2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

මියන්මාරයේ මාධ්‍ය නිදහස අනාථයි

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනකු රාජ්‍ය රහස් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමේ වරදට මියන්මාර අධිකරණයක් විසින් වසර හතකට සිරගත කරනු ලැබීම පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍ය කැළඹූ සිද්ධියක් විය.

රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ගවේෂණය කරමින් සිටි වා ලෝන් සහ ක්යව් සෝ ඌ යන දෙදෙනා අත්අඩංගුවට පත්වූයේ පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ට සපයන ලද බව කියන නිල ලේඛන කිහිපයක් ද සමඟිනි. 32 හැවිරිදි වා ලෝන් මෙන්ම 28 හැවිරිදි ක්යව් සෝ ඌ ද, උතුරු රඛයින් හි පිහිටි ඉන් ඩින් ගම්මානයේ පුද්ගලයන් 10 දෙනකු හමුදාව විසින් මරාදමනු ලැබීම සම්බන්ධයෙන් සාක්ෂි රැස්කරමින් සිට තිබේ.

එම ගවේෂණය අතරේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් ලේඛන කිහිපයක් ඔවුන්ට දෙනු ලැබුවද පසුව ඒවා සමඟ ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබිණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුව විමර්ශනයක් කරන ලද බලධාරීහු, එවැනි ඝාතනයක් වී ඇති බව තහවුරු කර තිබේ. ඊට සම්බන්ධවූවන්ට එරෙහි පියවර ගන්නා බවටද ඔවුහු පොරොන්දු වූහ.

කුඩා දරුවන් ද සහිත පවුල් ඇති මේ මාධ්‍යවේදීන් දෙදෙනා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට පත්වූ තැන සිට සිරගත කර සිටියහ. තමන් නිර්දෝෂී බව දිගටම කියා සිටි ඔවුහු, මෙය පොලිසියේ සැලැස්මක් බව කීහ.

මෙම සිදුවීම මියන්මාරයේ මාධ්‍ය නිදහස පරීක්ෂාවට ලක්කළ අවස්ථාවක් ලෙස ජාත්‍යන්තරය තුළ කතාබහක් ඇතිවිය.