2025 ජුනි 21 වන සෙනසුරාදා

සජිත් සහ ජීවන්

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 171

දේශපාලන ජයග්‍රහණයක් කියවා ගැනීම ජයග්‍රාහී පක්ෂයේ නායකයාට හරිම පහසුය. ජාතික මැතිවරණයක්, පුංචි ඡන්දයක්, නැත්නම් පසුගිය 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ සිදුවීම වැනි අවස්ථාවක් පමණක් නොව පක්ෂය ඇතුළේ ගහන කැරලිවලදී ඔලුව බේරාගත් අවස්ථාවකදී වුවද එම ජයග්‍රහණය කළ ආකාරය තේරුම් ගැනීම ජයග්‍රාහක නායකයාට අමාරු නැත. හැබැයි පරාජයකදී එහෙම වෙන්නේ නැත.

පරාජයක් හරියට කියවා ගැනීමට දේශපාලන පක්ෂයක නායකයකුට හරිම අමාරුය. කොහොම කියවා ගත්තත් පරාජය ලැබුවේ තමන්ගේ ක්‍රමවේදයේ කොතැනක හෝ සිදුවූ වැරැද්දක් හේතුවෙන් බව පිළිගැනීමට පරාජිත නායකයා පෙළඹෙන්නේ නැත. කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ දිනන්න ගහන දේශපාලන ගේම් පොඩ්ඩ වැරදුණොත් හොම්බ බිම ඇනගන්න සිදුවෙන බව පිළිගැනීමට නායකයන් කැමැති නැත. කොටින්ම අතේ පත්තුවෙන ගේමක් ගහන්න ගිහින් පැරදිලා කෑගසනවාට වඩා විපක්ෂයට වෙලා කාලයක් ඉන්න එක කොයිතරම් හොඳයිද කියන එක බොහොමයක් නායකයන් තේරුම් ගන්නේම නැත. අද සජබට වෙලා ඇත්තේ නායක සජිත් ඒ වැරදි පාර තෝරා ගැනීමේ පල විපාක විඳීමටය.
මේ තත්ත්වය පහුගියදා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් විස්තර සහිතව කියා තිබුණි.

“රනිල් වික්‍රමසිංහ මහතා වගේම සජිත් ප්‍රේමදාස මහතාත් බලය සහ නායකත්වය අත්හැරීමට කැමැත්තක් දක්වන්නෙ නෑ. පක්ෂයක අයිතිය තිබෙන්නේ මේ දෙන්නට විතරද? පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට වගකීම් බෙදා දීමක් සිදුවිය යුතුයි. පක්ෂයේ ඉහළ මට්ටමේ අභ්‍යන්තරික වෙනසක් කඩිනමින් සිදුකළ යුතු වෙනවා.”

මෙහෙම කතා ගණනාවක් කියූ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඉතා වැදගත් ප්‍රකාශයක් තමන්ට සිදුකිරීමට තිබුණත් මේක ඒ සඳහා වෙලාව හෝ අවස්ථාව නොවන බවත් ඉදිරියේදී එය ප්‍රකාශ කිරීමට තමන් කිසිසේත් නොපැකිලෙන බවත් කිව්වේය.
වෙලාව ආවාම චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියන්න යන දේ සජබ නායක සජිත්ට ගුණ ගායනාවක් නම් නොවන බව සහතිකය. නායකයෝ බොහොමයක් දේ තේරුම්ගත යුතුව තිබෙන බවද ඔහු කියා තිබීමෙන් සජිත්ගේ නායකත්වය තමන් අගය නොකරන බවට වක්‍රව ඉඟියක් ලබා දී තිබෙන බව පැහැදිලිය. චමින්ද විජේසිරි මේ නොකියා කියන්නේ සජිත් සජබ නායකත්වය අත්හල යුතුය කියන එකද?

