2019 ජුනි 29 වන සෙනසුරාදා

අයිසිස් බෝම්බ ප්‍රහාර මැද ටියුනිස් ජනපති රෝහලේ

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

දැනට බලයේ සිටින ලොව වයස්ගතම ජනාධිපතිවරයා සහිත රට ලෙස සැලකෙන ටියුනීසියාවේ ටියුනිස් අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පොලිස් නිලධාරියෙක් මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබුවේය. ප්‍රහාර එල්ල වූ දිනයේදීම ටියුනීසියා ජනාධිපති බෙජී කේඩ් එසෙබ්සි ද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

92 හැවිරිදි එසෙබ්සි බලයේ සිටින ලොව වයස්ගතම ජනාධිපතිවරයා ලෙස සැලකෙයි. ඔහු පසුගිය සතියේදීත් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බව වාර්තා වුණි. මේ අතර ඔහු මියගිය බවටත් වාර්තා පළ වී ඇත. එහෙයින්ම ජනතාව ජනාධිපතිවරයාගේ තත්ත්වය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නතර කළ යුතු බව එරට අගමැතිවරයා අවධාරණය කර තිබුණි.

ටියුනීසියාවේ ටියුනිස්  අගනුවර ස්ථාන දෙකකදී ආරක්ෂක අංශ සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම ප්‍රහාර එල්ල කර තිබුණි. ටියුනීස් අගනුවර ප්‍රධාන වීථිවල මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් එක් බෝම්බකරුවෙකුගේ ඉල්ලකය විය. මේ අතර ඊට ආසන්න ප්‍රදේශයකදී සෙසු ප්‍රහාරය එල්ල වී තිබුණි. මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇත. මෑත වසරවලදී, ටියුනීසියාව ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරවලින් හා ආර්ථික ගැටලුවලින් පීඩා විඳින අතර විරුකියාව නිරන්තර ගැටලුවක් බවට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.