සරත්... අපි ඔයාගේ ගම්පළාත ඉඳන්ම මේ කතාබහ පටන් ගනිමු...?
ඔව්... මම මාගම්මන කියන ගමේ හත්ලාගොඩ කියන අනුග්‍රමයේදී තමයි උපන්නෙ. අදටත් මම පදිංචිවෙලා ඉන්නෙ එහෙමයි. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි විතරයි. අද මගේ අම්මා ජීවතුන් අතර නෑ. පවුලේ එකම පිරිමි ළමයා විදිහට තමයි මම පවුලට එකතු වුණේ.
පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කෙ...?
එහෙම ලොකු හීනයක් මගේ හිතේ තිබුණේ නෑ. අපේ පන්තියේ සමහර කොල්ලන්ට ඔය දොස්තරවරු වෙන, නීතිඥවරු වෙන උණක් තිබුණට මට එහෙම හීනයක් තිබුණේ නෑ. හැබැයි කවදාහරි දවසක ලෝකයට බරක් නැති හොඳ කෙනෙක් වෙන්න මට ඕනවුණා. හැබැයි පුංචි කාලේ ඉඳන් උස පැනීම වගේ මළල ක්‍රීඩා කළා. හැබැයි ඉගෙනගෙන මළල ක්‍රීඩකයෙක් වෙන ටාගට් එකක්වත් මගේ ඔළුවේ තිබුණේ නෑ.
ඔබ ඉගෙන ගත්ත පාසල මොකක්ද...?
මම ගමේ ඉස්කෝලවලින් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. මුලින්ම පහ වසර වෙනකම් දීපන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයට ගියා. ඊටපස්සෙ බ්‍රාහ්මණගම ශ්‍රී මේධානන්ද මහ විද්‍යාලයට ගියා. ඊටත් පස්සෙ උසස් පෙළ සුභද්‍රාරාම විද්‍යා ආයතනය. ඒක පිරිවෙණට අනුබද්ධ පාසලක්. ඉතින් පාසල් තුනක අධ්‍යාපනයක් ලබපු මම අද කලාකරුවෙක් වෙලා. ඒ ගැන ඇත්තටම සතුටුයි.
පාසලේදී ඔබ මොනවගේ චරිතයක්ද...?
හිතාගන්නවත් බැරි චරිතයක්. ක්‍රීඩා කටයුතුවල පොඩ්ඩක් නිරතවෙලා වැඩ කළාට මම මගේ පාඩුවේ හිටපු චරිතයක්. පිට්ටනියේ නිතරම හිටපු චරිතයක්. හැබැයි අනවශ්‍ය දඟ චරිතයක් වුණෙත් නෑ. පාසලේදීනම් කලා මාධ්‍යයට පොඩ්ඩක්වත් මගේ සම්බන්ධයක් තිබුණේ නෑ. පාසල් වේදිකාව මට ආගන්තුකයි. මට මතකයි ඉස්සර හැම මාසයකම සිකුරාදා පාසල් රැස්වීම් වෙලාවේදී මොනවහරි දේකට දාවි කියලා මම ඒ දවසට ඉස්කෝලෙ යන්නෙ නෑ. ගොඩක් වෙලාවට සිකුරාදා දවසේ උදේට මට මොකක්හරි බොරු අසනීපයක් හැදෙනවා. පාසල් වේදිකාව මට නුහුරු තැනක් වුණා. ඇත්තටම පාසල් කාලෙදී මට ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න මොකක්දෝ සබකෝලයක් තිබුණා.
නාට්‍යවලට සම්බන්ධ වුනේ කොහොමද...?
උසස් පෙළ විභාගය සමත්වෙලා මම රස්සාවල් කිහිපයක්ම කළා. මට මතක හැටියට මම රස්සාවල් 18 ක් විතර කළා. ජීවිතේ ඒ අපූරු කාලය මට අමතක වෙන්නෙ නෑ. අවුරුදු හය හතක් වගේ කාලයක් ඇතුළත තමයි මම ඔය හැම වැඩක්ම කළේ. ගෙවල්වලට ගිහින් අලුත් උපකරණ හඳුන්වාදීලා ඒවා විකිණුවා. හෝටල්වල වැඩ කළා. මට මතක හැටියට මගේ මුල්ම රස්සාව වුණේ කිරි කැපිල්ල. අපේ ගමේ කිරි කපන රස්සාව හොඳටම තිබුණා. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මම අපේ වත්තේ කිරි කැපුවා. ඉතින් එහෙම කැපුවාම මගේ අම්මා පොඩි කාසි ටිකක් මගේ අත මිට මොළවනවා. ඒක මට ඒ කාලේ හරියට වටිනවා. මගේ තාත්තා රැකියාව විදිහට රබර් එක්කාසු කළා. අපේ ගමේ විතරක් නෙමේ, අහල ගම්වලටත් උදේ හවස ගිහින් තාත්තා රබර් කිරි එක්කාසු කළා.