කොළඹ නගර සභාවේ බලය අල්ලන්න යාමෙන් පක්ෂ නායකයකු හැටියට තමන් කරගෙන ඇත්තේ දේශපාලන වශයෙන් “හරා කිරි” කරගැනීමක් බව සජිත්ට දැන් නොතේරෙනවා නම් පුදුම විය යුතුය. පුංචි ඡන්දයට කලින් දේශපාලන වශයෙන් විවිධ කඳවුරුවල සිටි දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමඟ සභාවල බලය අල්ලා ගැනීමට නායකත්වය දීම ප්‍රතිපත්තිමය වශයෙන් සජිත් ගත් වැරදි තීන්දුවකි. ඔහු දුරදක්නා නායකයකු නම් කළ යුතුව තිබුණේ ඒ වැඩේට ඍජුව සම්බන්ධ නොවී ගමේ ආණ්ඩු ගමෙන් තේරුණු මන්ත්‍රීලාට එකතු වී හදාගන්නැයි උපදෙස් ලබා දීමය. එහෙම උපදෙස් දෙමින් තිරය පිටුපස සිට නිසැකවම බලය පිහිටුවිය හැකි සභාවල බලය පිහිටුවා ගැනීමට උදව් කිරීමය. නමුත් ඒ වෙනුවට සජිත් කළේ කුමක්ද?
පුංචි ඡන්දෙට කලින් මාලිමාවට එරෙහිව විපක්ෂයේ පක්ෂ සමඟ සන්ධානගත වීමට සජිත් වචනයකින්වත් සහාය දැක්වූයේ නැත. ඔහු යූ.එන්.පීයත් එහි නායකත්වයත් දැඩිව විවේචනයට ලක් කළේ තමන්ට ඒ පක්ෂය සමඟ සාකච්ඡාවක් හෝ අවශ්‍ය නැතැයි යන ස්ථාවරයේ සිටිමිනි. රාජපක්ෂලා නායකත්වය දෙන පොදුජන පෙරමුණ හොරුන් තක්කඩින් සිටින පක්ෂයක් බවට දැඩිව විවේචනය කළ සජිත් එම පක්ෂය සමඟ කිසිදු සන්ධානයක් අවශ්‍ය නැති බව පැවසුවේය.

ඒ වගේම රාජපක්ෂලාට රැකවරණය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවට ද ඔහු දැඩිව චෝදනා කළේ රනිල් ජනාධිපති ධුරය ලබාගැනීමට සහ එය රැකගැනීමට රාජපක්ෂලාගේ සහාය ලබාගත් බව කියමිනි.

මෙහෙම යූ.එන්.පීයටත් පොහොට්ටුවටත් බරපතළ චෝදනා කරමින් සිටි සජිත් පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ නිහඬ විය. එකතුවෙලා ඡන්දය ඉල්ලමු කියා යූ.එන්.පීය පැත්තෙන් යෝජනා එවන විට ඒවා ගණන් නොගෙන සිටියේය. ප්‍රතිඵල ආවාට පසු යූ.එන්.පීයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අන්තිමට විපක්ෂ නායක කාර්යාලයට ගොස් සජිත්ව හමුවූහ. එහිදී යම් එකඟතා ඇති කරගත් බවද ප්‍රකාශ විය. ඒ වුණත් කිසිම සන්ධානයකට එකඟත්වයක් හදාගන්න බැරි විය.

කොහොම වුණත් මාලිමාවට 50% ගන්න බැරි වූ සභාවල බලය ගැනීමට යූ.එන්.පීය සමඟ පමණක් නොව හොරුන්, දූෂිතයන් කියා හංවඩු ගැසූ පොදුජන පෙරමුණ සමඟ ද එකතු වීමට සජබ ගත් තීන්දුව ද හේතු වුණේ සජිත්ගේ නායකත්වය ශක්තිමත් කිරීමට නොව දුර්වල කිරීමටය. පාක්ෂිකයන්ගෙන් පවා දොස් අසන තැනකට සජිත් තල්ලු විය. ජනාධිපතිවරණ දෙකකින් සහ මහ මැතිවරණ දෙකකින් පරාජය වී සිටින නායකයකු වන සජිත් මේ වෙලාවේ කල්පනා කරන්න තිබුණේ මේ ජාතික දේශපාලනයේ ලොකු වෙනසක් කරන්න බැරි පළාත් පාලන ආයතනවල බල පොරයට එකතු වී ආයතන 100 ක පාලන බලය අතට ගන්නා බවට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම නොව බලය ලබාගත හැකි ආයතනවල බලය ලබා ගැනීමෙන් සෑහීමකට පත් වී සෙසු ආයතනවල බලය පවතින අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමය. නමුත් සජිත් නොකළේම එයයි.

කොළඹ නගර සභාවේ බලය අල්ලන්න ගිහින් සජබ පස්ස බිම ඇනගත්තේ ඒ හරි තීන්දුව නොගැනීමේ හේතුවෙනි. මෙතැනින් එහාට කොළඹ නගර සභාව පිහිටුවා ගත්තේ ආණ්ඩුව ලොකු ගේමක් ගහලා වැනි කතා කීමෙන් පලක් නැත. නගරාධිපති වැඩ බාරගෙන නගර සභා පාලනය ඇරඹීමෙන් පසුව කොළඹ ජනතාව බලා ඉන්නේ විපක්ෂයේ කරුණු පැහැදිලි කිරීම් අහගන්න නොව අලුත් නගරාධිපති වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනය. නගර සභාවේ මීට කලින් තිබූ පාලන කාලවලදී ජනතාවගේ බදු මුදලින් සිදුවී ඇතැයි කියන මුදල් ගසාකෑම්, දූෂිත, වංචනික ක්‍රියා පිළිබඳ තොරතුරු දැන ගැනීමටය.

