අපේ රටේ රාජ්‍ය සේවයේ ඇතැම් ප්‍රධානීන් දූෂිත වළල්ලේ ඇණ, මුරිච්චි බවට පත්ව ඇති බවට විශාල කථිකාවක් කාලයක සිට රැව් දෙමින් තිබිණි. දේශපාලන බලවතුන්ට එරෙහිව වංචා, දූෂණ චෝදනා මැතිවරණ වේදිකාවේ උණුසුම් සටන් පාඨ බවට පත්වන විට ඔවුන් සමඟ එකට රැඳී සිටින රාජ්‍ය සේවයේ ලොක්කන් සමූහයක්ද ඒ ජරා වැඩට සම්බන්ධ බවට රටේ ජනතාව අතර ප්‍රබල මතයක් ගොඩනැගිණි. තිබුණු ආණ්ඩු පෙරළී අලුත් ආණ්ඩු බිහිවීමට මේ දූෂිත වළල්ලේ ක්‍රියාකාරකම් ප්‍රබල උත්තේජනයක් සපයා තිබූ බව පැහැදිලිය.
දැන් මේ රටේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා රිමාන්ඩ් හිරේය. පොලිස්පති ද අත්අඩංගුවට ගනු ලැබ දැන් ඇප මත නිදහස්ව තමන්ට එරෙහි විසමාචාර චෝදනා පිළිබඳ පාර්ලිමේන්තුව පත් කළ කොමිසම ඉදිරියේ විභාග වන විමර්ශනයට සහභාගි වෙමින් සිටී. අත්අඩංගුවට පත්වීමට පෙර තමන්ගේම පොලිසියේ නිලධාරීන් තමන් සොයා රටම පීරන විට දවස් 18 ක් සැඟවී සිටීමට පොලිස්පතිට සිදුවිය. එමෙන්ම මෙරට හිටපු ආගමන විගමන පාලකවරයා දැන් ඉන්නේ හිරේය. ඔහුගේ තනියට පසුගියදා සහකාර කොමසාරිස්වරයකු ඇතුළු තවත් නිලධාරීන් තිදෙනකුට හිරගෙදර යාමට සිදුවූයේ පාතාලයකුට පාස්පෝට් හොරෙන් හදා දුන් බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙනි.
මේ ලැයිස්තුව එතැනින් නවතින්නේ නැත. ආර්.එම්.වී. කන්තෝරුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් සහ තවත් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් වශයෙන් ලබාගත් බවට සැක කරන රුපියල් ලක්ෂ 41 ක මුදලක් ද සමඟ අල්ලස් කොමිසමේ නිලධාරීන්ට කොටුවූහ. ඔවුන්ද දැන් සිටින්නේ හිරගෙදරය. මේ හැර තවත් රාජ්‍ය සේවයේ හිටපු ඉහළ නිලධාරීන් ගණනාවකට එරෙහිව දූෂණ ක්‍රියා සම්බන්ධ චෝදනා විමර්ශනය කෙරෙමින් පවතී. තවත් කිහිප දෙනෙක් රිමාන්ඩ් භාරයට පත් වී පසුව ඇප මත නිදහස් වී පැමිණ නඩු විභාගවල සාක්ෂි දීම සඳහා වරින් වර උසාවියට එති. අදහන්නත් අමාරු වුණත් මේ අපේ රටේ රාජ්‍ය සේවය සම්බන්ධ සැබෑ තත්වය මිස මවාපෑමක් නොවන බව සඳහන් කළ යුතු නැත. මෙහෙම රාජ්‍ය සේවයක් තිබූ රටක් බංකොලොත් වීම ගැන එක අතකින් පුදුම විය යුතු නැත.
