2025 ජුලි 05 වන සෙනසුරාදා

අඩා...ඩා... ආතල්ලන්තයට මරු වඳුරෙක්!

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 358

ඔබ දන්නවා මේ වෙනකොට සමාජ මාධ්‍ය අවකාශයේ ගොඩක් දෙනා AI එක භාවිත කරලා වීඩියෝ හදන්න පටන් අරගෙන තියෙනවා. ලංකාවෙත් ගොඩක් අය Google එකෙන් හඳුන්වා දුන්න නවතම AI වීඩියෝ හදන මෙවලම භාවිත කරලා තමයි මේ වීඩියෝ හදන්නෙ. ඒත් මේ වෙනකොට මේ වීඩියෝ බහුතරයක ගුණාත්මකභාවය සහ භාවිතය ගැටලු‍ සහගතයි. මේ තත්ත්වය දැක්කම මේ තාක්ෂණය ලැබිලා තියෙන්නෙ වැරදි රටකට වැරදි මිනිසුන්ට කියලා හැඟීමක් අපිට ඇතිවෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක තමයි මේ අපි කතා කරන්න යන චරිතය සමාජ මාධ්‍ය තුළ එකපාරටම ජනප්‍රිය වෙන්න පටන් ගන්නෙ.

මෙයා වඳුරෙක්. නැත්නම් අපේ ප්‍රවේණිගත උරුමය තියෙන වානරයෙක්. හැබැයි මේ චරිතය සැබෑ ලෝකයේ ජීවත් වන චරිතයක් නෙවෙයි. මෙයා කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වුණු චරිතයක්. හරිම ආදරණීය, හිත හොඳ, කටකාර අපූරු වඳුරෙක්. "Travel with Monkey" කියන සමාජ මාධ්‍ය අවකාශයේ අපි මුලින්ම දැක්කා මේ නූතන වඳුරා ලංකාව පුරා සංචාරය කරනවා. ඒ අතරේ අපේ රටේ ලස්සන ගැන කියනවා. මිනිසුන්ට හොඳ දේවල් උගන්වනවා. AI තාක්ෂණය නිසා මේ වානරයා කතා කරන විදිහ ඇත්තටම අපිට තදින් දැනුණා.

ඒකට හේතුව තමයි මේ වීඩියෝවල තියෙන ගුණාත්මකභාවය හරිම ඉහළ වීම. වානරයගේ කට වැඩ කරන ආකාරය, ඇස්වල ප්‍රකාශනය, හඬත් එක්ක matching වෙන විදිහ ආදී හැම දෙයකින්ම කියාපාන්නේ AI තාක්ෂණයේ විශ්මයයි.
Google එකේ Veo කියන වීඩියෝ හදන AI පද්ධතිය මෑත කාලීනව ලෝකයට හඳුන්වා දුන්න නවතම වැඩසටහනක්. ඒක රටවල් 71 කට විතරයි තාම දීලා තියෙන්නේ. අපේ රටත් ඒ අතරේ. රටක් විදිහට පොඩියි, පටුයි, චූටියි කියලා නිතරම නිශේධාත්මකව හිතන මිනිසුන් ටිකක් කල්පනා කරන්න වටිනවා මේ ගැනත්. මොකද මේ වගේ වැඩසටහනක් අපේ රටේ අත්හදා බලන්න ලබා දෙන්න අපේ රටේ මිනිසුන්ගේ තාක්ෂණික සහ නිර්මාණශීලී හැකියාවන් පිළිබඳ ගෝලීය වශයෙන් යම් විශ්වාසයක් තියෙන්න ඕනෑ. ඒ විශ්වාසය සාධාරණීකරණය වුණු අවස්ථාවක් විදියට "Travel with Monkey" ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්.

මේ Travel with Monkey කියන ව්‍යාපෘතිය හදලා තියෙන්නේ Creators Academy කියන ආයතනයක් විසින්. ඔවුන්ට තියෙන අදහස වෙන්නේ AI එක සරල හා විනෝදජනක දේවල් කරන්න විතරක් නෙවෙයි, ගුණාත්මක අන්තර්ගතයක් හදන්නත් භාවිත කළ යුතුයි කියන එක. ඇත්තටම ඇකඩමියක් කියලා කිව්වට මේ ඇකඩමිය වගේම මේ නිර්මාණය පිටුපසත් එක්තරා තනි චරිතයක් ඉන්නවා. ඔවුන් මේ වෙලාවේ කරළියට පැමිණෙන්නේ නැතුව තමන්ගේ නිර්මාණය විතරක් ජනගත කරලා සතුටුවෙන බව තමා පේන්න තියෙන්නෙ. මේ සියල්ල ඇතුළේ තියෙන ඔවුන්ගේ පරිකල්පනීය හැකියාව කෙසේ නමුත් අපි අගය කළ යුතුයි.