කොළඹ තම මැතිවරණ බල ප්‍රදේශය බවට පත් කරගෙන සාර්ථක දේශපාලන ගමනක යෙදී රටේ ජනාධිපති ධුරය දක්වා පැමිණි තම පියා වූ ආර්. ප්‍රේමදාස දේශපාලන චරිතය හරියට කියවාගෙන තිබුණා නම් සජිත් කොළඹ නගර සභාවේ නැති බලය අල්ලන්න කවදාවත් පෙළඹෙන්නේ නැත. ආර්. ප්‍රේමදාස මහතාත් තම දේශපාලන ජීවිතයේ ඕනෑතරම් ගේම් ගැසූ අයෙකි. හැබැයි ඔහු ඒ ගේම් ගැහැව්වේ දිනන්න මිස පරදින්න නොවේ. එසේ නොවුණා නම් ජේ.ආර්. වැනි සටකපට, ශක්තිමත්, දරදඬු ජනාධිපතිවරයකුගේ රජයේ දෙවැනියා වශයෙන් අග්‍රාමාත්‍ය ධුරය ද රැකගෙන වැඩ කිරීමට සමත් වන්නේ නැත. තමන්ට එරෙහිව තමන්ගේ කැබිනට් මණ්ඩලයම ගැසූ දෝෂාභියෝග කැරැල්ලෙන් බේරෙන්නේත් නැත. ඒ උදාහරණ දෙකක් පමණි. ඒ වගේම ආර්. ප්‍රේමදාස කවදාවත් තමන්ට බලයක් නැති තැන්වලට අත දාන්න ගොස් අත පුච්චා ගත්තේත් නැත.

මෙවර කොළඹ නගර සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව පිළිබඳ හරි වැටහීමක් ඇතිව ආණ්ඩුවේ බලය ගැන තක්සේරුවක්ද හදාගෙන මේ ගේමට බැස්සා නම් සජිත් කවදාවත් මේ අමාරුවේ වැටෙන්නේ නැත. ඔහුට නැති වෙන්නේ කොළඹ මහ නගර සභාවේ බලය පමණි. නමුත් දැන් පක්ෂය ඇතුළේ මහ ජංජාලයකි. පක්ෂ මහලේකම් රටේත් නැත. මන්ත්‍රීවරු පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය බවට ප්‍රසිද්ධියේ අදහස් දක්වති. ආසන සංවිධායකවරු අස්වෙති.

කොළඹ ප්‍රතිඵලය අනුව මාලිමාවට 50% හිමි නොවුණත් සභික ධුර 48 ක් දිනාගෙන වැඩිම බලයක් සහිත පක්ෂය බවට පත්ව සිටියේය. ඒකට අභියෝග කළ සජබට තිබුණේ සභික ධුර 29 ක් පමණි. ඒ අනුව බලය පිහිටුවීමට මාලිමාවට අවශ්‍ය වුණේ තවත් සභිකයන් 11 ක් වනවිට සජබට සභිකයන් තවත් 30 ක් එකතු කරගත යුතුව තිබුණි.

මේ සංඛ්‍යාලේඛන හරිහැටි කියවා ගත්තා නම් දේශපාලනයෙන් තවම තෙම්පරාදු චරිතයක් නොවුණත් සජිත් කළ යුතුව තිබුණේ එහෙන් මෙහෙන් අටවාගෙන තමන් විසින්ම දැඩිව දෝෂාරෝපණයට ලක් කළ පක්ෂවල මන්ත්‍රීන් සමඟ ලොවෙත් නැති සන්ධාන ගහගෙන නැති බලයක් ගන්න වෙර දරනවාට වඩා කොළඹ නගර සභාවේ පාලනය ගෙන යාමට මාලිමාවට ඉඩ දී එහි නිරීක්ෂකයන් බවට පත්වීමට තීන්දු කිරීමයි. එහෙම කළා නම් සජිත් දුරදක්නා නායකයකු හැටියට කවදා හෝ සජබ පාක්ෂිකයන් අතර පමණක් නොව සෙසු මධ්‍යස්ථ මතධාරීන් අතර ද දේශපාලන වශයෙන් විශාල ජනප්‍රියත්වයක් අත්කරගත හැකිව තිබිණි. ඒ සඳහා වසර කිහිපයක් කැප කිරීම තමන්ගේ පක්ෂයත් විනාශ කරගෙන තමනුත් විනාශ වෙන මේ තීන්දුව ගත්තාට වඩා හැම අතින්ම හොඳය.
තමන් සමඟ සිටින තම දේශපාලන සගයන් මොනවා කිව්වත් සජිත් කල්පනා කළ යුතුව තිබුණේ පක්ෂයේ නායකයා වශයෙන් මිස සගයන් අතරින් කෙනකු හැටියට නොවේ. ඒ වගේම වැඩේ ගැස්සුණාට පසුව පළාත් පාලන ආයතන කොමසාරිස්ට නඩු පවරන බවට තර්ජනය කිරීමද පලක් නැත. මොනම රාජ්‍ය නිලධාරියකු වුවද බලයේ සිටින ආණ්ඩුවක් සමඟ දේශපාලන ගේම්වලදී හැප්පෙන්න යන්නේ නැත. ඔවුන් කරන්නේ ඒ ඒ අවස්ථාවලට උචිත ආකාරයට කටයුතු කිරීම පමණි.

