2025 ජුනි 28 වන සෙනසුරාදා

මළ මිනියකටත් සැත්කමක්!

 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

වෛද්‍යවරුන් - විශේෂඥ වෛද්‍යවරුන් අපරාධ චෝදනාවලට චූදිතයන් වන්නේ කලාතුරකිනි. ඒ අතුරින් විශේෂඥ වෛද්‍යවරුන් වඩාත් විරලය. වෘත්තීමය වශයෙන් සිදුවිය හැකි වරදකදී හැර සිතාමතා කළ හැකි වැරදිවලට ඔවුන් හසුවන්නේම නැති තරම්ය.

මේ සියලු සම්මතයන් බිඳ දැමෙන සිද්ධියක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වාර්තා වීම ඛේදවාචකයකි. චිත්‍රපටයක කතාවක් දිගහැරෙන්නා සේ උසාවියේ හෙළි කෙරෙන තොරතුරු හරහා දැනට වාර්තා වෙමින් තිබෙන්නේ එම රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය වශයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරිය මොළය මියගිය රෝගීන්ටද ඇයට අයත් බව කියන ආයතනයක් හරහා වෛද්‍ය උපකරණ විකුණා ඇති බවය. එසේ විකුණා ඇත්තේ රුපියල් 46,500 කට විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට තිබෙන උපකරණය රුපියල් 120,000 සිට 250,000 ක් පමණ වන වැඩි මිලකට බව ද සඳහන්ය.

මේ සිද්ධිය සම්බන්ධව තවමත් උසාවිය හමුවේ ප්‍රකාශ වන්නේ මූලික විමර්ශනවලට අදාළ තොරතුරු බැවින් අදාළ චූදිත වෛද්‍යවරිය සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ලබාදීමට අපි ඉක්මන් නොවෙමු. නීතිය හමුවේ එම බරපතළ අපරාධය අදාළ වෛද්‍යවරියගේ වැරැද්දෙන් සිදුව ඇති බවට ඔප්පු වනතුරු ඇය එම ක්‍රියාදාමයේ සැකකාරියක් පමණක් බව ද සඳහන් කරමු.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය වන්නේ මෙරට තරමක් ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරියක වූ මහේෂි විජේරත්න මහත්මියයි. ඇය මාධ්‍ය හරහා වරක් ඉහළම මට්ටමින් කතාබහට ලක්වූයේ හිටපු ප්‍රකට දේශපාලකයකු වූ දුමින්ද සිල්වා මහතා හිසට බරපතළ තුවාල ලබා ජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ අවස්ථාවේ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරිය වශයෙනි. එවක පටන් දක්ෂ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරියක වශයෙන් රට පුරා නමක් ඇති කරගෙන තිබූ ඇය මේ අන්දමේ අපරාධ චෝදනාවකට සැකකාරිය වීම බරපතළ ඛේදවාචකයකි. දෛවයේ සරදමකි.

උසාවියේදී අල්ලස් කොමිසම සඳහන් කර තිබූ අන්දමට සැකකාර විශේෂඥ වෛද්‍යවරිය තම පෞද්ගලික ආයතනය හරහා අලෙවි කරන ශල්‍ය උපකරණ රෝගීන්ට විකිණීම අරමුණු කරගෙන මොළය මියගිය රෝගීන්ට පවා ශල්‍යකර්ම කර තිබේ. එවැනි රෝගීන්ගේ මරණ පරීක්ෂණ අනුව රෝගියාගේ මොළය මියගොස් දින පහකට පසුව රෝගියාගේ හදවත යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක කර මොළයේ සැත්කම් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. එය සත්‍යයක් නම් එවැනි ශල්‍යකර්ම සිදුකිරීමේ එකම අරමුණ රෝගියකුගේ ජීවිතය ගලවා ගැනීම නොව තමන්ගේ බඩගෝස්තරය සොයා ගැනීම පමණි. එවැනි පහත් තත්ත්වයකට මෙවැනි උගත්, බුද්ධිමත් වෘත්තිකයන් පත්වීම පිළිබඳ අපට දැනෙන්නේ මහත් කනගාටුවකි.

වෛද්‍යවරුන් ඇතැම්විට විවිධ ඖෂධ නිෂ්පාදන සමාගම්වල අතකොලු බවට පත්වෙමින් විවිධ වරදාන ලබාගන්නා බව ප්‍රසිද්ධි රහසකි. ඔවුන් රෝගියා ලබාගත යුතු ඖෂධය ඖෂධීය නාමයෙන් නොව සමාගමේ නාමයෙන් බෙහෙත් තුණ්ඩුවේ ලියා දෙන්නේ එම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සඳහා ලැබෙන එවැනි වරදාන හේතුවෙනි.

සැකකාර විශේෂඥ වෛද්‍යවරිය ද සිදුකර ඇතැයි පැවසෙන්නේ එහිම දිගුවකි. එනම් රෝහලේ වාර්ෂික ඖෂධ හා උපකරණ ලැයිස්තුවට මොළයේ සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය වන උපකරණ දෙකක් ඇතුළු නොකර තබා ගනිමින් ඒවා පිටතින් ගන්නා ලෙසට රෝගීන්ට නියම කිරීමයි. එම උපකරණ ලබාගත හැක්කේ අහවල් ආයතනයෙන් බවද පවසා ඇති අතර එකී ආයතනය ඇය සතු බව ද සඳහන්ය.

ඒ ආකාරයට එය සිදුවී නම් එය සංවිධානාත්මකව සිදුකර ඇති දූෂිත ක්‍රියාවකි. එවැනි දූෂිත ක්‍රියාවලට නීතියෙන් දඬුවම් ලැබිය යුතුය. එපමණක් නොව එම අනීතික දූෂිත ක්‍රියාව හේතුවෙන් අගතියට පත් රෝගීන්ටද වන්දි මුදලක් ලබාදීම පවා සිදුවිය යුතුය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා කොළඹ ජාතික ස්නායු ශල්‍ය අංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති වැඩමුළුවකදී කළ ප්‍රකාශයක් ද මෙහිදී සිහිපත් කළ යුතුය. ඔහු පවසා තිබුණේ අත්‍යාවශ්‍ය ඖෂධ රෝහල් පද්ධතිය තුළ නොමැති විට රෝගී ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වා ගැනීමට ඒවා ප්‍රාදේශීයව මිලදී ගැනීමට කටයුතු කිරීමේ වරදක් නැති බවය. එහෙත් එය පූර්ණ විනිවිදභාවයෙන් සිදුකිරීම ද අවශ්‍ය බවත් ඔහු කියා තිබිණි.

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වඩාත් අවධානය දැක්වීම අවශ්‍ය බව අපි ද සිතමු.

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:00