2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

පරණ ලංගම බස් අලුතෙන් හදන කොම්පැණිය

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

මෙලෙස බස් රථ අලුත්වැඩියා කර ඇති සමාගම වන්නේ ලක්දිව ඉංජිනේරු සමාගමයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ආකර්ෂණීය ගමනාගමන සේවා සඳහා දායකත්වය ලබාදීම ලක්දිව ඉංජිනේරු සමාගමේ දැක්ම වේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සඳහා සහනදායී මිලකට සහ උසස් තත්ත්වයේ බස් රථ අලුත්වැඩියා කිරීම මෙම සමාගමේ මෙහෙවර වේ. මේ අනුව ඔවුන්ගේ අරමුණ වන්නේ අඩු පිරිවැයක් සහ උසස් ප්‍රමිතියේ ගුණාත්මක සේවාවක් සඳහා මහජනතාවට ශ්‍රී ලංගම බස් රථ සේවාවන් සැපයීමට දායක වීමය.

1956 වසරේ ජනසතු කළ ලංගම බස් රථ සේවාවේ බස් රථ මෙහෙයුම් පද්ධතිය හා නඩත්තු පද්ධතියත් ඉතා ඉහළ මට්ටමක පැවැතුණි. මෙකල බස් රථ නඩත්තුවේ ප්‍රධාන අංශයන් දෙකක් පැවැති අතර එයින් දෛනික නඩත්තු කටයුතු ලංගම ඩිපෝව හරහාද, එලෙස ඩිපෝව හරහා සිදුකළ නොහැකි වූ නඩත්තු කටයුතු යළි පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන ආයතන දෙකක් ස්ථාපිත කෙරුණි. මෙයින් එක් නඩත්තු අංශයක් ජාඇළ ඒකළ ප්‍රදේශයේදීද අනෙක් වැඩපොළ වේරහැර ප්‍රදේශයේදීද ස්ථාපිත වුණි.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයට අනුබද්ධ, ලක්දිව ඉංජිනේරු (පුද්.) සමාගම ආරම්භ වන්නේ 1974 වසරේදීය. එය ඒකල මධ්‍යම වැඩපොළ නමින් හැඳින්වේ. අනතුරට ලක්වූ, දිරාපත් වූ බස් රථ ශක්තිමත් ලෙස අලුත්වැඩියා කර නැවත අලුත්ම තත්ත්වයෙන් පිටතට මුදාහරින්නට ලක්දිව සමාගමට වර්තමානයේදී හැකියාව ලැබී ඇත. බස් රථයක එන්ජිම හැර අනෙක් සෑම කොටසක්ම අලුතින් සැකසීම මෙහිදී සිදුවේ. ඒ අනුව බඳ, ආසන, වීදුරු රාමු, කුෂන්, විදුලි සැපයුම ආදී බස් රථයකට අවශ්‍ය සියලුම අලුත්වැඩියා කටයුතු මෙහිදී සිදුවේ.

ලක්දිව ඉංජිනේරු සමාගම මේ වනවිට මසකට බස් රථ පහළොවක් පමණ අලුත්වැඩියා කොට මිලියන විසිතුනකට ආසන්න ආදායමක් උපයන සමාගමකි. ඔවුන්ගේ උත්සාහය වන්නේ මසකට බස් රථ විස්සක් පමණ අලුත්වැඩියා කටයුතු කිරීම දක්වා ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටය.

මෙම ආයතනයේ වර්තමානයේදී සියයකට අධික පිරිසක් සේවය කරති. මේ බොහෝ සේවකයන් ඉතා කාර්යශූර, වසර ගණනාවක් තුළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිතය. මීට දශක කිහිපයකට පෙර ලක්දිව ඉංජිනේරු සමාගම කඩා වැටීමකට ලක්වූ මොහොතක එවකට නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍යවරයා වූ රෙජී රණතුංග මහතා ගැටලුවලට මැදිහත්ව අසරණව සිටි සේවකයන්ගේ ගැටලු නිරාකරණය කිරීමට උදව් වී තිබේ. පසුව අර්ජුන රණතුංග අමාත්‍යවරයාද මෙයට සම්බන්ධ විය.

“මම අමාත්‍යංශය බාරගන්නා විටදී ලක්දිව ඉංජිනේරු සංස්ථාව වැහෙන්න ඔන්න මෙන්න තිබුණේ. නමුත් ඉතා කෙටි කාලයකදී සමාගම ඉතා ඉහළ ජයග්‍රහණයක් පෙන්නුම් කළා. මුලදී මෙම සමාගම විසින් මාසයකට බස් රථ හතක් පමණ අලුත්වැඩියා කටයුතු සිදුකළත් වර්තමානයේදී මෙමගින් මාසයකට බස්රථ පහළොවක් පමණ අලුත්වැඩියා කරනවා. ඉදිරියේදී එය බස්රථ විස්සක් අලුත් වැඩියා කිරීම දක්වා වැඩිකිරීම අපේ අරමුණයි.” යැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

ලංගම බස් රථ අලුත්වැඩියාවෙන් නොනැවතුණු ලක්දිව ඉංජිනේරු සමාගම මේ වනවිටත් නව ව්‍යාපෘතියකට මුලපුරා ඇත. එනම් දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක් (එකෝ ටෙස්ට් මධ්‍යස්ථානයක්) ආයතන පරිශ්‍රයේ ආරම්භ කිරීමයි. අතහැර දමන ලද ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කොට එම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිකර ඇත.

ලක්දිව ඉංජිනේරු සමාගම අක්කර විසිපහක භූමි භාගයක් තුළ ඉදිවුණු වැඩබිමක් වන අතර මෙම සමාගමේ සභාපති ධුරය දරනු ලබන්නේ ඉංජිනේරැ ඊ.ඒ.ටී. එදිරිසූරියයි.

► දිශානි ජයමාලි කරුණාරත්න

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00