මේ වෙනකොටත් මේ අපූරු Facebook පිටුව 34,000 ක් විතර දෙනා follow කරනවා. Tik Tok එකෙත් ගොඩක් අය බලනවා. YouTube එකෙත් channel එකක් තියෙනවා. සති දෙකක් වගේ ඇතුළත එතැනටත් විශාල පිරිසක් එකතුවෙලා ඉන්න බව දැකගන්න පුළුවන්. ඇත්තටම මේ වීඩියෝ මිලියන ගණනක් දෙනා මේ වන විට බලල තියෙනවා. කොහොම නමුත් මේ ව්‍යාපෘතිය ආරම්භ වෙලා වැඩි කාලයක් නැති නිසා මේ ආරම්භයේ තියෙන තීව්‍රතාවය සුවිශේෂී බව සඳහන් කරන්න ඕනෑ. ඒත් නිර්මාණාත්මක ශක්තිය වැඩිපුර ජනනය කරමින් මේ තීව්‍රතාවය ආරක්ෂා කර ගැනීම අභියෝගයක් බව අමතක කරන්න හොඳ නෑ.

ඉතින් මේ වගේ වැඩසටහනක් ජනප්‍රිය වෙද්දී සාමාන්‍යයෙන් අපේ වගේ රටවල්වල වෙන්න පුළුවන් දෙයක් තමයි අනුකරණය. ඉතින් මේ වෙනකොට ඒ කටයුත්තත් අඩුවක් නැතුව සමාජ මාධ්‍ය ඇතුළේ සිද්ධවෙන බව නම් දැකගන්න පුළුවන්. තවත් වානර චරිත ගොඩක් මේ වන විට අපේ අය නිර්මාණය කරලා තියෙන බව පේනවා. ඇත්තටම මේ වගේ දේවල් ඇතුළේ අනුකරණය කියලා කියන්නේ මහ වරදක් විදිහට හඳුන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් අනුකරණය ඔස්සේ යමක් ඉගෙන ගැනීම ඇතුළේ තමන්ගේ නිර්මාණාත්මක හැකියාවනුත් ගොනු කරමින් ඒ කටයුතු කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

ඒත් දැනට හිත ඇදෙන විදිහට කතා කරන, හදවතට දැනෙන, මේ අපේ මිත්‍ර වඳුරා තරම් ඒ කොපි කරපු වඳුරු මිත්‍රයෝ කවුරුත් නිර්මාණශීලී නෑ. එයාලා ගොඩක් දෙනා තොප්පි වෙළෙන්දාගේ කතාවේ හිටපු වඳුරෝ වගේ තමා. අපේ මිත්‍ර වඳුරා කතා කරන්නේ ගොඩක් වැදගත් දේවල්. ඒ වගේම විහිළු තහළු පවා හරිම අපූරුයි. හරයාත්මක පණිවිඩයක් නිතරම සමාජයට ලබා දෙන්න උත්සාහ කරනවා. මේකේ සමාජ දේශපාලනික යටි පෙළක් තිබෙන බව සඳහන් නොකරත් බෑ. ඒ දේවල් නම් හිමින් සැරේ තේරුම් අරගන්න එක සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ වැඩක්.

ලංකාවේ බොහෝ දෙනා මේ වෙනකොට AI Video භාවිත කරන්නේ හිනා වෙන්න හරි, අනිත් අයට කරදර කරන්න හරි, තමන්ගේ ගම නගරය ගැන පම්පෝරි ගහන්න හරි තමා. ඒත් මේ ව්‍යාපෘතිය AI භාවිතයට සදාචාරාත්මක වගකීමක් එකතු කර තිබෙන බව පැහැදිලියි. කෘත්‍රිම බුද්ධියත් එක්ක යාවත්කාලීන වන ලෝකය තුළ අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක් තමයි ඒක. මානව පරිකල්පනය කෘත්‍රිම බුද්ධිය සමඟ මුසු කරලා ලෝකයට ඉතා වටිනා දේවල් නිර්මාණය කරන්න පුළුවන් බව මේ ව්‍යාපෘතිය හරහා ඔප්පු කරනවා. විශේෂයෙන්ම ඒ හැකියාව ශ්‍රී ලාංකිකයන් සතු බව Travel with Monkey ඔස්සේ සහතිකයක් ලබා දෙනවා.

අනාගතයේදී මේ ව්‍යාපෘතිය ජාත්‍යන්තරව රැගෙන යාමේ පුළුල් අරමුණක් Creators Academy සතුයි. මේ වන විටත් අපේ මිත්‍ර වඳුරා විදෙස් භාෂාවලින් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ලංකාවේ වැදගත්කම, වටිනාකම, සංචාර ආකර්ෂණය ආදී දේවල් සම්බන්ධව පණිවිඩයක් ලෝකයට අරගෙන යන්න තමයි ඒ උත්සාහ දරන්නේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනයට වගේම ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිත කෘත්‍රිම බුද්ධි චරිතයක් ලෝකයට රැගෙන යාමට දරන මේ ප්‍රයත්නය සැබවින්ම අගය කළ යුත්තක්.

