2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

දැන් මම ආණ්ඩුවේ ප්‍රේක්ෂකයෙක්

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 283

බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල

  • ආණ්ඩුවේ ඉඳන් විපක්ෂය වෙන්නත් සූදානම්
  • විමල්ට ගහන්නෙ දහම් පාසල් ගිය අය නෙවේ
  • ජනවරමට පිටින් වැඩ කරන අය එළියට දාන්න ඕන
  • අපි වැඩ කරන්නෙ බල්ලො වගේ නෙවේ සිංහයො වගේ
  • අපි නැතුව ගමන යන හැටි බලන්න ටිකක් පැත්තකට වුණා
  • මගේ ලෝකෙ ඉන්නෙ වීරයන් දෙන්නයි
  • පළාත් සභා ඡන්දය ජනවාරියට කල් යාවි

 

ගම්මන්පිල කියන්නේ මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරපු කෙනෙක්. හැබැයි අමාත්‍යංශයක් ලැබුණට පස්සේ දැන් වැඩිය පේන්නවත් නෑ. වැඩ වැඩි නිසාද? නැත්තම් බලය ලැබුණම පේන්න ඉන්න ඕන නැති නිසාද?

ආණ්ඩු බලය ලැබුණට පස්සේ කතා කරනවට වඩා වැඩ කරන්නයි අවශ්‍ය. මට ලැබිලා තියෙන්නේ දීර්ඝකාලීන වැඩ කරන්න පුළුවන් අමාත්‍යංශයක්. තෙල් ගෑස් කැණීම් කරන්න අවුරුදු හතරක් යනවා. තෙල් ගබඩා සංකීර්ණයක් ඉදිකරන්න අවුරුදු හතරක් යනවා. තෙල් නළ පද්ධතිය එලන්න අවුරුදු දෙකක් යනවා. ඉතින් මට ලැබිලා තියෙන්නේ එවැනි දිගුකාලීන වැඩ කරන අමාත්‍යංශයක්.

එහෙම නැතුව වෙන හේතුවක් නිසා නෙමෙයි පෙනී ඉන්නේ නැත්තේ?

අපි මේ ජාතිකවාදී බලවේගය බලයට ගේන්න අවුරුදු 20ක් වැඩ කළා. මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියා. කවදා හරි අපි නැතිවෙනවනේ. ඉතින් අපි නැතිව ඒ ගමන යන්නේ කෙසේද බලන්නත් අපි පැත්තකට වෙලා ඉන්න තීරණය කළා.

අපි නැතිව ගමනක් කියන්නේ ඇයි? උදය ගම්මන්පිල අලුත් ගමනක් යන්න ලෑස්ති වෙනවද?

නෑ. ආණ්ඩුවට විවිධ අභියෝග එල්ල වුණු සෑම අවස්ථාවකම අපි ඉදිරියට ඇවිත් ආණ්ඩුව රැක්කා. ඉතින් අපි නැතිව ආණ්ඩුවට අභියෝගයක් එල්ල වුණොත් ඒ වෙනුවෙන් අපි නැතිව කවුද ඉදිරිපත් වෙන්නෙ.. ඒ අය මොනවද කරන්නේ කියලා බලන්න තමයි අපි මේ ටික කාලයක් නිහඬව බලා ඉන්නේ. ඇත්තටම මම මේ කරන්නේ අලුත් අයට ඉඩ ලබාදීමක්.

ඔබලා ගෙනාපු ආණ්ඩුව බරපතළ විදිහට කෙටි කාලයක් තුළ විවේචනයට ලක්වෙනවා දැකලා තියෙනවා. ඒවා සත්‍ය හෝ අසත්‍ය වෙන්න පුළුවන්. ඒත් ඒ දේවල්වලට හරියට උත්තර දෙන්න කෙනෙක් නෑ වගේ පේන්නේ ආණ්ඩුවෙන්?

ආණ්ඩුව වෙනුවෙන් උත්තර දෙන අය ගොඩක් ඉන්නවා. ඒත් ඒ දෙන උත්‍තර කොච්චර සාර්ථකද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් මම ප්‍රේක්ෂකයෙක්නේ ආණ්ඩුවේ.

වගකීම්සහගත උත්තර ලැබීමක් ආණ්ඩුවෙන් පේන්නේ නෑ වගේ දැනෙනවා?