මෙහිදී ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් ලබා දී තිබෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්ය. මහ මැතිවරණයේදී තම පක්ෂය ලද පරාජය ඔහු හොඳින් කියවාගෙන තිබෙන බව පෙනී යයි. ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කිරීමේදී කළ වැරදි කිසිවකුත් අනුමත කරන්නේ නැත. එහෙත් ඔහු පළාත් පාලන ආයතන බලය බෙදා ගැනීමේදී දක්වා ඇති පරිණත බව සජිත් කොළඹ වැඩේදී පෙන්වූ පරිණත බවට වඩා බෙහෙවින් උසස්ය. සමහර විට ජීවන් තොණ්ඩමන් මේ අවස්ථාවේදී කොංග්‍රසය ගත යුතු හොඳම තීන්දුව ගැන රනිල් වික්‍රමසිංහ සමඟත් මහින්ද රාජපක්ෂ සමඟත් සාකච්ඡා කළා දැයි කියන්නත් බැරිය.

ජීවන් කළේ තම බල ප්‍රදේශ තුළ මාලිමාව වැඩිපුර සභිකයන් සංඛ්‍යාවක් දිනාගත් ආයතනවලදී ආණ්ඩුවට සහාය ලබා දී පැත්තකට වීමය. තමන්ට අවශ්‍යම ආයතනවල සභාපති ධුර කිසි කරදරයකින් තොරව ලබා ගැනීමට මේ නිසා කම්කරු කොංග්‍රසයට හැකියාව ලැබුණි. මාලිමාව මෙහිදී දැම්මේ එක කොන්දේසියක් පමණි. කිසිදු දූෂණ චෝදනාවකට ලක් වූ අයකුට සභාපති ධුර ලබා නොදිය යුතු බව එම කොන්දේසිය විය. එය කිසිදු විවාදයකින් තොරව ජීවන්ලා එකඟ වී තිබිණි. ඒ ගැන පුදුම විය යුතු නැත.

වතුකරයේ බලය තම අතින් ගිලිහී නොයන්නට නම් එකතු විය යුත්තේ මහ මැතිවරණයෙන් පරාජය වූ පක්ෂ සමඟ නොව ආණ්ඩු බලය තිබෙන මාලිමාව සමඟ බව ජීවන් තොණ්ඩමන් පැහැදිලිව තේරුම් ගෙන තිබේ. තමන්ගේ වතුකර ප්‍රජාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට නොහැකි වුණොත් ඊළඟ මහ මැතිවරණයට මුහුණ දීමට තිබෙන අපහසුතා ජීවන් හොඳින්ම වටහාගෙන තිබේ. බලයේ සිටින ආණ්ඩුව සමඟ හැප්පී වතුකරයේ පළාත් පාලන ආයතනවල බලය ගත්තාට වැඩක් නැති බව ජීවන් තේරුම් නොගත්තා නම් පුදුම විය යුතුය.

ජීවන් තොණ්ඩමන් තේරුම්ගත් මේ තිත්ත ඇත්ත සජිත් ප්‍රේමදාස තේරුම් නොගැනීම අනාගත ජාතික දේශපාලනය තුළ ලොකු රික්තයක් ඇති කරන බවට පෙරනිමිති පහළ වෙමින් තිබේ. මාලිමා ආණ්ඩුවට ඉදිරි කාලයේදී දේශපාලන වශයෙන් සටනක් දීමට නම් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සජබ ශක්තිමත් විය යුතුය. එහි නායකත්වයට දුරදක්නා නුවණක් තිබිය යුතුය. කොළඹ නගර සභාව තුළ නැති බලයක් ලබා ගැනීමට ගොස් සජිත් නැතිකර ගත්තේ ඒ ශක්තියයි. ඒ නායකත්වයයි.

  ශශීන්ද්‍රි

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00