කිරි කපනවට අමතරව සරත් තාත්තගේ රස්සාවටත් උදව් කළා...?
ඔව්.. ඔව්... අපිට තිබුණු රබර්වල කිරි බොහොමයක් කැපුවේ මම. මට මතකයි හැමදාම හැතැප්ම හතක් විතර ගිහින් රබර් කිලෝ අසූවක විතර ගෝනිමලු දහයක් පහළොවක් මම අපේ බයිසිකලේ ගැටගහගෙන අරගෙන එනවා. ඒක හරි අමාරු වැඩක්. අද කාලේ වගේ ඒ කාලේ මේ පාරවල්වල තාර දාලා තිබුණේ නෑ. පාරවල් පිළිවෙළට හදලා තිබුණෙත් නෑ. ඉතින් ගොඩක් වෙලාවල්වල ගෝනිමලු ෆුට් බයිසිකලේ බැඳගෙන හැතැප්ම ගණන් බයිසිකලේ තල්ලුකරගෙන එන වෙලාවල් තියෙනවා. ඉතින්... ඒ එක ගමනකට තාත්තා මට රුපියල් පහක් දුන්නා. ඒ ගාණ මට ඉතින් ඇතිත් නෑ. මදිත් නෑ. ජීවිතේ මම රස්සාවල් කරන්න පටන් ගත්තෙ තාත්තා ඒ දුන්න රුපියල් පහෙන් තමයි.
ඔය කාලෙදීම ඔබ ගමේ නාට්‍යයක් කළා නේද...?
ඔව්... 1989 දෙසැම්බර් මාසෙ 30 වැනිදාත්, 31 වැනිදාත් තමයි අපි ඒ නාට්‍ය ගමේ පෙන්නුවේ. ගමේ හතළිහක් විතර තරුණයන් පිරිසක් එක්කාසුකරගෙන තමයි අපි ඒ නාට්‍ය පෙන්නුවේ. ඒකට ප්‍රධානතම හේතුව වුණේ අපේ ගමේ දහම් පාසලේ පොඩි පුස්තකාලයට ඕන කරන පොත්පත් ගන්න. මමයි මගේ ගමේ යාළුවෙකුයි එකතුවෙලා නාට්‍ය පිටපතකුත් ලිව්වා. ඉතින් කොහොමහරි හොඳ පිටපතක් ලියැවුණා. ගමේ හැමෝම ඒ නාට්‍ය ලස්සනයි කියලා කිව්වා. ඒ ලැබුණු ප්‍රතිචාරත් එක්ක කලාවට තිබුණු ආසාව මගේ වැඩිවුණා. ඔය කාලෙදී මම පෞද්ගලික ආයතනයක ගබඩා සහකාරකයෙකු විදිහට වැඩ කළා.
ඒ කියන්නෙ... ඒ වෙද්දී සරත් ඒ රස්සාවට කැමැත්තෙන්ද හිටියෙ...?
පිස්සුද... ඒ රස්සාවත් මට එපාවෙලා තිබුණේ. නිවාඩුවක් ඇත්තෙම නෑ. ඉරිදාට වරුවක් විතරයි නිවාඩු තිබුණේ. ඒ වෙද්දී මම විවාහවෙලා හිටියෙ නෑ. ඒ නිසා ලොකු වගකීමක් හිතේ තිබුණේ නෑ. ඒ නිසා ආයෙ ආයෙත් හිතන්නෙම නැතිව මම ඒ රස්සාවෙන් අයින්වුණා. එහෙම රස්සාවෙන් අයින්වෙලා මම කලාව ඉගෙන ගන්න යොමුවුණා. අපේ ඉස්කෝලවල කලා විෂයට චිත්‍ර විෂය විතරයි. අද කාලේ වගේ නාට්‍යකරණය විෂයක් විදිහට පාසල්වල ඒ කාලේ තිබුණේ නෑ. මේ නිසා කලාව ඉගෙන ගන්න මට ලොකු ආසාවක් ඇතිවුණා. ඒ නිසා අවුරුදු දහයක් මම මේ කලා විෂය හැදෑරුවා.
කරපු රස්සාවෙන් අයින්වෙලා කලාව පූර්ණකාලීනව අවුරුදු දහයක් ඉගෙන ගැනීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද..?