ආණ්ඩුවක් වෙනුවෙන් පිළිතුරු දීම විපක්ෂයේ කාර්යයට වඩා බැරූරුම් දෙයක්. වසර ගණනාවක දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ අපි කියන දේ නිවැරදි වෙන්න ඕන, තාර්කික වෙන්න ඕන, සාක්ෂි මත පදනම් වෙන්න ඕන. ඔය තුන නැතුව කට මැත දෙෙඩව්වොත් ආණ්ඩුව තියන තැනිනුත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්.

දැන් ඔබලා අමාරුවෙන් සටනක් දීලා මේ බලය ගත්තා. දැන් ආණ්ඩුවට අභියෝග එනකොට ඔබලා ප්‍රේක්ෂකයෝ හැටියට ඉන්නවා. හිතෙන්නේ නැද්ද මෙහෙම ඉඳලා වැඩේ වැරදුණොත් අර මහන්සිය ගඟේ ගියා කියලා?

ගඟේ ගියා කියලා තීරණය කරන්න තවම කල් වැඩියි. අපි නිහඬව බලා සිටීම හරහාත් ආණ්ඩුවට අපි පණිවිඩයක් දෙනවා කියලයි අපි හිතන්නේ. ආණ්ඩුව නිවැරදි වෙනවා නම් ලංකාවේ තිබුණු සුවිශේෂීම ආණ්ඩුව බවට මේක පත්වෙනවා.

ඔබ හිතන්නේ මොකක්ද ආණ්ඩුව ඉක්මනින් නිවැරදි කරගත යුතු මාර්ගය?

ආණ්ඩුව ජනවරමට අනුගතව වැඩ කළ යුතුයි. ඒ ජනවරමෙන් පිටට ආණ්ඩුව රැගෙන යන කෙනෙක් ඉන්නවා නම් ඒ අය තරාතිරම නොබලා එළියට ඇද දාන්න ඕන.

ජනවරමට පිටින් ආණ්ඩුව අරන් යන්න හදන කට්ටියක් ඉන්නවද මේ ආණ්ඩුවේ ඔබ දන්න හඳුනන?

ආණ්ඩුව ජනවරමට එකඟව කටයුතු කරනවා නම් 20 වැනි සංශෝධනය ඒ විදිහට ඉදිරිපත් කරන්න හැකියාවක් නෑ. ආණ්ඩුව ජනවරමට අනුව කටයුතු කරනවා නම් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 58 වැනි පිටුවේ නැගෙනහිර ජැටිය පිටරටකට දෙන්නේ නෑ කියන එක දැන දැන නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න උත්සාහ ගන්නේ නෑ. ඒ වගේ උදාහරණ ගොඩක් තියෙනවා. ඒ දේවල් පිටිපස්සේ කවුද ඉන්නේ කියලා හොයලා බලලා ඒ අය එළියට ඇදලා දැම්මේ නැත්තම් ආණ්ඩුවේ අනාගතය අඳුරු බව නම් කියන්න පුළුවන්.

මේ වෙන දේවල් දන්නවා නම්, ඒ දේවල් කරන අය දන්නවා නම්, ඒත් ඔබලා නිශ්ශබ්දව ඉන්නවා නම්, ඒ ලැබුණු 69 ලක්ෂයේ ජනවරම අහිමිවෙන්න ඉතාම කෙටි කාලයයිනේ යන්නේ කියලා හිතෙන්නේ නැද්ද?

වෙනස් විය යුතු පුද්ගලයන්, වැරදි කරන පුද්ගලයන් ගැන අපි නායකයන් දැනුවත් කරලා තියෙනවා. නායකයන් පියවර ගන්නා තුරු අපි උපේක්ෂාවෙන් බලා ඉන්නවා.

ඔබලව විශ්වාස කරලා ඡන්දය දුන්න මිනිස්සුන්ට අන්තිමේ කියන්න තියෙන්නේ එච්චරයිනේ

වැරදියි. අපි නිකම් බලන් ඉන්නවා නෙමෙයිනේ. ඒ බලා සිටින එක ඇතුළෙත් අරගලයක් තියෙනවා. 20 වැනි සංශෝධනය ගෙනාවේ මංගල කැබිනට් එකට. ඒකේ ඇතැම් කාරණාවලට විරෝධය පාලා, පස්සේ එළියෙත් ඊට විරෝධය පාලා, බරපතළ කාරණා සංශෝධනය කළා. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යද්දී අපි අරගල කරලා ඒක නවත්තගත්තා. ඒ නිසා අපි ජනවරම සුරුකීම වෙනුවෙන් හැමවෙලේම කටයුතු කරලා තියෙනවා.