රාජ්‍ය සේවයේ බහුතරයක් දෙනා හොඳින් ඉතා කාර්යක්ෂමව සහ අවංකව තම රාජකාරිය ඉටුකරන නිලධාරීහු වෙති. නමුත් කාලයක් තිස්සේ දේශපාලන බලපෑම් හරහා ජරාවට හුරු කරවනු ලැබූ පිරිසක් මේ රාජ්‍ය සේවය කැත කරමින් සිටි බව ඉහත සඳහන් සිදුවීම්වලින් රටම දැන ගනිමින් සිටී. මෙය ඉතා ඛේදජනක තත්වයක් බවත් දේවකාරියක් සේ රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ මුල්බැස තිබූ අදහස් සීසීකඩට යමින් තිබෙන බවත් පැහැදිලිය. ශ්‍රී ලංකාව යනු දූෂණය සහ වංචාව ඉහවහා ගිය රටක් වශයෙන් ජාත්‍යන්තරය තුළ මුල්බැස තිබූ මතය එයින් තහවුරු වීම රටේ ප්‍රතිරූපයට පවා සිදු කරන්නේ බරපතළ හානියක් බවත් කිව යුතුය.
එපමණක් නොවේ. මෙවැනි දූෂිත රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන ඉරණම අසන, දකින රාජ්‍ය සේවයේ අවංක නිලධාරීන් පවා එයින් කම්පනයට පත්ව තමන්ගේ රාජකාරි වගකීම් ඉටුකිරීමට බිය වන තත්ත්වයක්ද නිර්මාණය විය හැකි බව රජයේ බලධාරීන් අවබෝධ කර ගැනීම අවශ්‍යය. ඇතැම් විට එවැනි තත්වයක් නිර්මාණය වීම හේතුවෙන් රාජ්‍ය සේවය අඩපණ වීමට පවා හැකියාවක් තිබෙන බවද සමහර නිලධාරීන් කිසිදු වගකීමක් භාර ගැනීමෙන් වැළකී සිටීමට පවා ඉඩක් තිබෙන බවද වටහා ගත යුතුය. එය නිසැකවම රාජ්‍ය සේවයේ තිබිය යුතු කාර්යක්ෂම බව බරපතළ අනතුරකට ඇද දැමීමට පවා හේතු විය හැක.
මෙහිදී රජයේ ඉහළම බලධාරීන් පැහැදිලිව අවංක රජයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රබල සහතිකයක් ලබාදීම අවශ්‍ය වනු ඇත. රාජකාරිය ඉටුකිරීම අනාගතයේදී උසාවි ගාණේ රස්තියාදු වීමටත් ඊටත් වඩා මාංචු පිටින් බන්ධනාගාර බස් රියවල නැගී යාමට සිදුවනු ඇති බවටත් වන බිය ඔවුන් තුළින් තුරන් කළ යුතු වෙයි. සැබෑ ලෙසම බිය විය යුත්තේ දූෂිත සහ වංචනික ක්‍රියාවල නිරතවන්නන් පමණක් බවට වන සහතිකය අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතුය. රාජ්‍ය සේවය දූෂණයෙන් තොර විය යුතු බවට ජනාධිපතිවරයා පසුගිය අවස්ථා දෙක තුනකදීම ප්‍රකාශ කර තිබිණි. දූෂණයට හිස නොනමන රාජ්‍ය සේවකයන් රකින බවට වන සහතිකය ද ඒ සමඟින් ලබා දුන්නා නම් එය අවස්ථාවේ හැටියට රාජ්‍ය සේවයට ප්‍රාණ වායුව පිඹීමක් වනු ඇත.
එසේම ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබූ පරිදි මෙරට ක්‍රියාත්මක “කළු යාන්ත්‍රණය” බිඳ දැමීමේ කාර්යයේදී රාජ්‍ය සේවකයා අතේ තිබෙන්නේ ඉහළම වගකීමකි. පසුගියදා අත්අඩංගුවේ සිට ඇප ලැබූ හිටපු රාජ්‍ය නිලධාරිනියක් උසාවිය හමුවේ කියා තිබූ කතාව ද මෙහිදී සිහිපත් කරනු වටී. “අපට කටයුතු කිරීමට තිබුණේ රස්සාවත් ජීවිතයත් දෙකම බේරාගෙනයි.” මේ ගැන රජය විශේෂ අවධානයක් යොමුකළ යුතුය.