මැදපෙරදිග ඇවිලෙන යුද්ධයේ බිහිසුණු බව මුළු ලොවම වෙළා ගනිමින් තිබේ. වරෙක ත්‍රාසය ද තවත් වරෙක කම්පනය ද විසින් මිහිතලය මත වෙසෙන සියලු ජනතාවට ඊශ්‍රායල – ඉරාන යුද්ධයේ භයානක පණිවුඩය පිළිබඳ ප්‍රබල හැඟීමක් ලබා දෙමින් පවතී. මේ යුද්ධයේ අවසානය කෙසේ වේදැයි කිසිවෙක් නොදනිති. නමුත් බර අවි වලින් පොහොසත් දෙරටක් අතර යුද්ධයේ කෙළවර ලොවම දවා අළු කරවන තරමට වුවද භයානක විය හැකි බව යථාර්ථයයි.
මේ දෙරට අතරින් ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සිටින්නේ ඊශ්‍රායලයේ බැවින් ඊශ්‍රායලයට වැටෙන හැම බෝම්බයක්ම ශ්‍රී ලාංකිකයන්ගේ හදගැස්ම වැඩි කරවන බව කිවයුතු නැත. මේ සටහන තබන මොහොත වනවිට ශ්‍රී ලාංකිකයන් පස්දෙනකු තුවාල ලබා සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික තානාපති නිමල් බණ්ඩාර මහතාගේ ප්‍රකාශයක සඳහන් විය. එමෙන්ම රැකියා සඳහා එරටට ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව විසිදහසක් පමණ වන බව විදේශ ඇමැති විජිත හේරත් මහතා සඳහන් කරයි. මේ සියලු දෙනා කිසිදු අතුරු ආන්තරාවකින් තොරව යුද්ධය අවසන් වනතුරු නිරුපද්‍රිතව වෙසෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනයයි. කෙසේ වුවද යුද්ධය තවත් බරපතළ අතට හැරුණොත් එරට ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට හැකි හැමදෙයක්ම කරන බවද විදේශ ඇමැතිවරයා කියා තිබිණි.
ඉරානයේ ද ශ්‍රී ලාංකිකයන් සුළු පිරිසක් වෙසෙන බවද සඳහන්ය. ඒ අයටද කිසිදු අනතුරක් සිදු නොවේවැයි ප්‍රාර්ථනය කරමු.
මේ යුද්ධය වඩාත් බිහිසුණු අතකට පෙරළෙනු ඇති බවට වන පෙරනිමිති පසුගිය සති මැද වනවිට පහළ වෙමින් තිබිණි. එයින් වඩාත්ම කැපී පෙනුණේ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් යුද්ධය “කටගැස්මක්” කර ගැනීමත් සමඟිනි. ඔහු ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට ඉරාන නායක අයතුල්ලා කමේනි මරන්න හැකි වුවත් එය නොකළ යුතු බවය. එසේම ටෙහෙරානයේ වෙසෙන සියලු ජනතාව වහාම නගරයෙන් පිටවිය යුතු බවය. ඉරානයේ ගුවන් සීමාව පවතින්නේ ඊශ්‍රායලයේ පාලනය යටතේ බවද ට්‍රම්ප් කියා තිබිණි. කෙසේ වුවද යුද්ධයට අමෙරිකාව ඍජුවම මැදිහත් වන්නේද යන ප්‍රශ්නයට ඔහු ඍජු පිළිතුරක් නොදීම ද කැපී පෙනුණි.
එහෙත් චීනය කියා තිබුණේ අමෙරිකාව මේ යුද ගැටුමට අත දැම්මොත් තම රට ඉරානය වෙනුවෙන් පෙනී සිටින බවය. රුසියාවේ ස්ථාවරය ඍජුවම ප්‍රකාශ නොවුණත් ඔවුන් කිසි කලෙකත් ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි සිතන්නත් බැරිය. ඒ සමඟ ලොව බලවත්ම ධනවත් රටවල් 07 ම නායකයෝ මේ යුද්ධයේදී ඊශ්‍රායලය සමඟ තමන් සිටින බවට ප්‍රකාශයක් නිකුත් කළහ. ඉරානයට න්‍යෂ්ටික අවි නිපැයුමට කිසිසේත් ඉඩක් නොතැබිය යුතුය යන ස්ථාවරයේ එම නායකයෝ රැඳී සිටිති.
ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද්ධය හැකි ඉක්මනින් නිමවිය යුතු බවට කතා දෙකක් නැත. නමුත් එසේ නොවී යුද්ධය දිග්ගැස්සෙන්නත් ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් උදා වුවහොත් එය ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට බරපතළ ප්‍රතිවිපාක ඇති කරවනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවකු වන ඉරානය සමඟ සිදුකෙරෙන ගනුදෙනු නැවතීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තීරණාත්මක බලපෑමක් ඇතිකිරීමට වුවද ඉඩ තිබේ.
ලොව බොහොමයක් කුඩා සහ ධනවත් නොවන සෑම රටක්ම මැදපෙරදිග ඇවිලෙන යුද්ධය හමුවේ දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ. ඒ අතර අමෙරිකාව සහ යුරෝපයේ ප්‍රධාන රටවල් යුද්ධය තම ප්‍රධාන මාතෘකාව බවට මේ දිනවල පත් කරගෙන සිටී. තෙල් මිල දරුණු ලෙසට ඉහළ යාමේ අනතුර ද දැන් අත ළඟය. එය ලොවේ සෑම රටකටම බලපානු ඇත.
ඉරානය වහාම කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ තර්ජනාත්මක ප්‍රකාශයට ඉරාන නායකයා ලබාදුන් පිළිතුර ද යුද්ධය පිළිබඳ මවන්නේ බියකරු චිත්‍රයකි. ඔහු ප්‍රකාශ කර තිබුණේ ඉරානය කවදාවත් යටත් නොවන බවත් ගැහැව්වොත් ගහන බවත්ය. මෙවැනි ප්‍රකාශ ඇවිලෙන ගින්නට පිදුරු නොව පෙට්රල් දැමීමක් වශයෙන් හැඳින්වීම වඩාත් සුදුසුය.
එසේම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ නායකයන්ට සහ වැසියන්ට බරපතළ අනතුරු සිදුවුවහොත් එය බරපතළ ඛේදවාචකයක ආරම්භය ද විය හැකිය. එහි අනෙක් පැත්තද එසේමය. ඊශ්‍රායලයට ඉරානයෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වී මහ විනාශයක් සිදුවුණොත් එය ලොව සියලු බලවතුන් එකට සිටගන්නා ඉතා දරුණු සටනක ආරම්භය විය හැකිය. එය එසේ නොවන්නැයි ප්‍රාර්ථනය කරනු හැර අප වැනි රටවල් කුමක් කරන්නද?