ආණ්ඩුවේ සාමූහික වගකීමට පිටුපාලා ආණ්ඩුවේ ගමනට කකුල් මාට්ටු දානවා කියලා ඔබලට චෝදනා එල්ල වෙන්නේ මේ නිසා නේද ආණ්ඩුව ඇතුළෙන්ම?

ඇමැතිවරු විදිහට අපිට සාමූහික වගකීමක් තියෙනවා. ජනාධිපතිතුමාට අපිව ඇමැතිවරු හැටියට පත් කරන්න පුළුවන් වුණේ ජනතාව අපිව පත් කරපු නිසා. ඒ නිසා අපිට ඔය සාමූහික වගකීමට වඩා ජනතාවට වගකියන එක වටිනවා සහ බරපතළයි. ඒ නිසා අපි ප්‍රමුඛත්වය දෙන්නේ ජනවරම සුරුකීමට. මමත් විමල් වීරවංශ ඇමැතිතුමත් පසුගිය ජූලි 28 වැනිදා පොරොන්දුවක් දුන්නා ආණ්ඩුව ජනවරමට පිටුපාලා කටයුතු කළොත් එය රකින්න අපි ආණ්ඩුවේ ඉඳන් විපක්ෂය වෙනවා කියලා. අද අපේ තනතුරු අවදානමට ලක් කරලා ඉෂ්ට කරන්නේ ඒ වගකීම.

හැබැයි ආණ්ඩුව ගේන්න කටයුතු කළ ඔබ, විමල්, වාසුදේව කියන ඇමැතිවරුන්ට පසුගිය කාලයේ ගැහුවේ විපක්ෂයෙන් නෙමෙයි ආණ්ඩුව ඇතුළෙම පසුපෙළ මන්ත්‍රීවරු. ඒ ජනවරම රකින්න ගිහින්ද?

විමල් වීරවංශ ඇමැතිවරයාට පහරදෙනකොට ඒ වෙනුවෙන් විමල්ටත් වඩා ප්‍රතිචාර දුන්නේ මම. අපේ රට බෞද්ධ රටක්. සිදුහත් කුමාරයා බුදුවෙලා තමන්ට සෙවණ දුන්න ඇසතු බෝ රුකටත් දවස් හතක් අනිමිස ලෝචන පූජාව කළේ කෙළෙහි ගුණේ පාඩම උගන්නන්න. විමල් වීරවංශ මහත්තයට පහරදුන් අය, පහර දෙන්න කියපු අය නමට බෞද්ධයෝ මිසක් අඩුම ගාණේ දහම් පාසලේ එක වසරටවත් ගිය නැති අය කියන එක ලෝකයට පෙන්නුවා.

විමල් ඇමැතිවරයා කිව්වා මට පසුපෙළ මන්ත්‍රීවරු එක්ක ප්‍රශ්නයක් නෑ.. මේ අයව මෙහෙයවන අය එක්ක ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එහෙම මෙහෙයවන අය ඉන්නවද? 

කොළඹ නාගරික මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මාධ්‍ය හමුවක් තියලා මටත් විමල් ඇමැතිතුමාටත් බරපතළ ප්‍රහාර එල්ල කළා. ඒක ගැන මගෙන් මාධ්‍ය විමසුවා. ඒ වෙලේ මම දුන්නා උත්තරයක් මට කවුරු හරි පොල්ලෙන් ගැහුවොත් මම තරහ වෙන්නේ පොල්ල එක්ක නෙමෙයි පොල්ල අත දරාගෙන ඉන්න අත එක්ක කියලා. ඒ වගේම බල්ලෙක්ට ගලක් ගැහුවම බල්ලා බලන්නේ ගල දිහා. ඒත් සිංහයෙක්ට ගලක් ගැහුවම සිංහයා බලන්නේ ගල ආපු පැත්ත. ඒ නිසා අපි කටයුතු කරන්නේ බල්ලෝ වගේ නෙමෙයි සිංහයෝ වගේ.

ඒ කියන්නේ ගල වැදුණු තැන හොයන් ඉන්නේ වෙලාවට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න?

ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ නෑ. අපි වරදක් කළා නම් කළේ ජනවරම රකින්න කියලා ආණ්ඩුවට බල කරපු එක. ජනතාවගේ අයිතිය සුරුකීම දඬුවම් ලැබිය හැකි වරදක් නම් ඒක අපි විඳින්න ලෑස්තියි. මොකද අපි අන්තිමේ විසි වෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට.

විමල් වීරවංශට ගහද්දී අගමැතිතුමා කිව්වා මම විමල් ගැන දන්නවා.. ඒක නවත්තන්න කියලා. ඒ කියද්දිත් ගැහුවා. අගමැති කියන දේටවත් කීකරු නැතිවෙන්න තරම් ඔබලව පේන්න බැරිවුණේ කොහොමද?

තමන්ගේ උත්තරීතර නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන අය එතුමා කියන උපදෙස් නොපිළිගන්නේ එතුමා උත්තරීතර නායකයා කියලා කියන්නෙ බොරුවට නිසා.

මෙහෙම දේවල් වෙද්දි කලකිරීමක් නැද්ද? පසුපෙළ මන්ත්‍රීවරු ගහද්දි?

මිනිස්සු විදිහට කලකිරීම් ඇතිවෙනවා. මගේ ලෝකේ ඉන්නෙ වීරයන් දෙන්නයි. එක්කෙනෙක් බුදුන් වහන්සේ. අනෙක් කෙනා මහත්මා ගාන්ධි. ඔවුන්ගේ ජීවිතය ගැන කියවමින්, ඔවුන් මේ වගේ දේවල්වලට මුහුණ දුන්න ආකාරය ගැන කියවමින්, මම මගේ හිත හදාගන්නවා. ගාන්ධිතුමා දවසක් ප්‍රකාශ කළා බැණුම් අහන්න අකැමැති නම් සමාජ සේවයට එන්න එපා කියලා. වැරදි දේ වැරදි කියලා ප්‍රතිලාභයන් ප්‍රතික්ෂේප කිරීම තමයි මෙයට හේතුව.

මේ සියල්ල මැද්දේ ඔබේ පක්ෂය ඇතුළු ආණ්ඩුවේ සහෝදර පක්ෂ ගණනාවක් දැන් වෙනම එකතුවෙලා ඒ ඒ පක්ෂ කාර්යාලවල රුස්වීම් තියන්න යනවා. මොකද ඒ හදිසියේම?

ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ තනි තනිව අපි ඊට විරෝධය පෑවත් කැබිනට් එක ඇතුළේ එක අකුරක් සංශෝධනය කරගන්න බැරිවුණා. ඒක ජනවරමට පටහැණි නිසා අපි සාමූහිකව කටයුතු කරන්න තීරණය කළා. එදා තමයි මේ එකතුව බිහිවෙන්නේ. ජනවරමට කුමක් හෝ පටහැණි දෙයක් ඉදිරිපත් කළොත් ඊට එරෙහිව කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.

ආණ්ඩුව ජනවරමට පිටුපාන වැඩ කරයිද? එහෙම හිතෙන්න පුළුවන් ඡන්දය දුන්න මිනිහෙක්ට?

මේ දවස්වල අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා යෝජනාවක් ජනවරමට පිටුපාලා. ඒ තමයි පළාත් සභා මැතිවරණයේදී එක කොට්ඨාසයකින් එකම පක්ෂයෙන් අපේක්ෂකයෝ තුන්දෙනෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාවක්. ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන්නා මනාප ක්‍රමයට තිත තියනවා කියලා. ඉතින් ඒ පොරොන්දුවට පටහැණියි. ඉතින් මේ පක්ෂ ටික එක හඬින් ජනවරමට පිටින් යන දේවල්වලට කටයුතු කරන්න යන්නේ. අමුතු දෙයක් නෑ.

දැන් මේ එකතුවේ අවසානය වෙනම සන්ධානයක් වෙලා වෙනම පළාත් සභා තරග කරන්න නේද? ශ්‍රීලනිපය එහෙම යෝජනාවක් ගෙනාවනේ

නෑ. එහෙම යෝජනාවක් නෑ. දැනට අපේ තියෙන්නේ එකතුවක්. එහෙම සාකච්ඡාවකුත් නෑ. එවැනි තැනට මේ එකමුතුව තල්ලු නොවේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා.