අම්මෝ... පුදුමාකාර අභියෝගයක් වුණා. අපි ලොකු සල්ලිකාර දරුවෝ නෙමේ. ඒ වගේ පවුලක තරුණ දරුවෙක් රස්සාවක් නොකර ඉඳීම ඇත්තටම ලොකු වැරැද්දක්. මම මුලින්ම ගුවන් විදුලි සංස්ථාවේ පාඨමාලාවක් හැදෑරැවා. ඊටපස්සෙ තරුණ සේවා සභාවේ ඇතුළු ලංකාවේ බොහෝ නාට්‍ය පාඨමාලා මම හැදෑරුවා. අවුරුදු දහයක් පුරාවට ලංකාවේ තිබුණු හැම වැඩමුළුවක්ම මම කළා. මේ අවුරුදු දහය පුරාවට කලාව ඉගෙන ගන්න මිස හොඳ නිර්මාණයක රඟපෑවෙත් නෑ. හැබැයි ඒ අතරේ යාළුවන්ගෙ කෙටි චිත්‍රපට කිහිපයකම රඟපෑවා. තරුණ සේවා සභාව හරහා තිබූ නාට්‍යවල කෙටි නාට්‍ය උළෙලවල තිබූ නාට්‍යවල පවා මම රඟපෑවා.
ඒ අවුරුදු දහය බොහෝ දුෂ්කර කාලසීමාවක් වෙන්න ඇති...?
ඔව්... අතිශයින්ම දුෂ්කරයි. ඒ අවුරුදු දහය මුලදී ගෙවල්වලින් වුණත් එහෙම ලොකු සහයෝගයක් ලැබුණේ නෑ. ඒකෙ ඇත්තටම වරදක් මම දකින්නෙ නෑ. අත් පා හතර හොඳට හැදුණු උස් මහත් වුණු තරුණ කොල්ලෙක් රස්සාවකුත් නැතිව ආතක් පාතක් යද්දී මොන අම්මා තාත්තාද කැමති වෙන්නෙ. ඉස්කෝලෙ යන කාලෙදී තාත්තගේ වැඩවලට උදව් වුණාට ඉස්කෝලෙන් පස්සෙ මගෙන් ඒ වැඩ මඟහැරුණා. උදේ පාන්දර අම්මා ඔතලා දෙන බත් එකත් බැඳගෙන පාන්දර බස් එකේ නැඟලා මම කොළඹ ආවා. ඒ ඇවිත් වැඩමුළුවලට, පුහුණුවීම්වලට සම්බන්ධවෙලා ආයෙමත් මහ රෑ බස් එකේ ගෙදර යනවා. ඔය කාලෙදී මම වීදි නාට්‍යවලටත් සම්බන්ධ වුණා. සමහර දවස්වලට කිසිම හේතුවක් නැතිව කොළඹ ඇවිත් මම තැන් තැන්වල නාට්‍යවල වැඩ වෙනුවෙන් රස්තියාදු වුණා. මම එක්ක ඉගෙන ගත්තු ගමේ යාළුවෝ බොහෝ දෙනෙක් ඒ වෙද්දී හොඳ රස්සාවල් පවා කළා. ඒ අතරින් සමහරු මම නඟින බස් එකේම උදේ නැඟලා මාත් එක්ක කොළඹ ගියා. ඒ අයට යන්න තැනක්, කරන්න වැඩ කොටසක්, ජීවිතේ අරමුණක් තිබුණට ඒ වෙද්දී ඒ කිසිම දෙයක් නැතිව මම ඉබාගාතේ ඒ බස් එකේම නැඟලා කොළඹ ආවා. මේ නිසාම සමහරදාට මගේ අම්මට තාත්තාට වුණත් මගේ වැඩ නිසාම කලකිරුණු අවස්ථා තිබුණා. මොනවද මේ උඹ කරන්නෙ... රස්සාවක් හොයාගනිං කියලා කියපු සහ එහෙම නොකිව්වට හැමදාමත් හිතේ තියාගෙන කතා කරපු දවස් අනන්තවත් තිබුණා.