තාක්ෂණයේ වර්ධනයත් එක්ක AI වීඩියෝ නිර්මාණ ක්ෂේත්‍රයේ ලංකාව ගොඩක් ඉස්සරහට යනවා. ඒත් වැදගත්ම දේ තමයි මේ නව තාක්ෂණය හරි ආකාරයකට භාවිත කරන එක. Travel with Monkey ව්‍යාපෘතිය ඒකට හොඳ උදාහරණයක්. ඒ නිසාම මේ ව්‍යාපෘතියත් එක්ක කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ අධ්‍යාපනික වැදගත්කම මේ නිර්මාපකයා අගය කරන බව පේන්න තියෙනවා. ඒ නිසාමයි මේ වෙනකොට Creators Academy කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා දෙමින් ඉන්නෙ. විශේෂයෙන්ම දරුවන්ට අනාගත ලෝකය තුළ මේ දැනුම අත්‍යවශ්‍ය අංගයක් වෙන බව ඔවුන් පැහැදිලි කරනවා. චීනය වගේ රටවල් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ තාක්ෂණික දැනුම පාසල් විෂය නිර්දේශයටත් මේ වෙනකොට එකතු කරලා හමාරයි. රටක් විදියට අපි මේ සම්බන්ධව පසුගාමී වෙද්දී අපේ වානර මිත්‍රයත් එක්ක එකතු වෙලා මේ ඇකඩමියේ අය ඒ සම්බන්ධව කටයුතු කරනවා. ඔවුන්ගේ උත්සාහය මේ නූතන දැනුම දරුවන්ට සහ තරුණයන්ට බෙදා දෙන්න. ඒකත් අගය කළ යුතු කාරණාවක්.
මේ චරිතය දැන් දැන් ගොඩක් ළමුන් අතර ජනප්‍රිය වෙමින් ඉන්නේ. වන විට මේ වානරයා අපේ රටේ ගොඩක් තරුණයන් අතරේ මේ වෙනකොටත් ජනප්‍රියයි. අනාගතයේ දී මේ වීඩියෝ බලලා විදේශිකයන් අතරත් ජනප්‍රිය වේවි කියලා උපකල්පනයක් තියෙනවා. මේ පිස්සු ආදරණීය වඳුරා ඇත්තටම Sri Lankan AI තානාපතිවරයෙක් වගේ අනාගතයේ කටයුතු කරයි කියන අපේක්ෂාව අපිට ඇතිවෙන්නේ ඒ නිසා. මේක හුදෙක් අදහසක් විතරක් නෙවෙයි, අරමුණක් සහ ඉලක්කයක්.

මොකද ඇත්තටම සම්ප්‍රදායික ටෙලිවිෂන් හෝ රේඩියෝ වැඩසටහන්වලට වඩා මේ AI වීඩියෝ ගොඩක් අයට ආකර්ෂණීයයි. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට. ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ තමයි අන්තර්ගතය භුක්ති විඳින්නේ. ඒ නිසා මේ වගේ නිර්මාණ ඔවුන්ට ළං කරන්න පහසුයි. Travel with Monkey ව්‍යාපෘතිය අපේ රටේ AI තාක්ෂණ ක්ෂේත්‍රයේ කඩඉමක් බවට දවසක පත් වෙයි. තරුණ අන්තර්ගත නිර්මාණකරුවන්ට මේ ව්‍යාපෘතිය ආදර්ශයක් සපයනවා. ඔබේ පරිකල්පනය පුළුල් කරමින්, මේ තාක්ෂණය භාවිත කරමින් තවත් යහපත් දේවල් ඔබට කළ හැකියි කියන පණිවිඩය තමා මෙතැනින් ජනිත වෙන්නෙ.

ඉදිරි කාලයේ දී පැහැදිලිවම Travel with Monkey කියන මේ AI වීඩියෝ නිර්මාණය අපේ රටේ ඩිජිටල් අන්තර්ගත ක්ෂේත්‍රයේ සාර්ථකම ව්‍යාපෘතිවලින් එකක් වේවි. ඒකට හේතුව සරල – නිර්මාණාත්මක බව, තාක්ෂණය, සාමාජික වගකීම සහිත අන්තර්ගතය යන හැමදේම මේ තුළ තිබීම. ඉතින් මේ වගේ වැඩක් ආරම්භයේදීම අගය කරමින් ඔවුන්ට ධෛර්යය ශක්තිය ලබාදීම තමයි අපි හැම දෙනාගේම සමාජ වගකීම. හුදෙක් විනෝදයට එහා ගිය දැනුමක් සහ හැඩයක් සහිතව ඔබ වෙත එන Travel with Monkey එක්ක අත්වැල් බැඳගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.

• චමිඳු නිසල්