පළාත් සභා මේ වසරේ තියෙනවද?

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න 19 වැනිදා පක්ෂ නායකයන්ගේ රුස්වීමක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙනවා. එතනදී ගන්න තීන්දුව අනුව තමයි පනත ඉස්සරහට යනවද නැද්ද තීරණය වෙන්නේ. එතනදි යම් ආකාරයෙන් සම්මත වුණා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඒක යන්න ඕන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට. දැනට තියෙන කෙටුම්පත වෘත්තීමය නීතිඥයෙක් හදල තියෙන බවක් පේන්න නෑ. ඒ නිසා වැඩ තියෙයි ගොඩක්. ව්‍යවස්ථාවට අනුකූලද බලන්න නීතිපතිට යන්න ඕන. නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියට එන්න ඕන. ඊට පස්සේ සති දෙකක් ගැසට් කරලා තියන්න ඕන ජනතාවට අධ්‍යයනය කරන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සතියක් ගියාට පස්සේ තමයි විවාදය කරන්න පුළුවන්. අඩුම ගාණේ මාස තුනක් යයි. ඊට පස්සේ සීමා නීර්ණ කමිටුවට මාස දෙකක කාලයක් දීලා තියෙනවා. අභියාචනාවලටත් කාලයක් යනවා. එහෙම බැලුවම අද සිට මාස හතකින් තමයි මැතිවරණයක් තියන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් මැතිවරණය තියන්න වෙන්නේ සාමාන්‍ය පෙළ කාලයේ. ඊට වීරෝධයක් ආවොත් ජනවාරි මාසයට කල් යනවා.

ඒ කියන්නේ මැතිවරණය තියෙන එකක්ම නැද්ද?

නෑ. සාමාන්‍යයෙන් ජනවාරි වෙද්දි තියන්න පුළුවන්.

මිනිස්සුන්ට දරන්න බැරි ජීවන බරක ඉන්නේ. ඒක සමහර ඇමැතිවරුන්ට විහිළුවක්. ඔබ පිළිගන්නවද මේක දරන්න බෑ කියලා?

අනිවාර්යයෙන්ම ඔව්. අපි ඒ ගැන අමාත්‍ය මණ්ඩල රුස්වීම්වලදි කරුණු දක්වලා තියෙනවා. ජීවන බර අඩු කරන්න ආණ්ඩුව විසින් කළ යුතු පියවරයන් දෙක පවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

මොකක්ද ඒ යෝජනා දෙක?

ආණ්ඩුව සිල්ලර මිල සම්බන්ධයෙන් ගැසට් ගහනවා. ඔබ කියනවා වගේ ඒ දේවල් දැන් විහිළුවක් වෙලා. හිටපු ගමන් මිල වෙනස් වෙනවා. මේකට හේතුව තමයි ආණ්ඩුව තොග වෙළෙඳාමේ නැතිවීම. ඒ නිසා සතොස හෝ වෙනත් ආයතනයක් තොග වෙළෙඳාමට අවතීර්ණ විය යුතුයි. දෙවැනි කාරණය තමයි දුප්පත් ජනතාවට ලබාදෙන සමෘද්ධි සහනාධාරය ඉහළ නැංවීම. ඔය කාරණා දෙක ඉටු කළොත් බඩගින්න ප්‍රශ්නය විසඳන්න පුළුවන්.

අවසාන වශයෙන් අහන්නේ යම් විදිහකින් ආණ්ඩුව ජනවරමට පිටුපාලා යන්න ගියොත් ඔබලා ගන්න පියවර මොකක්ද?

මේ ආණ්ඩුවට බලය දෙන්න කියලා ජනතාවට කිව්වේ අපි. අපිව විස්වාස කරලා ජනතාව බලය ලබා දුන්නා. මේ ආණ්ඩුව ජනවරමට පිටින් යන්නේ කියලා බැණලා දුවන්න අපිට ලේසියි. ජනතාව අපෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ජනතාව බලය දුන්නනේ අවුරුදු පහකට. තව තුනහමාරක් තියෙනවා. අන්න ඒ ඉතිරියත් ආණ්ඩුව එක්ක ආණ්ඩුවේ ගමන නිවැරදි කරමින් ගමන් කිරීම තමයි අපේ බලාපොරොත්තුව.

 ගයාන් ගාල්ලගේ