙන් රැධිරවාහිනී ප්‍රදාහයට පත්වීමේ රෝග නිසායි. මෙවැනි රෝග නිසා සමහර විට කුඩා දරුවන්ට හෘදයාබාධ ඇතිවන්නට පුළුවනි. නමුත් මෙය ඉතාම කලාතුරකින් ඇතිවන තත්ත්වයක්. එමෙන්ම කුඩා කාලයේ සිටම දරුවන් කරනු ලබන එක් එක් ක්‍රියාකාරකම් නිසා පසුකාලීනව හෘදයාබාධ ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන් දරුවන්ගේ ආහාර පුරුදු, ජීවන පුරුදු කුඩා කල සිටම වෙනස් කර ගත්තේ නැතිනම්, වැරදි මාර්ගයේ යනවා නම් පසුකාලීනව හෘදයාබාධ ඇතිවන්නට පුළුවන්.

අද වෙද්දී තරුණ අයට හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉතා වැඩියි. දශක කිහිපයකට පෙර හෘදයාබාධ ඇතිවූයේ අවුරුදු 60-80ත් වයසේ පසුවූ වැඩිහිටියන්ට පමණයි. පසුකාලීනව බොහෝවිට හෘදයාබාධ ඇතිවන්නේ අවුරුදු 40-60ත් අතර අයටයි.  නමුත් වර්තමානයේදී අවුරුදු විසිපහත් හතළිහත් අතරේ අය තුළ හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා. තවම රැකියා කරන, ජීවිතේ ගොඩනගා ගන්නට උත්සාහ කරන තරුණ දරුවන් අකාලේ වැනසෙනවා. මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ ව්‍යායාම් අඩුවීම, ආහාර පාන, මෙන්ම මෙම තරගකාරී ස්වභාවය හේතුවෙන් මානසික ආතතිය වැඩිවීමයි. 
නමුත් කුඩා දරුවන්ට පාසල් යන දරැවන්ට හෘදයාබාධ ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින්.

පසුබිම් වාර්තා - කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි
දිශානි ජයමාලි කරැණාරත්න

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00