2018 මැයි 26 වන සෙනසුරාදා

ලෝක සාමය කල්යයි

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් අන් අතර පැවැත්වීමට තිබූ හමුව කල් දැමීමට සිදුවන බව ඇමරිකානු ජනාධිපතිවරයා  නැවත වතාවක් කියා තිබේ. ඊට හේතු ලෙස සඳහන් වන්නේ අමෙරිකාවේ අදාළ කොන්දේසිවලට උතුරු කොරියාව එකඟතාව පළ නොකිරීමයි. ලෝකය තුළ සාමයට වැදගත් බලපෑමක් කිරීමට  නියමිතව තිබූ මේ සාකච්ජා කල් යාම දැන් අන්තර්ජාතිකව තදබල විවේචනයට ලක්ව තිබේ.  

අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ. ඉන් පසුගියදා හමු වූ අවස්ථාවේදීය.

ජූනි මස 12 වැනිදා සිංගප්පූරුවේදී නායකයන් දෙපල හමුවන බවට පසුගිය කාලයේ  විදෙස් මාධ්‍ය වාර්තා පළවිණි. එසේම පසුගිය දින කිහිපය පුරා අමෙරිකාව හා උතුරු කොරියාව අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් පැවතුණි. අමෙරිකාව, දකුණු කොරියාව  සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයන්හි නිරතවීම සාමය සඳහා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග අපතේ හැරීමක් යැයි ද න්‍යෂ්ටික අවි අතහරින්න යැයි, අමෙරිකාව විසින් ඒකපාර්ශවිකව බලපෑම් කළහොත් ජූනි 12 වැනිදා දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු විය හැකි යැයි උතුරු කොරියාව දැඩිව අවධාරණය කර තිබේ.

න්‍යෂ්ටික අවි ශීර්ෂ කිහිපයක් සහ අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිල ඇතුළු තවත් අවි ආයුධ අයිතමයන් මාස හයක් ඇතුළත අමෙරිකාව වෙත එවන්නැයි එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පසුගිය දා උතුරු කොරියාවෙන් ඉල්ලීය. එවිට ත්‍රස්තවාදයට සහය දක්වන රටවල් ලැයිස්තුවෙන් උතුරු කොරියාව ඉවත් කරන බව ඔහු පැවසීය. මෙම ප්‍රකාශ සඳහා උතුරු කොරියාව යහපත් ප්‍රතිචාර දක්වා නොතිබිණි.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් අතර ඓතිහාසික හමුව අප්‍රේල් මස පැවැත්විණි.

එමෙන්ම මැයි මස ආරම්භයේදී නායක කිම් චීනයේ කළ දෙවැනි සංචාරයෙන් පසු ඔහුගේ ආකල්පමය වෙනසක් සිදුව ඇති බවත් ජනාධිපති ට්‍රම්ප් පැවසීය. තමන් විසින් සියලුම මිසයිල අත්හදාබැලීම් අත්හිටුවන ලද බව උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් පසුගිය අප්‍රේල් 21 වැනිදා පැවසීය.

න්‍යෂ්ටික ආයුධ අතහැරියහොත් උතුරැ කොරියානු නායක කිම් ජොන් අන් හට දිගටම බලයේ රැඳී සිටීමටත්, උතුරු කොරියාව පොහොසත් රටක් කිරීමටත් හැකි යැයි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00