මගේ අම්මා තමයි ඒ අවුරුදු දහයෙම හැමදාම උදේට බස් එකට යන්න එන්න සල්ලි දුන්නෙ. උදේට දෙන කෙසෙල් කොළෙන් බැඳපු බත් එක මගේ බඩගින්න නිව්වා. අම්මා මට උදේට බත් මුලයි එයා කිරි කපලා ලැබෙන සොච්චම් මුදලෙන් කාසි ටිකකුයි දෙන්නෙ හරියට රස්සාවකට යන පුතෙකුට දෙන දෙයක් විදිහටයි. ඔය කාලෙදී මට හොඳ යාළුවෝ පිරිසකුත් ළංවෙලයි හිටියෙ. ඉතින් ඒ අයත් මට උදව් කළා. අම්මාගෙන් බත් එක නොලැබෙන කාලෙදී යාළුවන්ගෙ බත් මුල මගේ කුසගිනි නිව්වා. ඔය අවුරුදු දහය පුරාවට මම සල්ලි හෙව්වේ නැතිවුණාට මිනිස්සුන්ව ජීවිතයට ළංකරගත්තා. කලාව ඉගෙන ගත්තා. ඇත්තටම මගේ ජීවිතේ සුන්දරම කාලය තමයි ඒ අවුරුදු දහය. මම ජීවිතේ ඉගෙන ගත්තෙ ඒ අවුරුදු දහයෙන් තමයි. සමහරදාට මම කොළඹට බස් එකේ යන්නෙ සල්ලි දෙන්නෙ නැතිව හොරෙන්. හැමදාම රෑට හෝමාගමෙන් හරි කොට්ටාවෙන් හරි බැහැලා මම ගෙදරට පයින් තමයි එන්නෙ. කිලෝමීටර් අටක් වගේ දුරක් මම හැමදාම රෑට පයින් ආවේ. සමහරදාට ගෙදර එද්දී පාන්දර එකයි දෙකයි. හැබැයි හැමදාම පහුවදා පාන්දර ආයෙමත් කොළඹට යනවා. ඒ කාලේ ඇත්තටම දුෂ්කර වුණාට හරි සුන්දරයි.
කලාව ඉගෙන ගත්තු ඔබ ඊටපස්සෙ රංගනයට එකතු වුණා...?
ඔව්... වීදි නාට්‍යවලට සම්බන්ධවෙන කාලෙදී මට හොඳ යාළුවෝ පිරිසක් මුණගැහුණා. ඔවුන් මට බොහෝ උදව් කළා. 1999 අවුරුද්දේ සුනිල් පතිරණ මහතාගේ සොල්දාදුවා සහ සඳ එළිය කියන වේදිකා නාට්‍යයට මට රාජ්‍ය නාට්‍ය උළෙලෙදී සම්මානයක් හිමිවුණා. ඊටපස්සෙ මට ජයන්ත අමරසිංහ මගේ මිත්‍රයා කලාවේ නිරතවෙන්න බොහෝ උදව් කළා. මගේ පළමු චිත්‍රපටය වුණේ පාදඩයා කියන චිත්‍රපටයයි. ඒකෙදී සහාය අධ්‍යක්ෂකවරයා වුණෙත් ජයන්ත. ඉතින් එතැන් පටන් මට බොහෝ සිනමා නිර්මාණවලට වගේම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඇත්තටම අවුරුදු දහයක් පුරාවට දුෂ්කර කාලයක් ගත කරපු මට ඊටපස්සෙ ඒ අස්වනු නෙලන්න පුළුවන් වුණා. අද මට බොහෝ ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. හොඳ සමහර නිර්මාණ බාරගෙන පුළුවන් උපරිමයෙන් කරනවා. හැබැයි අදටත් මගේ වැඩි කැමැත්ත සිනමාවට සහ වේදිකාවට තමයි තියෙන්නෙ.
මේ වන විට ඔබ දරු දෙදෙනෙක්ගෙ පියෙක්.. එහෙම නේද...?
ඔව්... විවාහ යෝජනාවක් මත මම පුෂ්පා සමන්ති එක්ක විවාහ වුණා. එයාත් අපේ ගමේම කෙනෙක්. අපිට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දුවයි පුතයි. අපේ දුවගේ නම ඉසුරි සංදීපනී. පුතාගේ නම ඉසුර මනෝජ්.
සරත්... ඔබයි කුමාර තිරිමාදුරයි දෙන්නා එකතුවෙලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙනවා කියලයි ආරංචිය...?
ඔව්... සිනමාව ගැන මම ෂෙල්ටන් පයාගල මහතාගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඊටපස්සෙ මම බොහෝ පොත්පත් කියෙව්වා. ඒ දේවල් තුළින් බොහෝ අත්දැකීම් ලබාගත්තා. ඉතින් කුමාරයි මමයි දෙන්නා එකතුවෙලා සිනමා පිටපතක් ලිව්වා. ඒ සිනමා පිටපත සිනමා නිර්මාණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ දවස්වල සූදානම් වෙන්නෙ. ඒ නිර්මාණය අපි News papers කියලා තමයි නම්කරලා තියෙන්නෙ. මේ දවස්වල අපි ඒ චිත්‍රපටය රූපගත කිරීම් කරන්න සුදුසු ප්‍රදේශ සොයමින් තමයි ඉන්නෙ. ඉතින්... වැඩිපුරම කාලය යොදවලා තියෙන්නෙ ඒ නිර්මාණය වෙනුවෙන් තමයි. ඊට අමතරව තවත් චිත්‍රපට තුනක වැඩ මේ දවස්වල කරගෙන යනවා. ඇත්තටම කලාකරුවෙක් වීම ගැන අද මම ඉන්නෙ සතුටින්.
► Text - Dishani / Pic – Sumudu